Breaking News

ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමික කාන්තාවන් පිරිසකට පොලිස් ප්‍රහාරයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ලාංකික කාන්තාවන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයෙන් ඔවුන් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 340ට අසන්න මෙම කාන්තාවන් පිරිස මාස පහකට අසන්න කාලයක් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් මෙහි සිරවී ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම ශ්‍රමික කාන්තාවන් සමඟ සාකච්ඡා කිරීමට එම කර්මාන්ත පුරයට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් 340 කට ආසන්න මෙම පිරිස එම නිලධාරීන්ව වටකර ගෙන විරෝධය පළ කර ඇති බව ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් ඇත. කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය ශ්‍රමික පිරිසවෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවද තානාපති කාර්යාලය පවසා ඇත.

මාස පහකට ආසන්න කාලයක් තිස්සේ මෙම ලාංකික ශ්‍රමිකයින් පිරිස රැකියා අහිමිව සිය නේවාසිකාගාර තුළ සිරවී විවිධ අපහසුතාවට පත්ව සිටීම සම්බන්ධයෙන් එම බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමේදී ඇති වූ අනවබෝධයක් මත ලාංකික ශ්‍රමිකයින් කලබලකාරී ලෙසින් හැසිරීම නිසා තත්ත්වය පාලනයට මෙම කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පැවසීය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී ඇති බවත් තමන්ට විවිධ දුෂ්කරතා ඇති බවට එම ලාංකික බලධාරීන් අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුව එම තානාපති කාර්යාලය නිලධාරීන් ⁣තිදෙනෙකු ඔවුන් සිටින ස්ථානයට ගොස් කතා කිරීමේදී මෙම කලබලකාරී තත්ත්වය ඇති වූ බවද නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා පවසා තිබේ.

කළහකාරී ලෙස හැසිරුණු ලාංකික ශ්‍රමිකයින් පවසා සිටින්නේ තමන්ට මාස පහක් තිස්සේ සිය සේවා ස්ථාන වලින් නිසි පරිදි වැටුප් නොලැබුණු බවත් මේවන විට තමන්ට ලැබුණුයේ දිනකට කෑම වේල් දෙකක් පමණක් බවයි.

එබැවින් හැකි ඉක්මනින් තමන්ව දිවයිනට ගෙන්වා ගන්නැයිද ඔවුහු රජයෙන් ඉල්ලා තිබේ.

කොරෝනා වසංගතය හමුවේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින ලාංකික ශ්‍රමිකයන් තමන්ව ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ තමන් ශ්‍රමිකයන්ට නොව විදෙස් ගත ශිෂ්‍යන්ට මූලිකත්වය ලබාදෙන බවයි. එසේම ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල මට්ටමින් සොයා බලන බවත් ඔවුන් දුක් විඳින බව පැවසීම අසත්‍යක් බවද එහිදී පැවසුණි. නමුත් මෙම සිදුවීම හරහා පැහැදිලි වන්නේ ද එවැනි කිසිදු මැදිහත්වීමක් සිදුකිරීමට ආණ්ඩුව සමත්ව නැති බවයි. එසේම මහජන මුදල් වියදම් කරමින් විදෙස්ගතව සිටින ලාංකිකයන් වෙනුවෙන් සේවය කිරීමට පත්කර ඇති තානාපති නිලධාරීන් සිටීමෙන් එම රටවලට ශ්‍රමිකයන්ට කිසිදු සෙතක් අත් නොවන බවද පැහැදිලි වේ.

leave a reply