Breaking News

පලස්තීනයට එරෙහි යුද්ධයේ සටන් විරාමය තුළ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙයි

තාවකාලික සටන්විරාමය අතරතුර ඊශ්‍රායලය සහ පලස්තීනය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ආරම්භ කර තිබේ. ඊයේ දිනයේ
බටහිර ඉවුරේ බෙයිටූනියා මුරපොල හරහා පලස්තීන රැඳවියන් 39 දෙනෙකුද සහ ඊශ්‍රායල ජාතිකයන් 13 දෙනෙකු නිදහස් කර තිබේ. ඊශ්‍රායල ජාතිකයන්ට අමතරව තායි ජාතිකයන් දස දෙනෙකු සහ පිලිපීන ජාතිකයෙකුද හමාස් අත්අඩංගුවේ සිට නිදහස් කර ඇත.

කටාර් ගිවිසුමේ නියමයන් යටතේ, සටන් නතර කෙරෙන තාවකාලික විරාමය තුළ ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 50 ක් සහ පලස්තීන රැඳවියන් 150 ක් දින හතරක් තුළ නිදහස් කිරීමට නියමිතය.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සිව් දින සටන් විරාමය (නොවැම්බර් 24 වැනිදා) ආරම්භ විය.

එහෙත්, දෙපාර්ශවයම පවසන්නේ සටන් නතර කිරීම තාවකාලික බවයි.

සියොන්වාදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු පවසා ඇත්තේ හමාස් සංවිධානය අවසන් කිරීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බවයි.

සටන්විරාමය ආරම්භ වීමේ කාලය එළඹීමේ අවසන් මිනිත්තුව දක්වාම වෙඩි හුවමාරු, පිපිරුම් හඬ හා ගුවන් ප්‍රහාර පැවති බව වාර්තාකරුවන් පවසයි.

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200 ක් මිය ගිය අතර තවත් පුද්ගලයින් 240 ක් පමණ ප්‍රාණ ඇපයට පත්වුහ.

අනතුරුව ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් පුද්ගලයින් 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර තිබේ.

නිදහස් කළ හැකි පලස්තීනුවන් 300 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 17 හෝ 18 පසුවන අතර, සමස්ත පිරිසේ වයස් සීමාව අවුරුදු 14 සිට 59 දක්වා විහිදේ.

පලස්තීනුවන් අනීතිකව රඳවා තබා ගැනීම් ඉහළට

පලස්තීන මානව හිමිකම් සංවිධානයක් වන ඇඩමීර් (Addameer) සංවිධානයට අනුව, නොවැම්බර් 6 වන දා වන විට ඊශ්‍රායලය මගින් පවත්වා ගෙන යන සිරගෙවල්වල රඳවාගෙන සිටින පලස්තීනුවන් 7,000ත් සමග ඊශ්‍රායලයේ පලස්තීන සිරකරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

මෙයට කාන්තාවන් 80 දෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් 200 දෙනෙකු ඇතුළත් වේ.

පසුගිය ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසු පලස්තීනුවන් 3,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව මෙම රාජ්‍ය නොවන සංවිධානය පවසයි.

ඊශ්‍රායලය තවත් පලස්තීන සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් පහක් ද සමගින් 2021 වසරේදී ඇඩමීර් සංවිධානය “ත්‍රස්තවාදී” සංවිධානයක් ලෙස නම් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර අයිතිවාසිකම් කණ්ඩායම් මෙම නම් කිරීම ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන B’Tselem පවසන පරිදි, 2023 සැප්තැම්බර් මස අවසානය වන විට, ඊශ්‍රායල බන්ධනාගාර සේවය (IPS) පලස්තීන බාලවයස්කරුවන් 146 දෙනෙකු “ආරක්ෂක” හේතු බව පවසමින් රැඳවුම් හෝ සිර භාරයේ තබාගෙන සිටියේ ය.

ඒ අතර ම, නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටීම හේතුවෙන් ඊශ්‍රායල බන්ධනාගාර සේවය විසින් පලස්තීන බාලවයස්කරුවන් 34 දෙනෙකු ද රඳවාගෙන සිටි බව එම සංවිධානය තවදුරටත් සඳහන් කළේ ය.

ඊශ්‍රායලයේ ‘පරිපාලනමය රඳවා තබා ගැනීම’ (administrative detention) නම් ක්‍රමයක් තිබේ. එහිදී පුද්ගලයෙකු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව සහ නඩු විභාගයකට භාජනය කිරීමකින් තොරව රඳවා තබා ගත හැකි ය. මෙයට වැඩි වශයෙන් හසුවන්නේ පලස්තීනුවන් ය.

නොවැම්බර් 1 වන දා වන විට ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන HaMoked සංවිධානයට අනුව, ඊශ්‍රායලය විසින් පරිපාලනමය ලෙස රඳවාගනු ලැබ සිටින සිටි පලස්තීන රැඳවියන් සංඛ්‍යාව 2,070කි. හමාස් ප්‍රහාරය එල්ල වන විට මෙම සංඛ්‍යාව 1,319ක් වූ බව එම සංවිධානය පැවසීය.

leave a reply