Breaking News

” අරගලය ද මැතිවරණය ද? – මහේෂ් හපුගොඩ

මහේෂ් හපුගොඩ 

දැන් තියන තවත් එක ලිහාගතයුතු දෘෂ්ටිමය ගැටළුවක් තමයි අරගලය ද මැතිවරණය ද කියන එක. අරගලයක් ආවොත් මැතිවරණය කල්යයි කියල එක් පාර්ශවයක් හිතන බව පේනවා. ඒ නිසා එයාල අරගලය ගැන පරිස්සම් වෙමින් මැතිවරණය ගැන ෆැන්ටසි එකකින් වැඩකරනවා. තව පාර්ශවයක් අරගලය දිගට අරන් යන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. හරි.

ලංකාවේ සන්දර්භය ඇතුලේ ගෝඨා බලයට අවේ මැතිවරණයකින්. විශාල මැතිවරණ ජයග්‍රහණයකින්. ජනාධිපතිවරණය විතරක් නෙවෙයි ඒ මහා මැතිවරණය පවා තුනෙන් දෙකේ බලයක් පෙන්නුවා. හැබැයි දරුණු ආර්ථික – දේශපාලන ඇදවැටීමක් එක්ක ගෝඨා ඇතුළු සමස්ත පොහොට්ටු ආණ්ඩුව බිමට ඇදවැටුණේ සමාජ අරගලයක් එක්ක. මිනිස් මැදිහත්වීමක් එක්ක.

පශ්චාත් නිදහස් ලංකාවේ දැවැන්තම සමාජ දේශපාලන ප්‍රතිරූපයක් නඩත්තු කරපු අද දේශපාලනය ඇතුලේ පස්සටම තල්ලු කරන්න ඒ අරගලය ඉවහල් උණා.
අද අපි දකින මේ අටවාගත්ත ආණ්ඩුව එහි අවතාරමය නෂ්ඨාවශේෂයක් (spectral presence) උනත් මුල් ආණ්ඩුවේ රාජපක්ෂල දැන් ඉන්නේ තරමක් පසුතලයේ. ජනාධිපති රනිල් යූඑන්පී. දිනේෂ් කියන්නේ රාජපක්ෂ පවුලෙන් පිටින් කෙනෙක්. ව්‍යුහාත්මක වෙනසක් නොවෙයි තමයි. හැබැයි එහෙම නොවෙන්න මේ දෙන්නම මේ පුටුවල නැහැ.

රටේ ධනය හොරාකාපු අය ගැන, ක්‍රම වෙනසක් ගැන, තරුණ මැදිහත් වීම ගැන, පාර්ලිමේන්තුවේ පසුගාමී බව ගැන, විශේෂයෙන් ජනවර්ග වශයෙන් බෙදිලා හිටපු සමාජයක නව සමාජ සම්මුතියක් (new social consensus) ගැන පරාවර්තනයක් සමාජයට ගලාආවේ ඒ අරගලයත් එක්ක. ඒක මෙතෙක් පාර්ලිමේන්තු දේශපාලන ඇතුලේ කරන්න බැරි වෙච්ච දෙයක්. පාර්ලිමේන්තුවේ කතාකරන්න ඇති. හැබැයි සමාජ කතිකාවක් හැටියට එළියට ආවේ නැහැ.
ඒ අනුව සාධනය කරන්න පුළුවන් දේ තමයි අරගලය ප්‍රාථමික (primary) කියන එක සහ මැතිවරණය ද්විතීයක (secondary) දෙයක් කියන එක. ඒක තමයි මෙතෙක් ලාංකික සමාජයේ මුල්බස්සල තිබ්බ මැතිවරණ තමයි සමාජ වෙනස්කම් ඇති කරන්නේ. ඒ නිසා අපිට චන්දෙ දෙන්න කියන මතවාදය මේ අරගලය නිසාම වෙනස් වීම.

මැතිවරණ දවසේ පෙට්ටිය අස්සට ගිහිල්ල සමාජයේ රැඩිකල් වෙනසක් කරන්න පුළුවන් කියන එක ද්විතියික අදහසක් උණා කියන එක.
නමුත් සටන්කිරීම, අරගලකිරීම ගැන විප්ලවීය ඉතිහාසයක් තියන පක්ෂයක් ඒවායේ පරාජයත් එක්ක මැතිවරණ ගැන විශ්වාස කිරීම තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි.

හැබැයි මැතිවරණ කියන්නේ දෘෂ්ටිවාදය මාකට් කරලා තමයි බලයට එන්න වෙන්නේ. ඒ නිසාම මාකටිං සහ ඇඩ්වටයිසින් ඕනි වෙන්නේ. මාකටිං වලින් කොකාකෝලා උස්සන්න පුළුවන් තමයි. හැබැයි කොකාකෝලා කියන්නේ කිසිම වැඩක් ඇති දෙයක් නෙවෙයි කියල මාකටිං කරන අය දන්නවා.
රැඩිකල් සමාජ පර්යායක් ගැන හිතන්න දෘෂ්ටිවාදය ඇතුලේ විකසිත වෙන මැතිවරණ කැම්පේන් එකකට පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.
කොහොම හරි සතුරාට අතට අහුවෙන දෙයින් ගහන්න. හැබැයි දැනුවත් වෙන්න. අද ගොඩක් උද්‍යෝගයෙන් මැතිවරණයක් ඉල්ලල බලයට ඇවිත් එයාලත් අසාර්ථක උනොත් එදාටත් මිනිස්සුන්ට ඉතිරි වෙන්නේ අරගලය විතරයි නේද? ඒක නේද මාක්ස්වාදයේ උරුමය?

ඒකයි. ප්‍රාථමික දේ ඒ හැටියට තේරුම් ගන්න. ද්විතියික දේ ඒ හැටියට තේරුම් ගන්න. හැම දෙයක්ම රැඩිකල් අන්තයක් වෙත ගෙනියන්න බලන්න. හැබැයි දේශපාලනය ඇතුලේ බේසික් වරද්දා ගන්න එපා. ”
මහේෂ් හපුගොඩ

leave a reply