Breaking News

තෙල් පුරවා ගත්තට ඔවුනගෙ හිත පිරෙයිද..

සාදරී ජයසේකර

ඇත්තටම මේක තෙල් මාෆියාවක්. තෙල් බවුසරය ගම්පහ ජා ඇල පාරේ තෙල් පොළට එනකොට  වෙලාව ප.ව 2.45. මගේ වාහනේ 68 වෙනියාට තිබ්බේ. මං ළගම තිබ්බ බයිසිකලේ හිටියේ  නංගී කෙනෙක්. එයාලා ගණන් කරන කොට ඒ නංගිගේ  බයිසිකලය තිබ්බේ 163 වෙනියාට.

ලීටර් තුනක තෙල් ගහන්න රැයක් නිදි මරන්, කන්න නැතුව. වැසිකිළියකට යන්න නැතුව, එක ම ඉරියව්වෙන් පැය ගාණක් අගු පිල් වල  ඉඳ ගෙන , දූවිල්ලට, පින්නට,   අව්වට විතරක් නෙවී කඩා හැලුණ වැස්සටත් අහු වුණා.   ඒ නංගිගේ බබා තවම කිරි සප්පයෙක්.

තෙල් පෝලිම් වල ඉන්නවා තියා බෙහෙත් පෝලිමක පැය භාගයක් වත් හිට ගෙන ඉන්න බැරි වැඩිහිටි ප්‍රජාවකුත් පුරා පැය දහ අටක් විතර පෝලිමේ. කොයි වෙලාවේ මගේ වාහනේට බයිසිකලේ කඩන් වැටෙයි ද කියලා බයෙන් මම හිටියෙත්. හිට ගෙන ඉන්න බැරි තරමට ම අපහසූවෙන් ඔවුන් හිටියේ.

මගේ වාහනය 19 වෙනියට එනකොට මට ඉස්සරහින් තව මෝටර් සයිකල් 100කට වැඩියි.  හිතා ගන්න පුළුවන් නේ මාෆියාවේ තරම.

මම තෙල් ගහලා ඉවර වෙනකොට රෑ 7.30යි. ඒ වෙනකොටවත් අර බයිසිකල් නංගී  පේන්න හිටියේ නෑ.

හැම කෙනාගේ ම මුහුණු වල  පුදුමාකාර විස්සෝපයක් තියෙන්නේ. තෙල් ගහන මේ සමූහයා මේ තරම් දුකකින් හිටියත් මේ පෝලිම් ක්‍රමයට පිං දෙමින්  මේ ගුණවත් පාලකයන්ට ම  ඊළඟ කතිරයත්  ගහන්න බලන් ඉන්න අමුතු සත්ත්ව කොට්ඨාශයකුත් ඉන්නවා.

ඒ තමයි ලීටරය රු . 2500/ ට විකුණන , සත් ගුණවත්,  කකුල් තුනේ තමන්ගේ වාහනේ පිටුපස්සේ

“හක්කේ බුදු රැස්,  බොක්කේ දඩ මස්” කියලා ලියා ගෙන  මහා සෝබන කතා කියන අයියලා,  මල්ලිලා. එයාලා තමයි මේ තෙල් පෝලිම් වලින් ගොඩ ගිය සුපින්වතුන්.  එයාලා දැන් හයර් දුවන්නේ නෑ. පෝලිමේ මුලට මැදට මාරු වෙවී,  තෙල් බූලි වලටත් පුරව ගෙන ,

” අපේ වැයික්කියේ තෙල් අපිට අයිති ”

කියලා චණ්ඩිකමින් පෝලිම් වල සාධාරණ ලෙස ඉන්න වැදගත් මිනිසුන්ට හයිරන් පෙන්නලා,  ගිනි ගණනට තෙල් විකුණන ධර්මිෂ්ට ලා.

ඒ  විතරක්ද  තව සමහර මෝටර් සයිකල් කාරයන්.  හැබැයි, කිසීම දවසක වංචාවෙන්  හම්බ කර ගත්ත කලු සල්ලි වාෂ්ප වෙන්න යන්නේ මොහොතයි බව මේ නූගතුන්ට තේරෙන්නේ නෑ. ඒ තමයි ස්වභාව ධර්මයේ නියමය. ස්වභාව ධර්මයේ ධර්මතාවය.  එය ඒකාන්තයි. “රජ කම් කළත් කළ කම් ඵල දෙනවා ” කියන්නේ නිකම්ම නෙවී.

කකුළුවා වතුර උණු වෙනකම් සතුටු වෙනවා. ඒ විතරක් ම නෙවී මේ සුපේශල  පාලකයෝ , මේ වගේ මජර විදිහට  හම්බ කර ගන්න ඒ හැළියට  රස කෑමත් එකතු කරනවා. ඉතින්..කකුළුවා ඒවා රහ විඳිනවා. ඌ දන්නේ නෑ ඒ හැළිය ඇතුළේ  පාලකයන්ට රසවත් කකුලු වෑංජනයක් හැදෙන බව.

ඉතින්,  ඔයාලත් මේ තට්ටු මාරු ක්‍රමයට  දායක වෙන්න කැමති නම් මහ දවාලේ සිදු වුණ මහා මංකොල්ලයට දායක වුණ මහමොළකාරයන්ට

ආවඩන්න. ප්‍රශස්ති  ගී ගයන්න. ඊළඟ වතාවෙත්  මහා  උදෙන් ම ගිහින්  මහා කතිරයකින් මේ මහා සත් ගුණවතුන්ට සළකන්න.   ඔබේ දරුවන්ව ගෙවල් වල ම තබන්න. පාසල් වසා ඇති බැවින්  ඒ ගැන වද නොවන්න. තරුණ දරුවන්ට රැකියා නැති බැවින් උන්ට කන්න දෙන්න තව තවත් ජරා වැඩ වල ම යෙදෙන්න.  බෙහෙත් නැති බැවින් ආදාහන කටයුතු සඳහා පිළිවෙලක් දැන්මම යොදා ගන්න.

 

leave a reply