Day: July 6, 2020

  • කැලෑ පාළුවන්ගේ ජය තහවුරු කරන ගෝඨාභය MCC ගිවිසුම අහෝසි  කරයිද?

    කැලෑ පාළුවන්ගේ ජය තහවුරු කරන ගෝඨාභය MCC ගිවිසුම අහෝසි කරයිද?

    MCC ගිවිසුම වෙනුවෙන් රජය චක්‍රලේඛ බිඳ වනාන්තර බිලි දෙන හැටි..!

    ලංකා 2050 වන තෙක් දියත් කරමින් යන ජාතික භෞතික සැලසුමට සහ MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම උදෙසා ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙන් රජයේ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීමට රජය උත්සාහ කරමින් සිටී.

    මෙම චක‍්‍රලේඛයේ ඉතාමත් වැදගත් සඳහන වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත නිදහස් කිරීමට අවසරයක් ඉන් නොතිබීමය. කැලෑ ඉඩම් ව්‍යාපෘති සඳහා නිදහස් කිරීම සිදුකරනවා නම්, ඒ සඳහා ව්‍යාපෘති යෝජනාව පරිසර අමාත්‍යාංශ ලේකම්ගෙන යුත් අන්තර් අමාත්‍යාංශ කමිටුවකට ඉදිරිපත් කර ඒ සඳහා අවසර ලබාගත යුතුව ඇත. මේ නිසාම දේශපාලනඥයන් ඒ ඒ ප‍්‍රදේශවල සිදු කිරීමට නියමිතව තිබූ ඉඩම් කොල්ලයන් යම් තරමක් දුරකට නැවතී තිබුණේ මෙම චක‍්‍රලේඛය නිසාය.

    2050 වසර වන විට ලංකාව ලෝකයේ නාවික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කිරීම සදහා සැලසුම් කි‍්‍රයාත්මක වන බව ජාතික භෞතික සැලසුම හා කි‍්‍රයාත්මකවීමට යන MCC වැනි ගිවිසුම් හරහා මනාව පැහැදිලි වේ. මෙහිදී විශේෂයෙන්ම ලංකාව 2005 ජූලි 4 දින ඉන්දියාව, චීනය, ඇතුළු රටවල් 36ක් සමග ගිවිසගත් ආකාරයට ලංකාවේ අධිවේගී මාර්ග ජාලයක් සාදා නිමකොට ආසියානු අධිවේගී මාර්ග ජාලය හා එකතු කිරීමට ගිවිසුම්වලට පැමිණ ඇත.

    ආසියානු අධිවේගී මාර්ග ජාලය..

    එම ගිවිසුම අනුව මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගය, නුවර – කොළඹ අධිවේගී මාර්ගය, මන්නාරම – හම්බන්තොට අධිවේගී මාර්ගය, හම්බන්තොට – අම්පාර අධිවේගී මාර්ගය ලෙස අධිවේගී මාර්ග ඉදිවෙන අතර, එය අවසානයේ මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සාදා නිම කොට ආසියානු අධිවේගී මාර්ග ජාලයට එක් කරනු ලබයි. මෙම අධිවේගී මාර්ග ජාලයට අමතරව රට තුළ නගර අතර අධිවේගී මාර්ග ජාලයක් ඉදිවේ. මේවා ඉදිවන්නේ තෙත් භූමි හෝ ආරක්ෂිත භූමි වනසමින් ඒවා මත ටොන් ගණන් වැලි අතුරා, ඒවා මත මාර්ග තැනීමෙනි.

    මෙයට අමතරව ලංකාව පුරාම දුම්රිය මාර්ග ජාලයක් ඉදිවෙන අතර, එයද මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ආදම්ගේ පාලම ඔස්සේ සම්බන්ධ කරනු ලබයි. මෙම සෑම මාර්ගයකම ගමන් කිරීම සඳහා අයකරන මුදල එම මාර්ග නිර්මාණය කළ සමාගම් වෙත ලබාදෙන අතර, ඇතැම් මාර්ගවල ආදායම වසර විස්සක් යනතෙක්ම එම සමාගම් වෙත ලබාදිය යුතුය.

    ලංකාවට ගුවන්තොටුපොළවල් 19 ක්..

    පලාලි, ත‍්‍රිකුණාමලය, පුත්තලම, මඩකලපුව, කඵතර, අම්පාර, වව්නියා, අනුරාධපුර, ගාල්ල, රත්මලාන යන ගුවන්තොටුපොළවල් වැඩිදියුණු කරන අතර, 2013 වසරේ සිට මහනුවර, නුවරඑළිය, දඹුල්ල යන ස්ථානවල අලූතින් ගුවන්තොටුපොළවල් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2050 අවසාන වන විට ලංකාවේ මුඵ ගුවන්තොටුපොළවල් සංඛ්‍යාව 19 කි.

    මන්නාරම හා ප‍්‍රධාන ගොවිබිම් මුල්කර ගනිමින් ලංකාව පුරා මහ නගර කලාප, විශේෂ නගර, දිස්ත‍්‍රික් අගනගර ලෙස නගර නිර්මාණය කරන අතර, මේවා ගොවිතැන මුල්කරගත් නගර නොව කාර්මික නගර, ආයෝජන කලාප, තොරතුරු තාක්ෂණ කලාප සහිත වාණිජ ප‍්‍රදේශයන්ය. ගම්පහ සිට කළුතර දක්වාත්, මාතර, හම්බන්තොට, තණමල්විල අතර ප‍්‍රදේශ මහානගර කලාප වන අතර, අම්පාරේ සිට මඩකලපුව දක්වා නැගෙනහිර මහා නගර කලාපයත්, ත‍්‍රිකුණාමලය, පොළොන්නරුව, දඹුල්ල, අනුරාධපුර, ප‍්‍රදේශය උතුරු මැද මහානගර කලාපය ලෙසත්, මන්නාරම, කිලිනොච්චිය සිට පේදුරුතුඩුව දක්වා ප‍්‍රදේශය යාපනය මහ නගර කලාපය ලෙසත් ඉහතකී පරිදි පරිවර්තනය කිරීම ආරම්භ කර ඇත.

    ස්වාභාවික පරිසරය දැවැන්ත හානියකට..

    2011-2050 දක්වා කි‍්‍රයාත්මක කිරීමට නියමිත ජාතික භෞතික සැලැසුම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවැති පරිසර පද්ධති රැසක් තවදුරටත් එලෙස නොපවතින අතර, මහා නගර කලාප, අධිවේගී මාර්ග හා ස්ථාපිත වීමට නියමිත තාප හා න්‍යෂ්ටික බලාගාර ඇතුළු විදුලි බලාගාර හා ආර්ථික භෝග වගාවන් නිසාත්, ඇමෙරිකාව, චීනය හා ඉන්දියාව ඇතුළු රටවලට හා බහුජාතික සමාගම්වලට විශාල වශයෙන් කැලෑ ඉඩම් ලබාදීම නිසාත් ස්වාභාවික පරිසරය දැවැන්ත හානියකට පත්වෙනු ඇත.

    2019 වසරේ සිංහරාජයේ කුඩව ප‍්‍රදේශයේ ලෝක බැංකු ආධාර මත මාර්ග ඉදිකිරීම ආරම්භ කළ අතර, ලෝක උරුම යුනෙස්කෝ සංවිධානය විසින්ද මේ පිළිබඳ විමර්ශනයක් කරන ලද අතර, රක්ෂිත වනාන්තර ගණනාවක් මෙම සැලසුම මත විනාශ කර දමන ලදී.

    එමෙන්ම උඩවලව ජාතික වනෝද්‍යානය, වැටහිර කන්ද, ලූණුගම්වෙහෙර, මදුනාගල, වීරවිල, නිමලව, බුන්දල, උස්සන්ගොඩ, කතරගම, කටගමුව, රුහුණු යාල, සාගම, බුද්ධංගල, උල්පස්ස, එගොඩයාය, මහකනදරාව, අනුරාධපුර, මිහින්තලේ, රිටිගල, කහල්ල, පල්ලේකැලේ, සීගිරිය, මින්නේරිය, ගිරිතලේ, ඇළහැර, බකමූණ, කවුඩුල්ල, සෝමාවතිය, නෙවල් හෙඩිවර්ක්, චුණ්ඩිකුලම්, විල්පත්තු, යෝධවැව, චෙන්කලඩි, මඩු රක්ෂිතය, මුතුරාජවෙල, කලමැටිය, පෙරියකච්චි වැනි ජාතික වනෝද්‍යාන, ස්වාභාවික රක්ෂිත, දැඩි ස්වාභාවික රක්ෂිත, අභයභූමි යන වනාන්තර අධිවේගී මාර්ග ඉදිවීම නිසා හායනය වීම සිදුවේ. එමෙන්ම බිබිල, නිල්ගල හා්ටල් ව්‍යපෘතියක් හා සංචාරක කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම නිසාත් සැලැකිය යුතු විනාශයක් සිදුවේ. මෙයට අමතරව MCC ගිවිසුමට අදාළව ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සඳහා 5/2001 චක‍්‍රලේඛය අහෝසි කර අවශේෂ වනාන්තර ලබා ගැනීම වෙනුවෙන් රජය මේ වන විට කටයුතු කරමින් සිටී.

    වනාන්තර ප‍්‍රතිශතය 16% සිට 10% දක්වා අඩුවේ..

    2011-2050 ජාතික භෞතික සැලැස්ම කි‍්‍රයාත්මකවීම තුළ විනාශ වන වනාන්තර ප‍්‍රතිශතය 2012 වනවිට 16%ක්ව තිබෙන වනාන්තර ප‍්‍රතිශතය 2050 දක්වා සිදුවීමට නියමිත වන විනාශය සමග 10%ක් දක්වා අඩුවනු ඇති බවට ඉඟි පළ වෙමින් තිබේ.

    2011 වර්ෂයේ Dole සහ CIC සමාගම් සඳහා අක්කර 65,600ක ඉඩම් ප‍්‍රමාණයක් ලබාදුන් අතර, ඒ යෝජිත රක්ෂිත අභය භූමි ඇතුළු ප‍්‍රදේශවලිනි. තේ, පොල්, රබර්, කුඹුරු සඳහාත් නගර නිර්මාණය හා ගොඩනැඟිලි සඳහාත්, මිනිස් ජනාවාස හා ආර්ථික භෝග සඳහාත් යනාදී වශයෙන් සියලූ ඉඩම් භාවිතයන් ගතහොත් දැනට ප‍්‍රතිශතයක් ලෙස මුළු භූමි ප‍්‍රමාණය වන වර්ග කි.මී. 65,525න් සියයට 83.5ක් දැනට භාවිතයට ගෙන ඇති අතර, ඉතිරිවී ඇත්තේ සියයට 16.5ක වනාන්තර ප‍්‍රතිශතයකි.

    දැනටමත් ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය විනාශවී යන ‘උණුසුම් කලාප’ 34න් එකක් බව හඳුනාගෙන ඇත. මෙලෙස සිදුවන දැවැන්ත පරිසර හානිය නිසා ඉතිරිවන 13%-10% වනාන්තර ප‍්‍රතිශතය තුළ භූගත ජල මට්ටම පහළ බසින අතර, දැනටමත් මළ ගංගාවක් බවට පත්ව ඇති ‘මඟුරු ඔය’ ඇතුළු ගංගා 103 න් සැලැකිය යුතු ගංගා ප‍්‍රමාණයක් මේ අනුව ‘මළ ගංගා’ බවට පත්වීමේ අවදානමක් පවතී.

    භූමි කළමනාකරණයේ ගැටලූකාරී ස්වභාවය නිසා කුඩා වැව් විශාල සංඛ්‍යාවක් විනාශ වී යන අතර, එල්ලංගා පද්ධති තැනින් තැනට අවහිරවීම නිසා ජලවහන රටාව වඩා වෙනස් ස්වරූපයක් ගැනීමටත්, නියං හා ගංවතුර ආපදා තත්ත්වයන් ඉහළ යාමටත් මෙය හේතුවක් වේ.

    2009 වර්ෂයේ ගෙනෙන ලද ජාතික අලි කළමනාකරණ ප‍්‍රඥප්තිය මඟින් අවතැන් වන අලි ඇතුන් 50 කි.මී. වනාන්තර කුටිවලට කොටු කරනු ලබන අතර, වැටවල් කඩාගෙන පිටතට එන අලි ඇතුන් කලහකාරී අලි ඇතුන් ලෙස සලකා පෞද්ගලික අයිතියට පැවරීමට මේ වන විට සැලසුම් සකස් කොට ඇත.

    ‘ආර්ථික ඝාතකයකුගේ පාපෝච්චාරණය’

    ජාතික භෞතික සැලැස්මේ විනාශකාරී සංවර්ධනය සඳහා මුදල් ආධාර දෙනු ලබන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනයන්ය. ජෝන් පර්කින්ස්(J‍ohn Perkins) යනු ලෝක බැංකුව යටතේ අනෙකුත් රටවලට සංවර්ධනය ගෙන ගිය පුද්ගලයෙකි. ඔහුගේ ‘ආර්ථික ඝාතකයකුගේ පාපෝච්චාරණය’ (Confession of an Economic Hit Man) කෘතියට අනුව ඇමෙරිකාව ඇතුළු රටවල් දැවැන්ත සංවර්ධනය පිළිබඳ තිබූ විශ්වාසය නිසා හා ඒවා එකින් එක අසාර්ථක වන විට තමන්ගේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා වෙනත් රාජ්‍යවල නායකයන්ට දැවැන්ත සංවර්ධනය පිළිබද චිත‍්‍ර මවා එම සංවර්ධනය මගින් ආර්ථික ඉලක්ක ළඟා කරගන්නා ආකාරය හා ඒ අනුව එවැනි සිහින රාජ්‍යයන්ට සිදුවූ දෙය ඔහු විසින් පෙන්වනු ලබයි. ලංකාවට අදාළව ජාතික භෞතික සැලැස්ම මෙන්ම ඒ තුළ කි‍්‍රයාත්මක වන ඇමෙරිකාවේ ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ (MCC) විසින් ඉල්ලා සිටින කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා නිර්මාණය කරන ආර්ථික කොරිඩෝව දිස්ත‍්‍රික්ක හතක් දක්වා කි‍්‍රයාත්මක වන අතර, එම ප‍්‍රදේශයේ ඇති දැනට ඉතිරිවී ඇති කැලෑ ඉඩම් හා ජනතාවට අයත් ඉඩම් විකිණීම බහුජාතික සමාගම්වලට ඇමෙරිකාව හරහා විකිණීමේ සැලසුමද එකකි.

    පරිසරවේදීන්, පරිසර සංවිධාන, හා සිවිල් සංවිධාන ඇතුළුව පොදු ජනතාවද මෙය වඩා ගැඹුරින් තව තවත් අවබෝධ කරගත යුතුය. මෙහිදී ‘සත්‍යය පරිසර සංරක්ෂණය’ යනු තවදුරටත් තැන් තැන්වලින් කලින් කලට මතුවන පරිසර ප‍්‍රශ්නවලට පමණක් විටින් විට විසඳුම් සොයමින් පරිසර සංරක්ෂණය හෝ මහ පොළොව ආරක්ෂා කරගැනීම නොවන බව වටහාගැනීමට කාලය පැමිණ ඇත. අඩුම තරමේ තැන් තැන්වල මතුවන පරිසර ප‍්‍රශ්නය කි‍්‍රයාත්මක කරන මහා සැලසුමට සියලූ දෙනාම අභියෝග කළ යුතුය.

    රවින්ද්‍ර කාරියවසම
  • සෑම කෙනෙකුගේම යුක්තිය උදෙසා වෙහෙසීම ට වඩා ප්‍රමෝදයක් තවත් නැත – අරුන්දතී රෝයි

    සෑම කෙනෙකුගේම යුක්තිය උදෙසා වෙහෙසීම ට වඩා ප්‍රමෝදයක් තවත් නැත – අරුන්දතී රෝයි

    දලිත් කැමරා – සීඝ්‍ර ආර්ථික වර්ධනය සහ පුරවැසි සවිබල ගැන්වීම සඳහා “සන්නද්ධ ඩිජිටල් තාක්ෂණයන්” වලට ඩිජිටල් ඉන්දීය ව්යාපෘති ආණ්ඩුව විසින්ම හඳුන්වාදී ඇත. ආරෝග්‍යා සේතු ඇප් එක සහ MyGovCoronaHub යන මෙම ව්යාපෘතියේ කොටසක් ලෙස හඳුන්වා දී තිබේ. ඔබේ අදහසට අනුව, ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කිරීමෙන් ඇත්තටම ඉන්දීය රජය අදහස් කරන්නේ කුමක්ද? එය විසින් සවිබලගැන්වීමට අදහස් කරන ඉන්දීය පුරවැසියා සමන්විත වන්නේ කාගෙන්ද සහ කුමන ආකාර වලින්ද? අදහසක් හැටියට වුවත් , ඔවුන්ගේ බහුතරයක් දෙනා පුරවැසියන් වුවද, කාවද එය විසින් බැහැර කරන්නේ?

    අරුන්දතී – 2022 වන විට ස්මාට්ෆෝන් භාවිතා කරන්නන් සංඛ්යාව මිලියන 440ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. යෝජිත ජනගහණයෙන් තුනෙන් එකකටත් වඩා එය අඩුය. මාර්ගගත ඉගෙනීම සඳහා ස්මාට් දුරකථන ඔවුන් සතුව තිබෙනු ඇතැයි දැන් ලමයින්ගෙන් පවා අපේක්ෂා කෙරේ. ඉතින් මෙම ඩිජිටල් ඉන්දියාව සඳහා වන මහා සැලසුම් විසින් ජනගහණයෙන් බහුතරයක් බැහැර කරයි. ඔබ සඳහන් කළ ඇප්ස්… ඒවා තවමත් නොමේරූ සහ අසම්පූර්ණ වුවද ඒවා හඳුන්වා දී ඇත. තාක්ෂණය සහ කෘතීම බුද්ධිය ඇතුළු තවත් ඒවා විසින් දැවැන්ත සෞඛ්ය ගැටලු, අධ්යාපනය සහ දරිද්රතාවය විසදාවි කියා විශ්වාස කරන මෙම බිල් ගේට්ස් පන්නයේ ප්‍රවේශය අනතුරුදායකය. අපිට අවශ්‍යයි දේශපාලනික විසඳුම්. අයුක්තිය, සාගින්න, නව-ජාතිවාදය,නව-කුලවාදය, ඉස්ලාම් භීතිකාව සහ පාරිසරික විනාශය නව ලිබරල් ධනවාදය තුළට කේතනය කර ඇත. ඇප්ස් සහ ව්යාජ ඩිජිටල් කාර්යක්ෂමතාවයට ගැටලුව විසදිය නොහැකි වගේම විසදන්නේ ද නැත. ඒවායින් අදහස් කරන්නේ අපව පුද්ගලීකකරණය කළ ධනවාදී ආවේක්ෂණ රාජ්යයට ගැටගැසීමටයි.

    දලිත් කැමරා – කේරළ ආණ්ඩුව විසින් විධිමත් කිරීමට උත්සාහ කළ අධ්‍යාපන මාදිලියක් වන මාර්ගගත අධ්‍යපනයට ප්‍රවේශ වීමට හැකියාවක් නොතිබූ නිසා දේවිකා නම් දලිත් ශිෂ්‍යාව මෑතකදී සියදිවි නසා ගත්තාය. තාක්ෂණය යන්න ඓතිහාසිකව, සමාජය ප්‍රජාතන්ත්‍රීකරණය කරනා මාධ්යයක් ලෙස සැලකේ. කෙසේවෙතත්, ඉන්දියාව තුළ තාක්ෂණය තවදුරටත් බැහැකිරීමට සහ ආන්තිකකරණය කිරීමට අවස්ථාවක් බවට පත් වෙනවා, හරියට අපි දැක්ක දේවිකා සහ මාර්ගගත අධ්යාපන පිළිබඳ සිද්ධිය යනාදිය වගේ. කොහොමද අපගේ සුවිශේෂ සංදර්භය තුළ මෙම පරස්පරතාවය අපට හැසිරවිය හැක්කේ?

    අරුන්දතී – මම හිතනවා ඔබගේ පෙර ප්‍රශ්නයට දුන් පිළිතුර තුළ මෙම ප්‍රශ්නයට ගොඩක් දුරට මම උත්තර දී තිබුනා කියා. අවවරප්‍රසාදිත පසුබිම් වලින් එන දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ව්‍යසනයක් බවට පත්විය හැක. දේවිකා සිය දිවි නසාගත්තේ බැහැර කිරීමේ ගැඹුරු ළිඳ තුළට තමාව වැටෙනවා දුටු නිසා ය. මොකද ඇයට ස්මාට් ෆෝන් එකක් තිබුණේ නැහැ සහ රූපවාහිනිය අලුත්වැඩියා කිරීමට නොහැකි තරම් ඇගේ පවුල දුප්පත් වූ නිසාය. ඇය වගේ අය මිලියන් ගණන් ඉන්නවා. එහෙත් ස්මාට් දුරකථන ඇති අයට පවා- පාසල්, විශ්වවිද්යාල, කැම්පස් සහ පන්තිකාමරවලින් පිටත සිදුවන සියල්ල ද පන්තිකාමරවල ඇතුළත සිදුවෙන දෙය තරම්ම තරුණ අය සඳහා වැදගත් වේ. දලිත්, ආදිවාසී සහ දැන් වැඩි වැඩියෙන් මුස්ලිම් ශිෂ්‍යයන් පාසල්, විශ්වවිද්යාලවල විශාල දුෂ්කරතාවයක ට මුහුණ දී සිටිති. නමුත් අපි හැමෝම විසින් එම අරගල කළ යුතුය. මාර්ගගතව අපිව හුදෙකලා කිරීම අපෙ සමාජය තුළ වඩාත් භයානකම දෙය වෙනු ඇත. මම මෙම මාර්ගගත අධ්යාපනයේ අදහස මුල් බැසගැනීම ගැන දැඩිව බිය වෙමි- දිගු කලක් තිස්සේ අධ්යාපනයෙන් නිරායෝජනය කිරීමට සහ පුද්ගලීකරණයට අපේක්ෂා කළ ආණ්ඩු මෙම මාර්ගයට පිවිසෙන්නට උත්සාහ කරනු ඇතැයි දැඩිව බියවෙමි . අපට එයට ඉඩ දිය නොහැක.

    දලිත් කැමරා – මෑතකදී, ඔබත් බොහෝ ජාත්යන්තර ක්රියාකාරීන් සහ විද්වතුන් සමඟ ප්‍රගතිශීලී ජාත්‍යාන්තරය නම් වැඩසටහනක් දියත් කලා. අපිට දැනටමත් තියෙනවා වාමාංශික ජාත්‍යන්තරවාදයක් සහ කලු ජාත්‍යන්තරවාදයක්..යනාදිය. එහෙත් මෙම උත්සාහයන් බොහොමයක් බිඳී ගොස් ඇත සහ කෙසේ හෝ දේශපාලනික පරිකල්පනයනුත් ජාතිකකරණය වී ඇත සහ ජනවාර්ගිකකරණය වී ඇත. ජාතික ජනප්‍රියවාදය සහ ලෝක පද්ධතියේ සම්පූර්ණ අසාර්ථකත්වයේ සන්දර්භය තුළ ප්‍රරගතිශීලි ජාත්‍යායන්තරවාදය ඉදිරියට යන්නේ කෙසේද?

    අරුන්දතී – ජාත්‍යන්තර මුල පිරීම් වැදගත් ය. මක් නිසාද යත්, ඒවා අපිට දෘෂ්ටිකෝණයක් දෙන, අවබෝධය, ආරක්ෂාවෙන් ස්වල්පයක් සහ සහයෝගීතාවයේ මාවත් ලබා දෙන බැවිනි. විශේෂයෙන් අපගේ වගේ රටවල, දේශපාලනික වාගාලංකාරය මෙම අවලස්සන හින්දු ජාතිකවාදය බවට පත්වී ඇති දැන් වගේ කාලයක. එහෙත් දේශීය සංවිධාන ගත කිරීම් සහ විරෝධතා වලට ජාත්‍යාන්තරවාදය ආදේශ කළ නොහැකියි සහ එසේ නොකළ යුතුයි. එය විශාල වැරැද්දක් වනු ඇත. අපි අපේ අරගල සඳහා සටන් කළ යුතුයි, සහ බොහෝ දුරට අපි තනි වී සිටිනු ඇත. කිසිවෙකුට අපිට උදව් කළ නොහැකියි.

    දලිත් කැමරා – ගෝලීය විරෝධතා ව්‍යාපාර ක්‍රමානුකූල ප්‍රතිසංස්කරනවාදී සර්වසුභවාදී ක්‍රියාවන්ට වඩා දැන් වඩාත් රැඩිකල් සහ පද්ධතිගත වෙනසක් ඉල්ලා සිටී. හින්දු නාසි රෙජීමය යටතේ පවතින හින්දු ලිබරල් ලෞකික මහජන බුද්ධිමතුන් ගේ සර්වසුභවාදී ප්‍රතිසංස්කරනවාදී දේශපාලනික න්‍යයාය පත්‍රය තවමත් අවධාරනය කිරීම ඉන්දීය සංදර්භය තුළ කොහොමද ඔබ දකින්නේ ?

    අරුන්දතී – ඊට කෙටි උත්තරය නම් පවතින සමාජ/ආර්ථික/බුද්ධිමය තත්ත්ව තුළ පරදුවට තැබීමට යමක් ඇති මිනිසුන් විප්ලවය සිදුකිරීමට එළබීම දුර්ලභබව යි. ඔවුන් යම් නැවත පින්තාරු කිරීමකට හෝ නව නල ඇදීමකට කැමති විය හැක. කුඩා ඇදීම් සහ එබීම් කරාවි- එහෙත් ඊට වඩා දෙයකට කැමති නැත. ප්‍රජාතන්ත්රවාදය, සමානාත්මතාවාදය සහ යුක්තියේ පරීක්ෂණයෙන් ඉන්දියාවේ සෑම මහජන ආයතනයක්ම පාහේ අසමත් ව ඇති අතරතුර ඔවුන් ඒ කෙරෙහි විශ්වාසය තබාගනී. මෙම වර්තමාන රෙජීමය හින්දු නාසි රෙජීමයක් ලෙස ඔබගේ වාර්ගීකකරණය ඉදිරියේ බොහෝ දෙනා හැකිලෙනු ඇත. එහෙත් ස්වාමි ජාතිය පිළිබඳ ෆැසිස්ට් විශ්වාසය බ්රාහ්මණවාදය සහ භූදේව -බ්රාහ්මණයන් පෘථිවියේ දෙවියන්ය – යන සංකල්පයෙන් දුරස්ථ නැති බවයි. දිව්‍ය වරම මඟින් සමහර මිනිසුන් අනෙකන්ට වඩා නිසගයෙන්ම උසස් හෝ පහත් වන අදහස පහසුවෙන් ස්වාමි ජාතියේ ෆැසිස්ට් අදහස තුළට ලිස්සා යන්නේ කෙසේදැයි දැකීමට අසීරු නැත.

    දලිත් කැමරා – දැන් ක්රියාත්මක එන් ආර් සී – සී ඒ ඒ – එන් පී ආර් විරෝධී ව්‍යාපාරයේදී, අපි දකිනවා ආණ්ඩුක්‍රම ව්යවස්ථාව සහ ඉන්දීය ජාතික කොඩිය පෙරදැරි කර ඇති අයුරු. අපගේ ප්‍රශ්නය විශේෂයෙන්ම ව්‍යවස්ථාව පිළිබඳවයි. ව්‍යාපාරයේ පෙරමුණේ සිටින අයගේ අනන්‍යතාවන් කේන්ද්‍රගත කිරීමට අප ඉඩ නොදෙන ආකාරයට, දලිත්- බහුජන්-මුස්ලිම් ප්‍රධාන ප්‍රශ්නයෙන් ඉවතට හැරවීමට ව්‍යවස්ථාව යොදාගෙන ඇති බව ඔබට හැඟෙනවාද? ඔබට අනුව මෙහි ගම්යාර්ථයන් මොනාද?

    අරුන්දතී – ඇත්තෙන්ම මෙය සංකීර්ණයි. ඉතා හොඳ හේතු කීපයක් නිසා, මිනිසුන්ට ඔවුන්වම පින්තාරුවේ කොනකට කොටු කරගැනීමට බල කෙරී ඇත. ආචාර්ය අම්බෙඩ්කාර් කෙටුම්පත් කමිටුවේ සභාපති ධූරය දැරූ ඉන්දීය ව්යවස්ථාව, එය කෙටුම්පත් කළ සමාජයේ තත්ත්වය අනුව එහි කාලයට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ ලේඛනයකි. සදාචාරාත්මකව සහ නීත්‍යානුකූලව සියලු මනුෂ්‍යයන් එක හා සමානය සහ සමාන අයිතිවාසිකම් ඇතැයි යන නීතිය පළමු වරට නියම කරනු ලැබූ අවස්ථාව එයයි. ඉන්දියාවේ අප තරම් විවිධතත්වයෙන් යුතු සහ කුලය පිළිපදින සමාජයක් තුළ – ඉතා ඉහළ සහ ඉතා පහළ හැර ඉනිමගේ උඩ සිට පහලට සෑම කෙනෙක්ම පීඩිතයකු සහ පීඩකයකු වන – මෙම ව්‍යවස්ථාමය සදාචාරයේ සහ සමානාත්මතාවයේ අදහස විශාල දෙයක් විය. විශේෂයෙන් දලිත් අයට එය ශුද්ධ ග්‍රන්ථයක් බවට පත් ව ඇත. කාලය තුළ ගල් ගැසී ඇත.

    උත්ප්‍රසාත්මක ලෙස, ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ බොහෝ අංශ පිළිබඳව අම්බෙඩ්කාර් දැඩිව කලකිරීමට පත් වී එය ජීවමාන ලියවිල්ලක් විය යුතු යැයි විශ්වාස කළ අතර සෑම පරම්පරාවක්ම එය වැඩි දියුණු කිරීමට කටයුතු කළ යුතු බව විශ්වාස කළේය. එහෙත් හින්දු දක්ෂිණාංශයේ නිරන්තර ප්‍රහාරයෙන් එය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයෙන් පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වන ඉල්ලීම් ප්‍රගතිශීලි නොව ප්‍රතිගාමී බව ය. එබැවින් එය ආරක්ෂා කරගැනීම සඳහා අප එය වටා පෙළගැසිය යුතුය. එය ආරක්ෂා කරන අයට, විශේෂයෙන් දැන් ආර් එස් එස් බලයේ සිටින විට, යම් ආකාරයක ව්‍යවස්ථාවාදයකට යොමු වීමට සිදුව තිබේ. 2019 කම්පිත වසරකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර කාෂ්මීරයේ විශේෂ තත්ත්වය අවලංගු කර මුස්ලිම විරෝධී පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුක්රම ව්‍යවස්ථාව නැවත-ලිවීම සහ නිල වශයෙන් ඉන්දියාව හින්දු ජාතියක් ලෙස ප්‍රකාශ කරනවා වෙනුවට මෙම ආණ්ඩුව එය හුදු ලෙස කඩකරන්නට යන බව සහ අපිට තවදුරටත් ව්‍යවස්ථාවක් නොමැති ලෙස හැසිරෙනු ඇති බවයි.

    ජාතික විරෝධී පකිස්ථානය කෙරෙහි අනුකම්පාවන්නන් සහ ත්‍රස්තවාදීන් ලෙස මුස්ලිම්වරුන්ව යක්ෂකරණය කිරීම, ඔවුන්ට එරෙහිව ප්‍රධානධාරාවේ මාධ්ය විසින් අවමානුෂික කරනා කුරිරු භාෂාව භාවිත කිරීම ද උසාවි තුළ සහ පොලිස් ක්රියාමාර්ග තුළ පක්ෂග්‍රහීත්වය සහ වීදිවල ලේ වැගිරීම් ද නිසා, විරෝධතා කරනා මුස්ලිම්වරුන්ට තමන්ට වීදිවලදී ආරක්ෂා විය හැකි එකම ක්රමය යැයි හැඟෙන්නේ ඉන්දියානු ධජය ලෙලදීම සහ ව්යවස්ථාවේ පූර්විකාව ගායන කිරීම බවයි. මුස්ලිම්වරුන් සමාජීයව සහ ආර්ථිකමය ලෙස වර්ජනය කරන විට, ප්රධාන ධාරාවේ රූපවාහිනි නාලිකා #coronajehad සහ #humanbombs ලෙස විවෘතව විකාශනය කරන අතර, සී ඒ ඒ විරෝධතා සිදුවෙන අතරතුර වගේම කොරෝනා අපට පහර දුන් පසුවද, මුස්ලිම්වරුන්ට සෞඛ්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම ගැන බිහිසුණු කතා අපට අසන්නට ලැබෙන අතර, බීජේපී පක්ෂයේ කපිල් මිශ්‍රා ආඩම්බරයෙන් එහා මෙහා යන අතර “දෙශ් කි ගඩ්ඩාරොන් කෝ, ගෝලි මාරෝ, සාලෝන් කෝ” යන ගායනයට නායකත්වය දුන් අනුරාග් තාකූර් ප්‍රාන්ත මුදල් අමාත්‍ය වන අතර මුදල් අමාත්‍යවරියගේ මාධ්‍ය සාකච්ඡාවේදී ඇය අසළින් හිඳගෙන සිටියා.

    එය එක්තරා ආකාරයක නිර්ලැජ්ජිත පොදු සංඥාකරණයක්. ඉතා ඉහළ සිට. ජාතික ගීය ගායනය කිරීමට ඔහුට පොලීසිය බල කරන අතරම, පොලිසි ලතී මුගුරක් ෆයිසාන්ගේ උගුර තුළට තල්ලු කර ඔබා පාරේ කෙමෙන් මියැදෙන්නට අතැර දමා තිබූ ෆයිසාන් ගේ දර්ශනය කවදා හෝ අපට අමතක කළ හැකිද? එක්සත් ජනපදයේ අප්රිකානු ඇමෙරිකානුවෙක්ට එය සිදු වූයේ නම් කුමක් සිදුවේදැයි ඔබට සිතා ගත හැකිද? අපේ ලැජ්ජාව කොහෙද? කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය පිළිබඳ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ නම් , ඉන්දියාවේ විරෝධතා කිරීමට, කුමක් හෝ කීමට අවසර ඇත්තේ කාටද යන්න ඔවුන්ගේ ආගම, කුලය,ජනවාර්ගිකත්වය සහ ස්ත්‍රී පුරුෂභාවය මත රඳා පවතී. සමානාත්මතාවය යනුවෙන් දෙයක් මෙහි නොමැත- සමානාත්මතාවය පිළිබඳ අදහසේ ඉඟියක්වත් නැත. එහි මවාපෑමක්වත් නැත. බුද්ධිමය, සමාජීය සහ ආර්ථික වශයෙන් රටක් ලෙස අපට ශාප කරන්නේ මෙයයි. සෑම කෙනෙකු සඳහා ම යුක්තිය, ප්‍රතාපය සහ ගෞරවය උදෙසා වෙහෙසීම ට වඩා විමුක්තියක්, ප්‍රමෝදයක් තවත් නැත. ඒ සඳහා අප පන්තියේ,කුලයේ, ස්ත්රී පුරුශ භාවයේ වගේම ආගමික-නිකායවාදයේ ප්‍රිස්ම හරහා බැලිය යුතුය. මෙය, අප එරෙහිවන බලවේගයන්ට මෙන්ම විරෝධතා ව්යාපාර වලට ද අදාල වේ. අපි එය ඉගෙන ගන්නා තුරු, අපි සඳහටම වර්ධනයෙන් අඩාල වී සිටිමු.

    පරිවර්තනය – ප්‍රබුද්ධ ධනුෂ්ක දික්වත්ත

    සෑම කෙනෙකුගේම යුක්තිය, ප්‍රතාපය සහ ගෞරවය උදෙසා වෙහෙසීම ට වඩා විමුක්තියක්, ප්‍රමෝදයක් තවත් නැත – අරුන්දතී රෝයි


    “කළු ජාතිකයන් කෙරෙහි ඉන්දියානු ජාතිවාදය, සුදු ජාතික ජනයාගේ ජාතිවාදයට වඩා නරක තරම් ය.” අරුන්දතී රෝයි සමඟ ‘දලිත් කැමරා’ සඟරාව කළ සාකච්ඡාව – අවසන් කොටස

  • මුදල් බලය ඇති පක්ෂවලට එක මැතිවරණ නීතියක්, එවැනි බලයක් නැති අයට තව නීතියක් – ඉන්ද්‍රානන්ද සිල්වා

    මුදල් බලය ඇති පක්ෂවලට එක මැතිවරණ නීතියක්, එවැනි බලයක් නැති අයට තව නීතියක් – ඉන්ද්‍රානන්ද සිල්වා

    මුදල් බලය සහිත දේශපාලන පක්ෂවලට එක නීතියකුත් මුදල් හදල් නැති පක්ෂවලට තව නීතියකුත් ලෙස මැතිවරණ නීති දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍යම කාරක සභික පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් තිබියදී තිබිය දී මැතිවරණ නීති වලට අනුකූලව පිහිටුවා තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාල දිවයිනේ ස්ථාන කිහිපයක දී අසාධාරණ ලෙස ඉවත් කර ඇති බවයි.

    වැඩිදුරටත් ඉන්ද්‍රානන්ද සිල්වා පලකළ අදහස් පහත දැක්වේ,

    ” මැතිවරණ නීතය අමු අමුවේ උල්ලංඝණය කරමින් තියෙනවා. මේ නීතියේ කොටස් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එක කොටසකට එකක් ලෙසත් අනිත් කොටසකටකාර්යාලයක්වත් දාන්න බැරි විදිහටක් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනයේදී පමණක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්යාල ගණනාවක් පොලීසිය මැදිහත්වෙලා ඉවත්කරනු ලැබුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මානප අංක, මුහුණ ප්‍රදර්ශනය කරන්නේ නැහැ. අපි දිනවන්නේ ප්‍රතිපත්තිය නිසා. අපිට ඒක අදාළ නැහැ. අපේ කාර්යාලවල අනෙක් කාර්යාල වගේ මනාප අංක සඳහන් වෙන්නෙ නැහැ. අපි දැම්මේ ලකුණවත් සඳහන් නොවෙන රතු කොඩි තුනකුයි ’සමාජවාදී නියෝජනයක්, සටන්කාමී නායකත්වය’ කියන තේමා පාඨය. දැන් කටවුට් දාන්න දෙන්නෙ නෑ කියලා කටවුට් ගලවනවා. කොඩි ගලවාගෙන යනවා. ඉතිරි වෙන්නේ කුළු ගෙඩිය පමණයි. ඊයේ කෑගල්ල කාර්යාලයට ඇවිල්ලා දැනුම් දිලා තියෙනවා කුළුගෙඩියත් එක්ක කතිරය යොදන්න බෑ කියලා. එක තැනක කතිරය යොදන්න බැහැ තව තැනක සටන් පාඨ සහිත කටවුට් එකක් ගහන්න බැහැ. ඒ දිස්ත්‍රිකවල ඉන්න අයගේ වැරද්දක් නෙවෙයි. එයාලා කොළඹට මැතිවරණ කොමිසමට කතා කරලා උපදේස් ලබා ගෙන තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මැතිවරණ කොමිසම කියන්නෙ මේ සටන් පාඨ සහිත කටවුට් එක චිත්‍රයක් කියලා. චිත්‍ර හයිකරන්න බැහැලු. කලින් කිව්වේ වෙනත් දේශපාලන පක්ෂවලට අගතියක් වෙන සටන් පාඨ පාවිච්චි කරන්න බැහැ කියලා. අපි කිව්වා මේ සටන් පාඨයෙන් කාටවත් අගතියක් වෙන්නෙ නැහැ. මේ අපේ ප්‍රතිපත්තිය කියලා. අපි නියෝජනය කරන්නෙ පොදු ජනතාවගේ අරගලය, එකයි සටන්කාමී නායකත්වයක් කියන්නෙ. අපි යෝජනා කරන්නෙ පාර්ලිමේන්තුවට සමාජවාදී නියෝජනයක්. ඒක වෙන කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපි අහනවා රූපවාහිනී දැන්වීම්වල යන්නෙ මොනවද? ඒවගෙ මුහුණු නැද්ද? අංක නැද්ද? නළුවෝ වගේ ඇවිල්ලා රගපාන්නේ නැද්ද? චිත්‍ර බැහැ වීඩියෝ පුළුවන්. රූපවාහිනී දැන්වීම් වලට ලක්ෂ ගණන් වියදම් කරන්න පුළුවන්. ඒවට නීතියක් නැහැ. ඇති හැකි අයට එක නීතයක් සහ මුදල් හදල් නැති අපිවගේ වාමාංශික පක්ෂවලට මේ නීතිය අසාධාරණවයි ක්‍රියාත්තම වෙන්නේ. මැතිවරණ සාකච්ඡා පටන් ගන්නේ මේක සමබිමක මැතිවරණයක් කියලා. අපි ඒ වලාවේත් කිව්වා මේක සමබිමක වෙන්නේ නැහැ කියලා.

    විමල් වීරවංශගේ කාර්යාල හයිලෙවල් පාරේ හෝමාගම, මාකුඹුරෙ ඊයෙත් තිබුණා.ඒවා ගිහින් බලන්න කියලා අපි මැතිවරණ නිලධාරීන්ට කියනවා. ඒ කාර්යාල දැවැන්ත ඩිජිටල් කටවුට් ගහලා මුහුණු විතරක් නෙමෙයි සියල්ල දාපු දැවැන්ත කාර්යාල. ඔය කියන සීමා මුකුත් ඒවාට අදාළ නැහැ. කටවුට් ගහන්න කියලා තිබුනේ දෙමළෙනුත් ගහනවා නම් වර්ග අඩි 50යි. අපි දාපු කාර්යාලවල වර්ග අඩි 50ට වැඩිය කටවුට් දාලා නැහැ. ආණ්ඩුබල හොබවන අයට ඉඩකඩ දීලා තියෙනවා. මේකද මැතිවරණ නීති කියලා අපි අහනවා. පුත්තලම දංකොටුවේ ඊයෙත් තිබුණා අරුන්දිත ප්‍රනාන්දු මහත්තයගේ කාර්යලයක්. මේවගේ තව ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. මැතිරණ කොමිෂමේන් අපි අහන්නේ ඔයගොල්ලන්ට පේන්නේ අපිවගේ පුංචි කාර්යාල විතරද? මැතිරණයේ පත්‍රිකා බෙදන්න එපා කියලා මැතිවරණ නීතියක් තියෙනවා. මිනිස්සු මුදල් පරිහරණය කරනවා, වෙනත් දේවල් හුවමාරු කරනවා. බෙදන ප්‍රතිකාවේ විතරද කොරෝනා තියෙන්නේ. අපි මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අහනවා ඔබතුමා කවද්ද ටීවීවලට ඔබතුමාලගේ නීතිය ඇතුලත් චක්‍රලේඛය යවන්නේ විඩියෝ ප්‍රදර්ශනය කරන්නත් එපා කියාලා. සමබිමක මැතිවරණ විහිළු විතරයි මේ වගේ රටක. නීතියේ ආධිපත්‍ය තියෙන්නෙ බලය අයට . ඒ නීතියේ ආධිපත්‍යයට හැමෝම යටයි. දැන් ඔප්පු කරමින් ඉන්නවා මැතිවරණ කොමිසමත් ඒකට යටයි කියලා. මේ කටයුතු කළොත් මැතිවරණයේ සාධාරණය ඉල්ලලා සටන් කරන්න අපිට සිද්ධ වෙනවා. යුක්තිය ඉල්ලලා පාරට බහින්න වෙනවා. මැතිවරණයේ යුක්තිය වචනවලින් නෙමෙයි ක්‍රියාවෙන් පෙනන්නන්න කියලා අපි ඉල්ලනවා.

    විදේශගත ලාංකිකයන් ලංකාවට ගෙන්වීමේ ජාවාරම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිදරව්වී තිබෙනවා. මත්තලට පැමිණෙන මියන්මාර ගුවන් සේවයට අයත් 5002 කියන ගුවන් යානයේ වියදම් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒකට අදාළ දුරකථන අංක තිබෙනවා. මේ පැමිණි අයගෙන් ඇහුවොත් තොරතරු ලබා ගන්න පුලුවන්. ඔවුන් මේ සියලු ගණන් හිලව් තොරතුරු ලබා දෙනවා. අපිට මතකයි ජුනි 10 වෙනදා විදේශ සබතා පිළිබඳ අතිරේක ජනාධිපති ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා පැවසුවා ප්‍රමුඛතා ලබා දෙන්නේ විදේශගත ශිෂ්‍යයන්ට, ශ්‍රමිකයන්ට නෙවෙයි කියාලා. මේ කතාව කියන වෙලාවේදී කාටවත් තේරුණේ නැහැ. මේ පිරිස මැලේසියාවේ සිට රැගෙන එන්නෙ මියන්මාර් ගුවන් යානයක්. මැලේසියාවේ සිටින ශිෂ්‍යයන් ගෙන්වන්න මියන්මාර ගුවන් යානයක් යොදාගත්තේ යි කියන කාරණය මේ ජාවාරමේ පළමු කාරණයයි. මෙහි ගුවන් ටිකට පතක් එක් ලක්ෂ අටදහස් තුන්සීයක් වෙනවා. යුරෝපීය රටක සිට ආවත් මිට පොඩි ගාණක් තමයි වැඩි වෙන්නේ. මියන්මාර් එයාලයින් ගුවන්යානයක් තොරා ගැනීම මේ ජාවරමට සම්බන්ධයි.

    දෙවැනි කාරනය පී.සී.ආර් පරීක්ෂණ භාජනය කරන්න ඔවුගෙන් දොලොස් දහස් පන්සියක් අය කරනවා. ආණ්ඩුවම කිව්වා පෞද්ගලික රෝහල්වල හිතෙන හිතෙන ගණන් අය කරනවා කියාලා. ඒක නවත්වනවා කිව්වා. උපරිම අය කරන්න දෙන්නේ 6000යි කිව්වා. ඒ කොන්දෙසිය දැන් ආණ්ඩුම කඩලා. මත්තල සිට වස්කඩුවට ප්‍රවාහනයට රුපියල් 15,000ක් අය කරනවා. මේ කිසිවේක් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට අරන් යන්නේ නෑ. අරන් යන්නේ සිස්ට්‍රස් හෝටලයට ඒ හෝටලය කාගේද කියලා මේ රටේ ජනාතව දන්නවා. පසුගිය කොරෝනා කාලෙ මේ ව්‍යාපාරිකයා නිරෝධායනය සඳහා මේ සිට්‍රස් හෝටලය පරිත්‍යාග කරා කියලා ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා. ඒ අයිතිකාරයා පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී කිව්වා ගෝඨාභය ජනාධිපති කරනකන් නින්ද යන්නේ නැහැ කියලා.

    බලන්න එක් බස් එකකට ශිෂ්‍යයෝ 20ක් දා ගත්තොත් ලක්ෂ තුනක් වෙනාව බස් එකකට. මේ ශිෂ්‍යයෝ මත්තලට ගෙනාවේ ඇයි කටුනායකට ගෙන්නේ නැතිව මත්තලට ගෙන ඒම වැනි අමතර කාරනා මේකේ තියෙනවා. සති දෙකක් නිරෝධායන වෙන්න ඕනා. ඒකට අදාළ මුදල් මේ ශිෂ්‍යයෝ ගෙවන්න ඕනා. කාමර කුලිය 12,500යි. ඩබල් රූම් එකක් 7,500යි. ඕනම හෝටලයක ඩබල් රූම් එකක් ගණන් වැඩියි. මේක ඒකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. නිරෝධනයට අවශ්‍ය තනි කාමර. නිරෝධායනය වීමේදී ආරක්ෂිතව ඉන්න නම් තව කෙනෙක් එක්ක ඩබල් රූම් එකක ඉන්න බැහැ. මේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ඥාණය කොහොමද කියලා තේරෙනවද? ඔය කියන පුද්ගලයෝ කෝටිපතියෝ වුනේ කොටස් වෙළඳ පොළේ තැරව්කාර සමාගම් හරහා. දවස් 14 අවසානයේ එක ශිෂ්‍යයයෙක් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් ගෙවන්න ඕනා. කොරෝනා කාලෙ සංචාරකයෝ එන එක ඇනහිටීමත් එක්ක මේ හෝටලයට වඩා හොඳ හෝටල් පවා කාමර ලබාදුන්නේ රුපියල් 6000ට වගේ මුදලකට. රුපියල් 6000ට දීපු කාමරයක් 12500 ගණනේ මේ ශිෂ්‍යයන්ට දෙනවා.

    ජයන්ත කොළඹගේ මහත්තයා කිව්ව කතාව පැහැදිලියි. ප්‍රමුඛතාව දෙන්නේ අධ්‍යාපනය සඳහා විදෙස් ගත වුණ අයට, ඒකට හේතුව ආණ්ඩුව හිතනවා සල්ලි වැඩියෙන් තියෙන්නේ අධ්‍යාපනය සඳහා විදෙස් ගත වුණ අයට කියලා. අපි කියනවා වග කිවයුතු ඇමැතිවරු මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන.

    ඊයේ පෙරේදත් විදෙස්ගත ශ්‍රමිකයන් සියදිවි නසා ගත්තා,තවත් පිරිසක් කොරෝනා හැදිලි මියගියා. තවමක් ලංකාවට එන්න විදියක් නැතිව සිටින කම්කරු ප්‍රජාව, කාන්තාවෝ, පිරිමින් දුක් විදිනාවා. තමන්ගේ දුක මාධ්‍ය හරහා රටට කියනවා. ‘රට විරුවෝ’ කියාපු කතා අදාළ නෑහැ. ආණ්ඩුවට ඕන තමනුත් මුදල් හම්බ කර ගනිමින් තමන්ට උදව් කළ මිත්‍ර සමාගම්වලට, ව්‍යාපාරිකයන්ට අතමිට සරුකරගන්න උදව් කිරීම පමණයි.”