දකුණු අප්‍රිකාව පසුගියදා (ජනවාරි 11) අන්තර්ජාතික යුක්ති අධිකරණය ඉදිරියේ, ඊශ්‍රායලයට එරෙහිව ගොනු කල වර්ගසංහාරය (genocide) පිලිබඳ නඩුවේ මුල් අදහස් දැක්වීම සිදුකලා. මේ නඩුව දකුණු අප්‍රිකාව ගොනු කලේ ඊශ්‍රායලය විසින් මේ මොහොතේ පලස්තීනයේ ගාසා තීරය තුල ගෙන යනු ලබන මිලිටරි මෙහෙයුම වර්ගසංහාරය අරමුණු කරගත් එකක් බවට වූ පදනම මත.
වර්ගසංහාරය යනු අන්තර්ජාතික නීතිය තුල සියලු අපරාධයන්ගේත් අපරාධය ලෙස සැලකෙන, බොහොම බරපතල වරදක්. දකුණු අප්‍රිකාව විසින් ගෙන අවුත් තිබෙන මෙම නඩුවට මේ වනවිට මුස්ලිම් රටවල් ගණනාවක වගේම, බොලිවියාව, වෙනිසියුවේලාව බඳු ප්‍රගතිශීලී ආණ්ඩු තිබෙන ලතින් ඇමරිකානු රටවල් ගණනාවකත් සහයෝගය ලැබී තිබෙනවා. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝබින්, දකුණු අප්‍රිකානු මුලපිරීමට සහයෝගය දක්වමින්, නඩුව සඳහා සහභාගී වන නියෝජිත පිරිසේ සාමාජිකයෙක් ලෙස ද එක්ව සිටිනවා.
දකුණු අප්‍රිකාවේ මේ මැදිහත්වීමේ තිබෙන වැදගත්කම කුමක්ද? මේ වෙනකොට, ඊශ්‍රායලයට ගාසා තීරයට එරෙහිව මෙහෙයුම් පටන් ගෙන මාස තුනකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. මේ කාලය තුල ඊශ්‍රායල ප්‍රහාර නිසා පලස්තීන වැසියන් 23000 ක්, ගාසා තීරයේ ජනගහණයෙන් සියයට එකකට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා. මේ මිය ගිය අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලමුන්. මෙතරම් කෙටි කාලයක් තුල, මේ තරම් සිවිල් වැසියන් ප්‍රමාණයක් මිය ගිය වෙනත් ගැටුමක් නැති බවට සමහර විචාරකයන් ගණන් බලා තිබෙනවා. ගාසා තීරයේ යටිතල ව්‍යුහයන්ගෙන් සියයට අසූවක් පමණ ඊශ්‍රායලය විසින් විනාශ කොට අවසන්. ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්පත් කොට ගෙන, ඊශ්‍රායලයේ අධිකාරිය ඒ මත තහවුරු කිරීම සිය අභිප්‍රාය බව ඊශ්‍රායල නායකයන් බොහොම ප්‍රසිද්ධියේ කියනවා.
ඊශ්‍රායලය මේ සියලු හයිකාරකම් පෙන්වන්නේ ප්‍රධාන වසයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ හා පසුව යුරෝපා සංගමයේ ආශිර්වාදය සහිතව. එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සෘජුව හා වක්‍රව ඊශ්‍රායලයේ ජනසංහාරක මෙහෙයුම සඳහා සහයෝගය දෙමින් සිටිනවා. සටන් විරාමයක් ඉල්ලමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ සියලු යෝජනා පරාජය වූයේ ඇමරිකාවේ තනි නිශේධ බල ඡන්දය නිසා. ඊශ්‍රායල ජන සංහාරය නිසා ලෝකයේ සිදු වූ ප්‍රබලතම තැන් මාරුව තමයි එක්සත් ජනපදය සහ යුරෝපයේ මානව හිමිකම් කතිකාව නිරාවරණය වීම. මේ තරම් ජන සංහාරයකට සහයෝගය පල කලාට පසුව, තවදුරටත් ‘මානව හිමිකම්’ නාමයෙන් කිසිවක් කීමට ඇමරිකාවට හෝ යුරෝපයට ඉඩ ලැබේවිද කියන එක විවෘත ප්‍රශ්නයක් විධිහට ඉදිරිපත් වී තිබෙනවා.
මෙන්න මේ පසුබිම තුල තමයි, දකුනු අප්‍රිකාවේ නඩුව බොහොම වැදගත් තැනක් ගන්නේ. දකුණු අප්‍රිකාවයි පලස්තීන විමුක්ති අරගලයයි අතර මේ ඥාතීත්වය අහම්භයක් නෙමෙයි ; 20 වන ශත වර්ෂයේ පසු භාගයේ, නිර්-යටත්විජිතකරණයෙන් ද පසුව, යටත් විජිත ප්‍රතිපත්ති නිසා පීඩා වින්ද රටවල් කීපයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රමුඛයි දකුණු අප්‍රිකාවේ කලු ජාතිකයන්ගේ නිදහස් අරගලය, පලස්තීන විමුක්ති සටන සහ අයර්ලන්ත විමුක්ති අරගලය. මේ සියලු සටන්වලට අදාලව, බටහිර ලෝකය හිටියේ බොහොම තත්වාරක්ෂකවාදී තැනක ; මැන්ඩෙලා, යසර් අර්ෆත්, ජෙරී ඇඩම්ස් ආදී වූ සියලු දෙනා ත්‍රස්තවාදීන් ලෙස තමයි බොහෝ බටහිර රටවල් සලකනු ලැබුවේ.
මේ කාලයේ මේ සටන්වලට සහයෝගය දුන්නේ සෝවියට් රුසියාව. උදාහරණයක් විධිහට. රුසියාවේ නිෂ්පාදිත AK-47 රයිෆලය දකුණු අප්‍රිකාවේ කලු සටන්කාමීන් අතර සංකේතයක් තරමට ප්‍රසිද්ධ වූවා. සෝවියට් සංගමය වැටුණාට පස්සේ මේ සියලු අරගලයන්ට සිද්ධ වුණා සම්මුතිකාමී වෙන්ට ; මැන්ඩෙලා සම්මුතිකාමී ලෙස බටහිර සමග එකගතාවයකට ආවා, යසර් අර්ෆත් කෑම්ප් ඩේවිඩ් සම්මුතිය අත්සන් කරලා, මේ වනකොට මාරාන්තික බවට ඔප්පු වී තිබෙන, ඊශ්‍රායලයේ සුජාතභාවය පිලිගන්න අතරමැදි විසදුමකට අත්සන් කලා.
විසි වන සියවසේ බිහි වූ විශිෂ්ටතම ගෝලීය දකුණේ මාක්ස්වාදියා වූ සමීර් අමීන් වත්මන් ලෝකය විස්තර කලේ ඇමරිකාව, යුරෝපා සංගමය, ජපානය යන ‘ත්‍රිත්වය’ (triad) විසින් සාමූහික අධිරාජ්‍යවාදයක ස්වරූපයෙන් පාලනය කෙරෙන ලෝකයක් ලෙස. මානව හිමිකම් තමයි මේ සාමූහික අධිරාජ්‍යවාදී ලෝකයේ දෘෂ්ටිවාදය. තමුන්ට අකීකරු රටකට ගහන්ට ඕනෑ වූ විට – එය ඇෆ්ඝනිස්ථානය වේවා, ඉරාකය වේවා, ලිබියාව හෝ සිරියාව වේවා, සම්බාධක පමුණුවන්ට අවශ්‍ය වූ විට – එය වෙනිසියුවේලාව වේවා, ඉරානය වේවා, බලය සහිත අය යොදාගත් තර්කය තමයි මේ කියන රටවල් මානව හිමිකම් කඩ කරන බවට වූ තර්කය.
හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දකුණු අප්‍රිකාව විසින් ‘ඔවුන්ගේ’ තර්කය ඔවුන්ටම එරෙහිව ආපසු හරවා ඇත. මෙතෙක් කල් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ විත්ති කූඩුවේ ලැංගේ අප්‍රිකානු රටවල කලු මූණු තිබෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන ව්‍යාපාරවල නායකයන්ය. ඔවුන්ට එරෙහිව ‘ශිෂ්ටාචාරයේ තර්කය’ ලෙලවනු ලැබුවේ එංගලන්තයේ, නෙදර්ලන්තයේ, ස්විට්සර්ලන්තයේ හා එබදු බොහෝ ‘ලන්ත’ වල ශිෂ්ට, අපක්ෂපාතී, ලිබරල්, සුදු මහත්වරු විසිනි.
දකුණු අප්‍රිකාව – කලු දකුණු අප්‍රිකාව, කල්ලන්ගේ පාලනය යටතේ පවතින, එහෙත් ප්‍රබුද්ධත්වයේ උරුමයන් වන නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය බඳු ඇගයුම් ස්වදේශික සම්ප්‍රදායන් සමග සංයෝග කිරීමෙහිලා මැලි නොවූ ප්‍රගතිශීලී දකුණු අප්‍රිකාව – දැන් තීරණාත්මක ප්‍රශ්නයක් අසා ඇත ; එහෙම බලනවා නම්, ඊශ්‍රායලය ද කරන්නේ වර්ග සංහාරයක් නොවේද?
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට අනුව, මෙය ‘පදනම් විරහිත’ (meritless) නඩුවකි. මෙය පදනම් විරහිත නඩුවක් යැයි කීමෙන්, බ්ලින්කන් හෙලිදරවු කරන්නේ දකුණු අප්‍රිකාවේ නිරුවත නොව, තමාගේම හෙලුවය. අල් ජසීරා නාලිකාව හැර, බීබීසී. සීඑන්එන්, ඩී.ඩබ්ලියු, ඇසෝසියේටඩ් ප්‍රෙස් ආදී වූ ලොව ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය කිසිවක් දකුණු අප්‍රිකාව විසින් ඉදිරිපත් කල චෝදනා වාරය සජීවීව ඉදිරිපත් කලේ නැත. ජර්මනියේ ඩී.ඩබ්ලිවු නාලිකාව ඊශ්‍රායලය අද දවසේ අන්තර්ජාතික යුක්ති අධිකරණය අබියස කල ප්‍රතිඋත්තර බැඳීම සජීවිව විකාශය කල බව මොහොතකට පෙර මම දුටුවෙමි. සියලු දෙනාගේ පක්ෂපාතීත්වයන් පැහැදිලිය ; හැබැයි සියලු දෙනාගේ කියාපෑම්වල සත්‍යාසත්‍යභාවය ද ඒ තරම්ම පැහැදිලිය.
අපට මේ මොහොතේ පැහැදිලිව කිව හැකි දෙය මෙපමණකි ; වියට්නාම යුද පරාජයෙන් ඉක්බිති, අන්තර්ජාතික වශයෙන් කුජිත වූ පසුබිමක, එක්සත් ජනපදයේ ප්‍රතිරූපය යලි නංවන්නේ කෙසේද යන සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙස ජිමී කාටර් පාලන සමයේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අංගයක් බවට ‘මානව හිමිකම්’ පත්විය. ජෝර්ජ් බුෂ් සීනියර් හා ජූනියර් බඳු රිපබ්ලිකන් ගිජුලිහිණින් මෙම දෘෂ්ටිවාදය සිය උමතු මිලිටරි මෙහෙයුම් සඳහා භාවිතා කලහ.
එහෙත්, 1990 ගණන්වලට පසුව, ඉතිහාසයේ පලමු වතාවට දාම් පෙත අනිත් පැත්තට හැරී තිබේ ; ගෝලීය දකුණේ මිලියන සංඛ්‍යාත වූ ජනතාවක්, පලමු වතාවට, තොප සහ තොපගේ සුරතලා වූ ඊශ්‍රායලය මොන තරම් දුරට මානව හිමිකම් රකීද යන තීරණාත්මක ප්‍රශ්නය ගෝලීය අධිරාජ්‍යයේ මුහුනත්තහඩුව මත අතුල්ලා ඇත. ඒ ඇතිල්ලීමේ නෛතික ප්‍රකාශනයය දකුණු අප්‍රිකාවේ නඩුව.
මෙම නඩුව විසින් අර්බුදයට යවන්නේ ඇන්තනී බ්ලින්කන්ගේ දෙබිඩි සහගත විදේශ ප්‍රතිපත්තිය පමණක් නොවේ ; අප රටේ ලිබරල් වාමාංශිකයන් ඇතුලු බොහෝ දෙනෙක් මෙතෙක් සිතා සිටි, ලෝකය යනු ශිෂ්ට බටහිර හා අශිෂ්ට බටහිර නොවන ලෝකය යන සරල දෙබෙදුමින් යුක්ත, කලු සුදු පර්යායකි යන මනෝරූපය ද මෙමගින් අර්බුදයට යවා තිබේ. මෙය අර්බුදයට යන තරමට හොඳය – පවත්නා දෙය විනාශ කිරීමෙන් තොරව, අලුත් යහපත් යමක් උපදින්නේ ද නැත.
රමිඳු පෙරේරා