උපුල් සන්නස්ගලගේ යූ ටියුබ් නාලිකාවේ තිබුණු රූකාන්ත ගුණතිලකගේත්, ඒත් එක්කම ඇන්තනි සුරේද්‍ර පිළිබඳවත් කර තිබුණු වීඩියෝ දෙක බලන්නට උනන්දුවක් ඇති කළෙමි. ඊට අමතරව චාමාර වීරසිංහ රෝහල් ගත වී සිටීම නිසා මුහුණු පොතේ ඔහු ගැන කියැවෙන, ලියැවෙන ගැයෙන දෑ ද වරින් වර ඇස කණ ගැටිණි. ටික කලකට පෙර චාමර සම්බන්ධ වූ “මා නො වන මම” වැඩ සටහන ද නරඹන්නට හැකි වුණෙමි.
දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය?
කවුරුහරි මෙහෙම අහන්න පුලුවන් වුණත් නැතැත්, මේ තිදෙනා සම්බන්ධයෙන් මගේ හිත ඇතුලේ ඇති කළ අතීත දෘෂ්ටිවාදී බලපෑම පිළිබඳ ඇති ආවර්ජනයන් යළි ගොඩ නැංවීමක් කළ යුත්තේ ඇයි කියන දේ ගැන මගේ අවධානය යොමු කරමි.
ඇන්තනි සුරේන්ද්‍ර සහ ජනතා සාහිත්‍ය උළෙල
පළමු අතීත මතකය යන්නේ ජනතා සාහිත්‍ය උළෙල පැවැත් වූ විහාර මහ දේවි එලිමංහ රඟහල අවට පරිශ්‍රයට ය. කාලය ගත්තොත්, 1991/ 92 වගේ මතකයි. රණසිංහ ප්‍රෙමදාස පාලන කාලයේ භීෂණ සමය අවසන්ව පැවැති, ජනතා විමුක්ති පෙරමුණ සමූල ඝාතනයට ලක්කොට දේශපාලනික ක්‍රියාකාරකම් වෙනුවට සංස්කෘතික තලයේ ක්‍රියාකාරතම් හිස ඔසවමින් පැවැති, එහෙත් මර්ධනයටත් මුහුණ දෙමින් අභියෝග කරමින් පැවැති කාලය යි. සුනිල් මාධව ප්‍රේමතිලක, විනී හෙට්ටිගොඩ වැනි තවත් අය හිරු පුවත් පත මුල්කරගෙන ජනතා අධාරයෙන් ජනතා සාහිත්‍ය උළෙලක් සංවිධානය කරන්නට විය. ඇත්තටම එදා එය පශ්චාත් භිෂණ සමයේ දී කරන ලද අභියෝගාත්මක, ධෛරයසම්පන්න, වීර ක්‍රියාවක් විය. තරුණ ජවය, යලි නැගිටීමට, අලුත් මාවත් සොයා යෑමට මේ කාර්යය කැඩපතක් විය.
එම සාහිත්‍ය උත්සවය දවස පුරා පැවත්වෙද්දී, එක් අවස්ථාවක සිදු කළ සංවාද වැඩසටහනක් හේතු කොට ගෙන ඇන්තනී සුරේන්ද්‍ර මට සිහියට පැමිණියේ ඔහු මගේ ප්‍රථම සංජානනය නිසා විය හැකි ය. එතැන සංවාදය පිණිස ආර්ධිතයන් ලෙස පැමිණ සිටි අය අතර මගේ මතකය නිවැරදි නම් සිරිමල් අබේසිංහ, දීප්ති කුමාර ගුණරත්න, ශක්ති වාදන කණ්ඩායමේ ඇන්තිනි සුරේන්ද්‍ර සහ ආනන්ද පෙරේරා සමඟ තවත් කිහිප පළක් සහාභාගි වි සිටියා. එවුන් එකිනෙකා අදහස් දැක් වූ අතර ඔවුන්ව වට කර සිටි තරුණ පිරිස් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. එතැන දී, මගේ මතකයේ ඇත්තේ සිද්ධි දෙකකි. එකක් සිරිමල් විජේසිංහව ප්‍රශ්න කිරීමේ දී ඔහු දුන් පිළිතුර ය. දෙවැන්න ශක්ති කණ්ඩායමව ප්‍රශ්න කිරීම සහ ඔවුන් දුන් පිළිතුර ය. එය ඇත්තටම ඔවුන් ලාවා ලබාගත් පිළිතුරක් දෝ යැයි මට දැන් කල්පනාවට පැමිණේ.
සිරිමල්ට යොමු කළ ප්‍රශ්නය වූයේ සමාජවාදය ගැන හෝ විප්ලවය හෝ වැනි දෙයකි. ඒ ප්‍රශ්නයට සිරිමල් විසින් පිළිතුරු ලෙස ෆ්ලැට් කර දැමීමේ ක්‍රමවේදය නිසා එය අදටත් මතකය. ඔහුගේ උත්තරය ප්‍රශ්නය තුලින්ම පරාජය කරනාකරයක් පෙන්වමින් ලෙනින් විසින් කියන ලද දෙයක් යැයි උපුටා දක්වමින් එයට අදාල වෙලුම සහ පිටු අංකය සිහිතව දුන් පිළිතුර විසින් රැස් වී සිටි පිරිස හා ප්‍රශ්න කළ පුද්ගලයාව බිත්තියට හේත්තු වූවාක් වැනි විය.
දෙවැනි ප්‍රශ්නය ඉතා තද විවේචනයක් ලෙස එල්ල කරනු ලැබුවේ ශක්ති කණ්ඩායමට ය. එය නම්, ඔවුන් ජනප්‍රිය සංගීතය යොදාගෙන සංස්කෘතිය විකාශ කරනවා වැනි අදහසකි. එයට දැඩි ප්‍රශ්න කිරීමක් කළ අතර, ආනන්ද සහ සුරේන්ද්‍ර එතැන දී අසරණ තත්ත්වයට පත්කර විය. ඔවුන් ජනතාවගෙන් සමාව ගෙන මින් ඉදිරියට ජනතාවාදී වන බවට පොරොන්දු විය යුතු යැයි බලපෑමක් ඇති වූවා යැයි සිතේ. එදා තට්ට හිසැති ආනන්ද පෙරේරාත්, අද වගේම හිනා වී ටිකක් කතා කළ සුරේන්ද්‍ර මට මතකයට නැගේ.
රූකාන්ත සහ ගීත රචකයන්
දැන් ඊ ලඟට මතකයට එන්නේ රූකාන්ත ගැන ය. හැබැයි මේ සිදු වීමට රූකාන්ත නැත. ඒ වෙනුවට එදා සිටි සම්භාව්‍ය යැයි ප්‍රබුද්ධ ලෙස සැලකෙන ගීත රචකයන් බොහෝ පිරිසක් සහභාගී විය. මතකයේ හැටියට මෙය සිදු වූයේ අනූව දශකයේ මුල් කාලයේ දීය. ජාතික තරුණ සේවා සභාව විසින් ගීත රචනා වැඩ මුළුවක් සංවිධානය කරන්නට විය. ඒ සඳහා අද ප්‍රවීන යැයි සැලකනෙ බොහෝ පිරිස් සහභාගී විය. ගීත රචකයන් කියනවට වඩා කවියන් ය.
බණ්ඩාර ඇහැලියගොඩ, රත්න ශ්‍රී විජේසිංහ, රෝහණ වීරසිංහ, කුල රත්න ආරියවංශ, සුනිල් ආර්. ගමගේ ආදී තවත් පිරිසක් දේශකයන් ලෙස සහභාගී විය. එතැන දී, හොඳ ගී පද රචනාවක් යනු කුමක්ද යන්නටත් නරක ගී ලෙසත් කරන වර්ගීකරණයේ දී එදා රූකාන්ත ගුණතිලක යනු සුසාධිත ගීත සාහිත්‍යයේ භ්‍රෂ්ඨයා බවට පත් කරන්නට විය. ඒ පැමිණ සිටි කිසිවකු එයට විරුද්ධ නො වූ අතර, අනුමත කරන්නට වූයේ එකල සමාජය තුල ද සම්ප්‍රධාය රකින්නා වූ කොටස් ඔහුව පහත ගණයේ ලා වර්ගකිරීමට අවැසි දෘෂ්ටිවාදයක් ලෙස පැතිර තිබුණු නිසා ය.
දුක් විඳිනා මම ඹබගේ චාමර වීරසිංහ
තුන් වැන්නා වන චාමර වීරසිංහ මෑතම කාලයේ පැමිණි ජනප්‍රිය ගායකයෙක් වූ අතර, ඔහුගේ ගීත පිළිබඳව ද ඉහත විවේචනයම එල්ලි වී තිබිණි. නිදසුනකට, “දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා” ගීතය.
කාලයත් සමඟ වරෙක මිත්‍යා දෘෂ්ටියක්ව පැවැති දෙයක් පසුව සම්‍යදිට්ඨියක් බවට පත් වී ඇත. මේ වෙනස් වීම පරම්පරාවෙන් පරම්පරාවට සිදු වීම එක් අවස්ථාවක් වන අතරම එදා ඒ අදාල පරම්පරාවේ සිටි විද්ග්ධ යැයි සලකන අය මේ අයට විරුද්ධ වී පසුව ඔවුන්ව අනුමත කිරීම සිදුවීමත් උත්ප්‍රාසජනක ය. ජනකාන්ත මනකාන්ත රූකාන්ත ලෙස පණ්ඩිත් අමරදේව සමඟ එකම වේදිකාවට ගොඩ වූ රූකාන්ත එක් අතකට එදා එතෙක් පැවැති විදග්ධ බලය හා දෘෂ්ටිවාදී තාප්පය සෙලවීමක් සිදු වුවත්, ඇත්තටම රූකාන්තව එදා පිළි නො ගනු ලැබුවේ පැවැති සම්ප්‍රධායට නව සම්ප්‍රධායක් භාවිත කිරීම අනුමත කිරීමට නො හැකි වීම මෙන්ම, පැරණි අනන්‍යතාව අනතුරට ලක් වන්නේ යැයි යන භීතිය නිසා ය.
එදා එහෙම වෙද්දී, අද මේ අයව ලෙජන්ඩ් වී ඇත. නමුත් මේ නව ප්‍රවනතාවට විරුද්ධ වීම අනුමත කිරීමට වඩා සැලකිය යුතු වන්නේ, ඒ තුලින් නියෝජනය වන අගයයන් ධර්මතා හෝ සංස්කෘතික ආචාර ධර්මතා එති ඇති දෘෂ්ටිවාදයන් ය. සමාජයක් එක තැනක පල් නො වන අතරම එය හෙමින් වගේම වේගයෙන් ද වෙනස් වීමකට ලක් වෙමින් පවතී. එය විපරිවර්තනයකි. මෙහි දී හොඳ යැයි කියන අනුමැතිය ඇති දේවල් ගැන කල්පනා කිරීම අමුතුවෙන් කළ යුතු නැතත්, වැරදි, නරක, විනාශකාරී යැයි යමෙක් යම් දෙයකට හෝ පුද්ගලයෙකුට කණ්ඩායමකට, රටකට ලෝකයකට පවසන්නේ නම්, නරක යැයි අප මත පටවා ඇති අදහස නිදහසේ විචක්ෂණව සැලකිල්ලට ගත යුතු වීම වැදගත් ය. රෝසා ලක්සම්බර්ග් කියන පරිදි „නිදහස යනු සෑම විටම සහ තනිකරම, වෙනස් ලෙස සිතන කෙනෙකුට ඇති නිදහසයි.”
කලාවට සාහිත්‍යයට වගේම දේශපාලනයටත්, ශිෂ්ටාචාරයටත් මනුෂ්‍යත්වයටත් අදාලය. අපිට දෙන අර්ථකතන හා දෘෂ්ටිවාද විසින් අපව බලපෑමට ලක් කරනු ලබයි. එය නතර කළ නො හැකි ය. හොඳ නරක දෙකෙහි හොඳ තුල නරකත්, නරක තුල හොඳත් නැති තැනක් නො මැත. නමුත් හොඳ දෙයක් හොඳ යැයි ද නරක දෙයක් නරක යැයි ද නිශ්චය කරනු ලබන්නේ අපගේ බුද්ධිය, දැන උගත්කම ය. ඊටත් වඩා හෘද සාක්ෂියය.
එදා විහාර මහ දේවි එලිමහං භූමියේ දී, ශක්තිලාට දුන්න බැටේ ගැන සමූහයක් විදිහට සතුටට පත් වුවත්, අද කල්පනා කරද්දී, එතැන අවුලක් තිබුණු බව අද නොවේ එදාත් යන්තම් හරි තිබුණේ යැයි හැඟේ. රූකාන්ත, චාමර මේ අය මේ ලිපියට නිදර්ශන උනාට අපේ ජීවිතයේ මේ වගේ වැරදි බලපෑමි, අර්ථකතනයන් විශ්වාසයන් කොතෙක් නම් ද. වැදගත් වන්නේ ඒවා තේරුම් ගැනීම වගේම අපෙන් ඉදිරියට එවැනි දෑ ආදර්ශ වීමට ඉඩ නො තැබීමට වගබලා ගැනීම ය. මක්නිසාද, බොහෝ දේවල්වලට අපි නිසා අන් අයට වන්දි ගෙවීමට සිදු වීම ය.
යොහානී ගැන ඇති ට්‍රෙන්ඩ් එකත් අර වගේම වෙන්න පුලුවන්. තව අවුරුදු ගණානාවකින්. දේශපාලනය කොහොම වෙයිද කවුරු ඒ තැනට එයි ද කියන එකත් මේ වගේම නේ ද?
හැබැයි මේ හැම දේකම යම් හෝ සාරයක් තිබුණොත් විතරයි එහෙම වෙන්නේ.