Breaking News

 “අපත්‍ය  සත්‍යා” තලු මරා රස විඳිය හැකි කවි ඇති පොතකි 

හිල්මි සුපුන් 

ඉඳහිට කවියක් දෙකක් ලීවාට, කවි ගැන විචාර ලියලා නැහැ.  හිතට කා වැදුණු කවියක් වේ නම් ඒ ගැන යම් විග්‍රහයක්  මගේම ප්‍රයෝජනය සඳහා ලියා තියා ගැනීම සිරිතකි. එනමුත් ඒවා බොහොමයක් මාධ්‍ය තුළ පළ නොකරන්න වගබලා ගෙන තියෙනවා. ඒ මම කාව්‍ය විචාරකයෙක් නොවෙන නිසා.

කෙසේවෙතත් අද ඊට ටිකක් වෙනස් අස්ථානයක සිට පොතක  කවි  මට දැනිච්ච තැන්වලින් අරගෙන  අදහසක් ලියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ පසුගිය දා ජනගත කෙරුණු  ” සරත් මද්දුමගේ ” සහ ” මානෙල් සිංහපාලගෙ ”  “අපත්‍ය  සත්‍යා”  කවි පොත පිළිබඳව.

“අපත්‍ය  සත්‍යා”  කාව්‍ය එකතුව  කවි කියවන විට නිරායාසයෙන්ම නැගෙන පැනය තමයි මේ කවිය ලිව්වෙ කවුද මේ කවිය ලිව්වේ කවුද කියලා සොයා බලන්නට සිත් ඇතිවීම.  ඒ සඳහා පෙළඹවීම ඇති කරන්නේ  මේ කවි පොතට කවි සම්පාදනය කර තිබෙන්නේ දෙදෙනෙකු යැයි අපි කලින් දැන සිටීමයි . කෙසේ වෙතත් එය අමතක කර  කවි ලියූ කෙනා පිළිබඳව නොසලකා කවි ටික පමණක් කියවාගෙන යන විටත්  එහි වෙනසක් දැනුණි. මානෙල් කිවිදිය තමන්ගේ කවිය තුළ  තෝරාගත් අනුභූතිය විස්තර කරමින් දිගු කවි ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා. සරත් මද්දුමගේ කවියා   වඩාත් කැමැත්තක් දක්වා තිබුණේ  කෙටි කවිය තුලින් තමන්ගේ පණිවිඩය ප්‍රේක්ෂකයාට දනවන්න. ඒ වගේම  සරත් මද්දුමගේ  බොහෝ කවි තුළින්  ඔහුගේ විප්‍රවාසී  ජීවිතය පිළිබඳව හෙලිදරව්ව ද මතු වෙනවා. ඒ නිසාම මානෙල් සිංහපාලගෙ  ලාංකීය පොළොවේ ජීවිතය  පිළිබඳ අදහස  නිරායාසයෙන්ම කවි තුලදී අපිට වෙන්කර  පෙන්වා දෙනවා. අපත්‍ය  සත්‍යා  කාව්‍ය  සංග්‍රහය  තුළ පවතින මේ  භූවිෂමතා වෙනසද අපූර්වත්වයකි.

මෙහි එන මානෙල් සිංහපාලගෙ කවි තුළින්  එදිනෙදා අප ඇසූ පුවත් සිදුවීම් මතකයට නැවත  නගන නිර්මාණ  හමු වෙනවා  . උදාහරණ විදිහට ඉදිරිපත් කරනවානම්.  ලේ කඳුළු, අපේක්ෂිත ඇප, කළු කොටියා සහ කළු මිනිසා, යකඩ හා මලකඩ උපන් දරුවා ගඟට දැමූ නැගණියගේ කවිය  වැනි තවත් කවි මෙහිදී අපට හොයාගන්න පුළුවන්.   අනිත් අතට මොවුන් දෙදෙනාම වඩාත් සමීප  කවිය තුළින් දේශපාලන මුහුණුවර ඉදිරිපත් කිරීමටයි.  කවි අතර ආදරය විරහව නැති තරම්.  හැම කවියකම ඇත්තේ පවතින සමාජ දේශපාලන වටපිටාව තුළ  බහුතරයක් වූ පීඩිතයාගේ  ශෝකාලාපයයි.

තොටිල්ල නළවන අත්…

බිළිදියක කිරිසිනා නගනා
යුවතියයි තුරුණු නෙත් රසඳුනා
පතිනියයි ගෙදර බර උහුලනා
රැජිනියයි කටු ඔටුණු පළඳිනා

මගතොටේ අපවාද විඳින්නී 
බස්රියේ නෙක ගැහැට ලබන්නී
බීමතේ හිංසා දරන්නී
ගංගොඩේ අවලා ද අසන්නී

සත් සයුරු තරණය කරන්නී
සත්මහල් වලින් බිම හෙළන්නී
හිස් අතින් සිය රටට ඇදෙන්නී
නිවෙස් ගිනි ගෙන දැවෙනු දකින්නී

මෙ කවි ඇතුලේ ගැහැණිය මේ සමාජය තුළ මුහුණ දෙන සියලු කම්කටොලු දුක් දොම්නස්  කැටි වී පවතී. මානෙල්  කාන්තාවක් නිසාම මේ සමාජය තුළ දී ඇයට  පිරිමින්ට සාපේක්ෂව  වැඩි අවදානමක්  පවතින්නේය යන  බිය ඇය තුළ පවතින බව  අපට දනවන  කවි ගණනාවක්ම මෙහිදී  හොයා ගත හැකියි. ඇය සමාජය දෙස බලන්නේ  මේ සැක සංකාව ඇතිවයි .

දුවේ ඇස් නාරින්…

දුවේ ඇස් නාරිං
අම්මාගේ තුරුලෙම සැඟවියං
කිරි සිහින උදුරං
කණකොකුන් සිල් අරං

ගල් අරඹ ගිනි තියල කල් බෝම
ඇතින්නියො දැන් කන්නෙ කුණු කෑම
ගෝනිබිල්ලොත් වෙනස් හොඳටෝම
සල්ලි චොකලට් අරන් එයි හිනා වේගෙනම

මල් කැකුළු මෝදුවන අරුණේ
කුරුමිණියො එන්නේ හොර රහසේ
දෙවියන් ද මොණර කොළ පහසේ
වැටත් නියරත් ගොයම් කනු බලා සැනසේ

දුවේ ඇස් නාරින්…  කවිය තුළින් එය මනාව පිළිබිඹු වෙනවා. ඇය විශ්වාස කරනවා දැරියකට ආරක්ෂාව තියෙන්නෙ මවක්  තුළම පමණයි කියා. ඇස් ඇර වට පිටාවේ දුව පැන නටමින් සෙල්ලම් කරන්නට දුර ඈතට යන්නට දැරියකට නොහැකිය. ඈත මානේ  අනතුරු අපමණය එනිසා ඇය බයයි දරුවා ඇස් ඇරලා වටපිට දකින්න හුරුවෙන්න ඇවිදින්න යනවට. අප මේ ජීවත් වෙන සමාජ වටපිටාව තුළ මේය  යථාර්ථයකි . ඒ ගැහැනු දරුවකුට පමණක් නොවෙයි පිරිමි දරුවන්ටද ඒ  අවදානම  එලෙසම තියෙනවා. මානෙල්  තමන්ගේ කවිය තුළ  තෝරාගත් අනුභූතිය විස්තර කරමින්  ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා.

මානෙල් සේම සරත් මද්දුමගේත්  ඍජු දේශපාලන අත්දැකීම් විග්‍රහ කරන්නකි.  විශේෂයෙන්ම සරත් මද්දුමගේත්  මා සේම  විප්‍රවාසීයකු ජීවිතයක් ගත කරන්නෙකි .උපන් රටක  අහිමි උණුසුම කෙරෙහි පසුතැවෙන්නෙක්ගේ වේදනාව ඔහුගේ කවි තුළින් හමුවෙයි. දේශපාලනික කියවීමක් සමාජ ප්‍රගමනය පිළිබඳව උනන්දුවක් තියෙන බොහෝ විදෙස් ගත ලාංකිකයන්ට මේ ඇඟට දැනෙන යුරෝපයේ සෘතු මාරුව මව් රටේ උණුසුමට ඇදලා විසිකරන්න මඟ පාදනවා .
ශිශිරයේ පිපි වසන්ත මල්…

ඇවිද ගියෙමි මම
දොඩමළුව
ශිශිරයේ මාවතක
කොළ හැලූණු
අතු පතරේ
වසන්ත පණිවුඩය ගත්
අපූරු මල්
පෙන්වුයෙමි ඇයට
සතුට අතරින්
රිදුම් දෙයි
සිතෙන විට
කාලගුණ විපර්යාස

සරත් මද්දුමගේ  මං දන්නා පරිදි සක්‍රිය දේශපාලන මැදිහත් වීම් සහිත , ලංකාවේ පැවති තිස් වසරක් පැරණි යුද්ධයට  විරුද්ධ  දේශපාලන ක්‍රියාකාරීත්වයක් නිසා  ජීවිතය බේරාගැනීමට රට හැර එන්නට සිදු වෙච්ච  කෙනෙක්.

පාරාදීසය…

මට ආසයි බලන්න
මා පිටමං වු
පාරාදීසය
නැවත
ඒ භූමිය වසාගන්න
ධාර්මිකගේ කුණු කඳු
මෙගා පොලිස් නගර
ඇමරිකන් කඳවුරු
වන මැද සුපිරි හෝටල
ඉතිරි කරයිද
ඇය එතෙක්.

ඉතින් සරත් විදේශ ගත වෙන්නේ පාරාදීසයක සිට නොව  ඒ වනවිටත් ජරා වෙමින් පවතින රටක සිටය.  නමුත් සරත් කැමති නැහැ තමන්ගෙ නිර්මාණය ඔස්සේ ඒ බව හඟවන්න. “අපත්‍ය  සත්‍යා”  තුළ සරත්ගේ නිර්මාණ පෙළගැස්මේ  හමුවන ඉහත කවිය  තුළින් සරත් කියන්න උත්සාහ කරන්නේ  ඔහු පිටත් වෙද්දි තිබුණෙ පාරාදීසයක් ,ඒක දැන් තමයි ජරාජීර්ණ වේගන එන්නේ කියලා.

මං හිතන්නේ මේක සරත්ගේම  වූ දෝෂයක් නෙවෙයි.  විදෙස්ගත ජීවිත ගෙවන අපි හැමෝම  මේ මායාකාරී මනෝභාවයේ ගිලී සිටිනවා. විදෙස්ගතව ගෙවන විඩාබර ජීවිතයේන්  විවේකයක් ලද මොහාතේ අපි  ලංකාවට යන්නේ පැරණි ගම රට  හොයාගෙනය. නමුත් වසර දෙක තුනකින් හතරකින් පහකින් අපි නැවත ගමට යන විට ඒ ගම් අපට හමුවන්නේ නැත. පැරණි ගම හමු නොවෙන බව අපි සත්‍යයක් සේ දනී. නමුත් එය  අපි මිථ්‍යාවක් සේ නැවත නැවත සොයමින් සිටියි. මා හිතන ආකාරයට ඊට හේතු වෙන්නේ  උපන් බිමෙන් පිටස්තර රටක ජීවත්වන හැමෝටම දැනෙන දෙයක් තමයි  පිටස්තරයෙකු කියන හැඟීම. මෙන්න මේ හැඟීම මරන්න යොදා ගන්න  උපක්‍රමයක් තමයි  අපේ මව් රට මාරයි  අපි කවදහරි එහෙට යනවා මැරෙන්න. කියන එක.

සරත්ගේ කවියි අතර  මට බලපෑම් කරන කවි ගණනාවක්ම “අපත්‍ය  සත්‍යා”  තුළ හමු වෙලා තියනවා.  මා ඉහතින් සඳහන් කළ ආකාරයටම සරත් සේම මා ද විප්‍රවාසීයකු  වීම ඊට හේතුවයි.   “ප්‍රාග්ධනය ” කවිය ඇතුලෙන් කවියා කියන්නේ ප්‍රාග්ධනයට කිසිදු බාධාවකින් තොරව ලෝකයේ ඕනෑම  තැනට රිංගන්න පුළුවන් හැබැයි මිනිසුන්ට තවත් තැනකට තවත් රටකට යන්න හැකියාවක් නැහැ මොකද දේශ සීමා තියෙනවා. අද අපේ රට  විවිධ රටවල කෙළි බඩුවක් බවට පත්වී තිබෙනවා.  ප්‍රාග්ධන හිමි බලවත් රටවල් අපේ රටවල්  රිසිආකාරයට හසුරුවමින් පාවිච්චි කරමින් ඉන්න අතර  ඔබ දන්නවා අපේ රටේ මිනිස්සු විදෙස් රට වලට ගිහිල්ලා මොනතරම් පීඩාවක් විදිනවද  කියලා.  ඒ වගේම අපි වැනි මිනිසුන් මේ සියලු දේශ සීමා බිඳගෙන තමයි ජීවිතය හොයාගෙන එන්නේ.  අතරමග නිම කරන්න තිබුණු ජීවිතේ වැරදීමෙන් නැවතත් හමු වෙලා තමයි අපි ජීවත් වෙන්නේ. සරත් පාඨකයාගේ ඇසට ඇණ කියන්නේ මෙන්න මේ කතාව. විටෙක ඔහුගේ කතාව.

ප‍්‍රාග්ධනය…

අධිරාජ්‍යවාදීන්ට
දේශ සීමා රහිතව
ගිනි බිඳීමට ද
මළ පැහැරිමට ද
හැකිය
මිනිසුන්ට
කිසිදු අවස්ථාවක් නැත
සියලූ දේශ සීමා
වසා ඇත

ඉතින් “අපත්‍ය  සත්‍යා”  කාව්‍ය සංග්‍රහය තුළ පවතින කවිවල  කාව්‍යමය ගුණය සාහිත්‍යමය අඩුපාඩු  පිළිබඳව කතා  මහා පසෙකලා මා මෙහිදී උත්සාහ කළේ “අපත්‍ය  සත්‍යා”  කියවාගෙන යද්දී මට හමු වූ තැන් පිළිබඳව යම් සටහනක් තැබීමටයි.  කෙසේ වෙතත් “අපත්‍ය  සත්‍යා” යනු  බැහැර කල නොහැකි  නිර්මාණ එකතුවකි .  සාකච්ඡාවට ගෙන  කපා කොටා තලුමරා  රසවිඳිය හැකි බොහෝ නිර්මාණ එකතු වූ කෘතියකි.

හිල්මි සුපුන්

 

 

leave a reply