Day: February 28, 2024

  • වැටුප් වැඩිකළේ මහ බැංකුව රැක ගන්නලු!

    වැටුප් වැඩිකළේ මහ බැංකුව රැක ගන්නලු!

    රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

    පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමි වූ බව විධායක නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

    ඉන් ඇතැමෙකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රට හැර යාමට තිබූ බවත් එවිට මහ බැංකුවේ කටයුතු තවත් අඩාල වීමට ඉඩ තිබූ බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

    මහ බැංකු සේවකයින්ට ලබාගත හැකි උසස්වීම් අවස්ථාද ඉතා සීමිත බවත් සිය වෘත්තිමය සුදුසුකම් උපයෝගී කොටගෙන පෞද්ගලික ආදායම් මාර්ග සකසා ගැනීමට නොහැකිවන අන්දමේ නීතිමය බාධක සහ තවත් සීමාකාරී සාධක පවතින බවත් විධායක නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

    මහ බැංකුවේ සියලු වෘත්තීය සමිති සහ පාලක මණ්ඩලය එළඹී 2024-2026 සාමූහික වැටුප් ගිවිසුමට යටත්ව කටයුතු කිරීමට සියලු පාර්ශ්ව බැඳී සිටින බවද එම සංගමය සඳහන් කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට බලපෑමකින් තොරව සිය සුපරීක්ෂණ කටයුතු කිරීමට තරඟකාරී වැටුපක් හිමිවිය යුතු බවද එම සංගමය පවසා ඇත.

    බුද්ධි ගලනය නැවැත්වීමට ගත් මෙම පියවරට එරෙහිව හඬ නගන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැති බවත් එම සංගමය පවසා ඇත.

    රටේ සියලු ජනතාව බදු බරින් මිරිකී සිටින අවස්ථාවක රටේ වැඩකරන ජනතාව වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිද්දී එයට එරෙහිව මහ බැංකුව විශාල විරෝධයක් නගන ලදී. විශේෂයෙන් මහ බැංකු අධිපතිවරයා රට බංකොලොත් වී ඇති බව පවසමින් රටේ සියලු ජනතාව කැපවීම් කළ යුතු බවට දැඩිව පවසන ලදී. ජනතාවට සහන නොදීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් මහ බැංකුව විසින් සිදුඅකරන ලදී. මහ බැංකුවේ පඩි වැඩිවීම සම්බන්ධයෙන් විරෝධය නගේන්න්නේ මෙවන් පසුබිමකදියි.

  • ඉහළම අධිකරණය වරදකරුවෙකු කළ අයෙකු පොලිස්පතිවරයා කිරීමට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවට ලිපියක්

    ඉහළම අධිකරණය වරදකරුවෙකු කළ අයෙකු පොලිස්පතිවරයා කිරීමට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවට ලිපියක්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සාමාජිකයින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

    ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස පත් කරනු ලැබු දේශබන්දු තෙන්නකෝන් පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරෙන් වැඩිම චෝදනා ලත් පොලිස් නිලධාරියා මෙන්ම මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නිලධාරියකු වන බව එම ලිපියේ සඳහන්.

    තරිඳු ජයවර්ධන මෙම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ 2011 වසරේ සිට ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන තරිඳු ජයවර්ධන , 2021 වසරේ දී දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනයට ලක්වීම ගැන ශ්‍රී ලංකා පොලිසියට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර ඒ අතරින් මානව හිමිකම් කොමිෂන් සභා පැමිණිල්ල තවමත් විභාග වෙමින් තිබෙන පසුබිමක දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීම සිය ආරක්ෂාවට තර්ජනයක් බවයි.

    තමන් ජනමාධ්‍යවේදියකු ලෙස දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මාධ්‍ය හමු දෙකකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් 2021 වසරේ දී අසනු ලැබූ ප්‍රශ්න දෙකකට උරණ වූ එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් තමාට තර්ජනය කළ බව ඔහු පෙන්වා දෙනවා.

    ආයුද සන්නද්ධ හමුදා සාමාජිකයන් අතින් ඝාතනයට ලක්වීයැයි සැලකෙන එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට අත්වූ ඉරණම තමන්ටද අත්වනු ඇති බවට දේශබන්දු තෙන්නකෝන් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කළ බව ඔහු පෙන්වා දෙනවා.

    එමෙන්ම, මෙම ලිපියෙහි තරිඳු ජයවර්ධන සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය වාර්තා කර ඇති පරිදි තෙන්නකෝන්ගේ පත්කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දෙදෙනකු විරුද්ධව ඡන්දය භාවිත කර ඇති අතර සිව් දෙනකු පක්ෂව ඡන්දය භාවිත කර ඇති බවයි.

    එමෙන්ම, ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනද උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පොලිසියේ සිටින වැඩිම චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සදාචාර විරෝධීද වන බව පෙන්වා දෙන අතරම ව්‍යවස්ථා සභාවේ මෙම අත්තනෝමතික හැසිරීම සම්බන්ධයෙන් තරිඳු ජයවර්ධන මහතා සිය කණගාටුව සහ විරෝධය පළ කර තිබෙනවා.

    අදාල ලිපිය පහතින්

    tharindu-jayawardhana – Deshabandu letter

  • ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම අත්හිටුවයි

    ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම අත්හිටුවයි

    දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල් සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිටල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙතිසම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් විසින් මෙම අතුරු තහනම් නියෝග නිකුත් කළා.

    නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම්වලින් පෙත්සම්කාර සමාගම් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු සියයට 50.23 ක කොටස් හා ලංකා හොස්පිටල්ස් ආයතනයේ 51.34% ක කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා අයදුම්පත් තමන් විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවයි.

    එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට වග උත්තරකාර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළ බවට මෙහිදී පෙත්සම්කාර සමාගම් චෝදනා කර තිබෙනවා.

    අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අයුක්ති සහගත බව පෙන්වාදෙන පෙත්සම්කාර සමාගම් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම අයදුම්පත් පිළිනොගැනීමට එම කමිටුව ගත් තීරණය නීතියට පටහැනි බව සිය පෙත්සම්වලින් පෙන්වා දී තිබෙනවා.

    ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මස 12 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

    පෙත්සම්කාර සමාගම් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත්ව සිටි බව සඳහන්.