යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කළ කැණීම්වලින් ඊයේ (ජූනි 29) තවත් මිනිස් සිරුරු 6කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් බව කැණීම් නිලධාරීහු පවසා තිබේ.
ඒ අනුව, මේ දක්වා මිනිස් සිරුරු 33කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන තිබේ. ඊයේ දිනයේ සමාජ මාධ්‍යවල බොහෝ අවදානය දිනාගත් දෙයක් බවට පත්වී තිබුනේ පාසල් යන වයසේ හෝ පෙරපාසල් යන වයසේ දරුවෙකුගේ සිරුරක් පාසල් බෑගයක් සමඟ හමුවීමයි.
ඒ අනුව කුඩා දරුවන් පවා ඝාතනය කර වළදමා ඇති බව තහවුරු වේ.
තෙවන අදියරේ තෙවන දින කැණීම් කටයුතු අවසාන වන විට මිනිස් සිරුරු 27කට අයත් අස්ථි කොටස් හමුවී තිබිණි.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ වූයේ ජූනි 26 වන දා ය.
පාසල් බෑගයක් සමඟ දරුවෙකුගේ අස්ථි කොටස් හමුවීම ගැන විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් තිබූ අතර පහත දැක්වෙන්නේ ඒ ආකාරයට හුවමාරු වෙමින් තිබූ කවියකි.
මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැන
දහසක් රහස් සඟවා ගත් මුහුද ගැන
කුමරුන් කුමරියන් සහ සුරඟනුන් ගැන
ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?
බෝලය රැගෙන කෙළි සෙල්ලම් තලා පිට
තාලය රැකන් ගී ගයමින් නටා සිට
කාලය එකවරම ඇද වැලිතලා යට
ලීලය නුඹ සැගෙව් කියනුව හැකිද මට ?
අකුරට යන්න හැකිවිණි නම් මෙතෙක් ඔයා
කොතරම් දෑ ඉගෙන ගයි දැයි කරුණු කියා
විමසූ විටදි ඔහු ලොව කුරුසයක තියා
ඇසුවා අප උගත් පාඩම් ඇතිද කියා
වරදට නිවරදට තේරුම් ඇතිද ලොවේ
දරු දුක කාගෙමුත් කොයි හදවතක දැවේ
සිරුරක ඇටසැකිල්ලක රුව දෑසෙ කැවේ
මරණය වුවත් යුක්තිය නැති තරම් නොවේ
රිලවුන් මුවන් දඬුලේනුන් ගණින දින
උන් දූපතක ලන සැලසුම් හදන තැන
දෑ රස්සාව දත් උතුමණි බංකු ගෙන
දරුවන් හොරා කෑ වලසුන් කියන මැන
~ රුවන් නෙලූ