Breaking News

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පළා යාමට හේතුව හමුදාවේ පාලනයද?

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකව සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

ඒ, එවැනි පිරිස් පුනරුත්ථාපනය සඳහා “වැඩි වශයෙන්” යොමු කෙරෙන පොලොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ගෙවුණු වසර කිහිපයේදී වාර්තා වුණු සිදුවීම් හේතුවෙනි.

එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ, ඉකුත් ජනවාරි 12 වන දින ය. එදින ආහාර ගැටලුවක් මුල් කරගනිමින් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හමුවේ එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් අතුරින් 20කට අධික සංඛ්‍යාවක් පලා ගොස් තිබිණි.

ඉකුත් වසරේ, එනම් 2023 වසරේ දෙසැම්බර් 12 වන දා ද එවැනි ම ආකාරයේ සිදුවීමක් වාර්තා වුණු අතර එහිදී මධ්‍යස්ථානයෙන් රැඳවියන් 100කට අධික ගණනක් පලා ගියහ.

2022 වසරේ ඇති වූ සිදුවීමකින් කන්දකාඩු කඳවුරේ රඳවා සිටි රැඳවියෙකු මියගොස් තිබුණු අතර ඒ සම්බන්ධයෙන් එහි සහය උපදේශකවරුන් ලෙස කටයුතු කළ ගුවන් හමුදා සැරයන්වරුන් දෙදෙනෙකු, යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු හා යුද්ධ හමුදා සැරයන්වරයෙකු රක්ෂිත බන්ධනාරගත කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මධ්‍යස්ථාන මෙන් ම, පෞද්ගලික අංශය මගින් පවත්වාගෙන යන පෞද්ගලික මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ද පවතී.

 

හමුදාව මැදිහත්වීමෙන් පුනුරුත්ථාපනය කිරීම සාර්ථකද?

කෙසේ වෙතත්, ඒ අතරින් කන්දකාඩු වැනි ඇතැම් මධ්‍යස්ථාන හමුදා පරිපාලනයක් යටතේ ක්‍රියාත්මක වීම පිළිබඳවත්, එය කොතෙක් දුරට සාර්ථක ද යන්න පිළිබඳවත්, කන්දකාඩු සිදුවීම් හා සැසඳීමේදී පුනරුත්ථාපන විෂය පිළිබඳ පුළුල් දැනුමක් ඇති පිරිස් සහ සමාජය ප්‍රශ්න කරති.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භයේ සිට ම ඒ තුළ හමුදාවේ මැදිහත්වීම ඉහළ ලෙස පැවති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය උපදේශක සුචින්තන දසුන් පවසයි. ඔහු බීබීසී සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත්තේ එහි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රමිතිගත ප්‍රතිකාරයක් නොලැබෙන බවයි.

 පළාගිය රැදවියන් සම්බන්ධ  දර්ශනවල ඇතැම් රැඳවියන් තමන් මධ්‍යස්ථානය තුළදී අත්විඳි කටුක අත්දැකීම් පිළිබඳව ප්‍රකාශ කරන අයුරු සටහන් වී තිබිණි.

“හෑන්ඩ්කෆ් දාලා තියෙනවා සතියක් විතර ගස්වලට දාලා, පොඩි පොඩි ප්‍රශ්නවලට,” එක් රැඳවියෙක් පැවසීය. පලා ගිය රැඳවියන් නැවත භාරයට ගැනීමට පොලිස් නිලධාරීන්ට මෙන් ම යුද්ධ හමුදා නිලධාරීන්ට ද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

කන්දකාඩු කඳවුර වැනි මධ්‍යස්ථාන වෙත පුහුණුව ලත් මිලිටරි නොවන උපදේශකවරු බඳවා ගත්ත ද පරිපාලනය සහ ආරක්ෂාව සැපයීම වැනි කාරණාවලදී හමුදා මැදිහත්වීමක් සිදුවීම හේතුවෙන් එහි කටයුතු හමුදාමය ස්වරූපයකින් බැහැරව සිදු නොවන්නේ යැයි පැවසිය නොහැකි බව සුචින්තන සඳහන් කළේ ය.

“මම දන්නවා උපදේශකවරු ඉන්නවා. මේ මෑතකත් බඳවා ගත්තා. මිලිටරි නොවන. හැබැයි පරිපාලනය සහ ආරක්ෂාව කියන කාරණාව ඇතුළේ, පරිපාලනය මෙතනින් වෙනවා කියන්නේ ම, අපි දන්නවා ස්වරූපයක් යෙදෙනවා කියන එක.”

ඔහු පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී එම ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිදු විය යුතු බව ය. එය ලොව පිළිගත් සම්මතය බව ඔහු පෙන්වා දුන්නේ ය.

“ඒක ආරක්ෂක අමාත්‍යංශය යටතට යන්න බැහැ. මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) සම්මතයන් තමයි, ආරක්ෂක අමාත්‍යංශය යටතට ගන්න බැහැ. ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙනකොට වෙන්නේ වෙන වෙන දේවල්. අරමුණ සාක්ෂාත් වෙන්නේ නැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම කියන එක සෞඛ්‍ය සම්බන්ධ කාරණාවක්. ආරක්ෂක අමාත්‍යංශයට ඕක ගිය ගමන්, එයාලා දේවල් බලන විදිහ අපි දන්නවනේ වෙනස් කියලා. එතකොට මේක අපරාධයක්, දඬුවමක් ලැබෙන්න ඕනේ කියන තැනින් තමයි ගොඩක් වෙලාවට අල්ල ගන්නේ,” සුචින්තන පැහැදිලි කළේ ය.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපාගේ සභාපතිත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් සහ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක යන නිලධාරීන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත.

BBC වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරිණි

leave a reply