Breaking News

ජනගහනයෙන් 51% ක් වන කාන්තාවන් වෙනුවෙන් හඬක් නොනගා එක මිටට සිටි 20 ක්

සමන්සිරි හේරත්

ජාතික ජන බලවේග පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරයන්ගේ ගණන අගමැතිනිය ද ඇතුළත්ව 20  ක් . මෙවර පාර්ලිමේන්තුව තුළ කාන්තා මන්ත්‍රීවරියන් 22 ක් නියෝජනය වෙනවා. ජාතික ජන බලවේග පාර්ලිමේන්තුවේ අගමැති ධුරය දරන්නේ කාන්තාවක්. ඇය ආචාර්ය හරිනි අමරසූරිය. ජාතික ජන බලවේග පාර්ලිමේන්තුවේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ධූරය දරන්නේ සරෝජා පෝල්රාජ් මන්ත්‍රීවරිය .

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ජනගහන අනුපාතය 1946 සිට 1981 දක්වා පිරිමි ජනගහනය වැඩිව කාන්තා ජනගහනය අඩුව පැවතියා . ක්‍රමානුකූලව 1981 සිට ජනගහන පරතරය වෙනස් වෙන්නට පටන් ගත්තා . දැන් අපේ රටේ පුරුෂ ජනගහනය අඩුවෙලා. ස්ත්‍රී ජනගහනය වැඩිවෙලා. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% එකකට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමිවෙලා තියෙනවා .

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව යම් කාන්තා හිංසනයක්, ප්‍රවෘත්තියක් නිර්මාණය කරන ආකාරයට සමාජගත වුනොත් කතාබහට ලක්වෙනවා . අපිට ළඟම උදාහරණය ලෙස අනුරාධපුර රෝහලේ සිදුවීම ගන්න පුළුවන් . වෛද්‍ය වරියකට ලිංගික අඩන්තේට්ටම් කිරීම සමාජය තුළ ඉහළ කම්පනයක් ඇති කරන්න හේතු වුණා . මේ සිදුවීම හේතු කරගෙන කාන්තා රැකවරණය පිළිබඳව සහ සුරක්ෂිතභාවය සම්බන්ධ උනන්දුව මතුවී තිබීම අප දුටුවා . ඒ හේතුවම පදනම් කරගෙන විවිධ ක්‍ෂේත්‍රයන්වල කාන්තාවන් තමන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න කියලා ආණ්ඩුවට බලපෑමක් කරන හැටි ද අප දුටුවා . පොදුවේ ගත් කල විවිධ සිදුවීම් හරහා මතුවෙන මෙවන් කතිකාවන්වලදී සමස්තයක් විදිහට කවුරුත් පිළිගන්නවා මේ සමාජය තුළ කාන්තාවට තිබෙන ආරක්ෂාව අවමයි කියලා . ඇයට තිබෙන රැකවරණය අවමයි කියලා . අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට ලිංගි හිංසනයට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අගමැතිනිය ඇතුළු මන්ත්‍රීවරියන් හැඟීම් බර අදහස් ප්‍රකාශ කළා .

අයවැය සම්මත කර ගැනීමට නියමිත දිනය මාර්තු මාසය 21 වන දා

අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේග ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ ආසන එකසිය පනස් නමයක් හිමිවෙලා තියෙනවා . විපක්‍ෂය පක්ෂ වුණත් විපක්ෂ වුණත් මේ අයවැය අනුරාගේ පාර්ලිමේන්තු කණ්ඩායම බහුතර ඡන්දයෙන් සම්මත කරගන්නවා . ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැය වන මේ අයවැයට විපක්ෂය පැත්තෙන් වැඩි විවේචනයක් එල්ල වෙන්නේ නැහැ . ඊට හේතුව තමයි අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර තිබෙන්නේ හර්ෂණ නානායක්කාර මලික් සමරවික්‍රමලා පිනා යන ඔවුන්ගේ ක්‍රම උපායන් හා සැසදෙන අය වැයක් වීම. එහි අර්ථය තමයි රනිල් වික්‍රමසිංහ ගමන් කරමින් සිටි වැල් පාලමේ ඉතිරි කොටස අනුර කුමාර දිසානායක දේශපාලන වාක්මාලාවේ රනිල් භාවිතා නොකරන වචන භාවිතා කර ඒ ගමන ඉදිරියට යෑම .

51% වන කාන්තාවන්ට වන අසාධාරණය අනුරාගේ කාන්තාවන් 20 දෙනාට නොපෙනුනේ ඇයි .

වැඩිහිටි වියට පත්වන සෑම කාන්තාවකටම ඔසප් වීම සිදුවෙයි . පැරණි සමාජය තුළ මේ ස්වභාවික සිදුවීම කාන්තාව පිළිකුලට ලක් කිරීමටත් පූජනීය යැයි පිළිගත් ස්ථාන තහනම් කිරීමටත් යොදා ගත්තා . නමුත් ශිෂ්ට යැයි හඳුන්වන සමාජය තුළ පැරැණි මතිමතාන්තර බැහැර කර හැරියද ආගමික හණමිටි අවිද්‍යාත්මක ඇදහිලි තුළ දියුණු යැයි හඳුන්වාගන්නා යුරෝපීය රටවල්වල පවා නෂ්ටාවශේෂ වී තිබේ . කෙසේ වෙතත් අවශේෂ වී තවදුරටත් එවන් කාරණා පැවතියද වර්තමාන සමාජය සහ රාජ්‍යයන් කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සඳහා පහසුකම් මෙන්ම සහනයන් සැලසීමට අත්‍යවශ්‍ය බව හඳුනාගෙන තිබෙනවා .

බොහෝ රටවල් බදු ප්‍රතිපත්තිය තුළ කාන්තා සනිපාරක්ෂක උපකරණ සඳහා අය කරනු ලබන බදු සැලකිය යුතු ආකාරයකට ලිහිල් කර පවත්වාගෙන යෑමට කටයුතු කරනවා .

ආනයනික සනිපාරක්ෂක තුවා මත 42%ක බද්දක් පනවල තියෙනවා. අයුක්ති සහගත බද්දක්. ඔය බද්ද ඉවත් කළොත් දැන් පවතින මිලෙන් බාගෙකට වඩා අඩු මිලකට ඕවා දෙන්න පුළුවන්. ඇයි 42%ක බද්දක් ගැහුවෙ කියල ඇහුවොත් කියන්නේ දේශීය නිෂ්පාදන වලට දිරිගැන්වීමේ සහනයක් ලබාදීම සඳහා කියලයි. මේ කලාපයේ කිසිම රටක මේ වගේ අසාධාරණ බද්දක් පනවලා නැහැ. ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය කාන්තා සනිපාරක්ෂිත උපකරණ බදු වලින් නිදහස් කරලා තියෙන්නේ.
දේශීය නිෂ්පාදනවලටත් 18% බද්දක් පනවනවා . එහෙම කරන්නෙ කාව දිරිගැන්වීම සඳහාද ? මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකර අයවැයෙන් යෝජනා කළේ පාසල් ශිෂ්‍යාවන්ට සැණිටරි පෑඩ් ලබාදීම සඳහායි . ඒ සඳහා රුපියල් බිලියන 1.4 වෙන් කරන බව පැවසුවා . එසේ පැවසුවද පාසල් යන වැඩිහිටි ගැහැණු ළමුන් ප්‍රමාණයෙන් මේ මුදල බෙදා බැලූ විට ලැබෙන පිළිතුර වන්නේ එක් දරුවකුට මසකට දිය හැකි සැණිටරි පෑඩ් ගණන දෙකක් බවයි .ඉහත අදහස් ප්‍රකාශනය උපුටා ගනු ලැබුවේ ” අයවැය පුරවැසි ද පරපුටුද ” කියන සම්මන්ත්‍රණයෙන්. අදහස් ප්‍රකාශ කරන්නේ පුබුදු ජයගොඩ

තමන්ගේ ආණ්ඩුවේ සහනාධාර පිළිබඳව උජාරුවෙන් පාර්ලිමේන්තුවේ තප්පුලන ලක්මාලී හේමචන්ද්‍ර වැනි කාන්තාවන්ට අමතක වන්නේ රටේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් සිටින බවයි . ඒවගේම ඉන් බහුතරයක් ඔසප් දිළිඳුභාවයෙන් පෙළෙන බවයි .

කාන්තා සනිපාරක්ෂිත තුවා සඳහා ඇතුළත්වන බදු මොනවාද

දේශීය නිෂ්පාදන සඳහා අය කරන 18%ක බද්ද සීයට සීයක්ම වැට් බද්දට ඇතුළත් වෙනවා . ආනයනික නිෂ්පාදන සඳහා අයකරන 42%ක බද්ද විවිධ බදු ගණනාවක්ම ඇතුළත්ව සෑදුණු බද්දක් . 18%ක් වැට් බදු වන අතර ඉතිරි 24% තුළ තීරු බදු, සෙස් ,විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ බද්ද ඇතුළත් වෙලා තියෙනවා .

වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ කාන්තාවෝ ජාතික ජන බලවේග ජයග්‍රහණය වෙනුවෙන් එක මිටට පෙළ ගැසී වැඩ කළ හැටි අපට මතකයි . විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවගේ සනීපාරක්ෂාවට බලපාන සනීපාරක්ෂිත උපකරණවල ට පනවා තිබෙන මේ අසාධාරණ බද්ධ ඉවත් කිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් තිබෙන බව පිළිගත යුතුයි . යුරෝපයේ රටවල ආහාරපාන වලට සියයට 22% බද්දක් අයකරන විට කාන්තා සනිපාරක්ෂිත උපකරණ සඳහා අය කරන්නේ 10% බද්දක් . ලෝකයේ බොහෝ රටවල් මේ ප්‍රශ්නයේදී මානුෂීය වී තිබුනද මානුෂීය මුහුණුවරක් පෙන්වා ගෙන බලය ලබා ගත් අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම පැවති ආණ්ඩු අමානුෂීය ලෙස අය කරනු ලබන මේ බදු එලෙසම පවත්වාගෙන යන්නේ ඉතිහාසයට සාප කිරීමට අවශ්‍ය නිසා නොව ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් බවට පත් වී සිටින නිසා බව ලංකාවේ කාන්තාවන් අවබෝධ කරගත යුතුයි .

leave a reply