Breaking News

ගෑස් ගන්න රුපියල් බිලියන 1.1ක අමතර වියදමක් දරලා

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය සඳහා සියම් ගෑස් ට්‍රේඩින් ලිමිටඩ් වෙත මුලින් ප්‍රදානය කරන ලද ටෙන්ඩරය අවලංගු කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 3.146ක එනම් රු. බිලියන 1.139ක පමණ අමතර වියදමක් දරා ඇති බව විගණන වාර්තාවකින් හෙළිවී තිබේ.

2022/2023 වසර සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ප්‍රසම්පාදනය පිළිබඳ ජාතික විගණන කාර්යාලය විසින් මෑතකදී නිකුත් කරන ලද විශේෂ වාර්තාවෙන් හෙළි වන්නේ මෙම අනපේක්ෂිත මූල්‍ය පසුබෑමට හේතු වී ඇත්තේ OQ Trading වෙතින් වැඩි මිලට ගෑස් මිලදී ගැනීම බවයි.

2022-2023 සඳහා සුදුසුකම් ලත් සැපයුම්කරු ලෙස 2022 අප්‍රේල් 26 වැනි දින තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ අඩුම ලංසුකරු වන සියම් ගෑස් ට්‍රේඩින් බව 2023 දෙසැම්බර් 11 දින නිකුත් කරන ලද වාර්තාවෙන් අනාවරණය වේ.

ප්‍රසම්පාදන කමිටුව ද මෙම නිර්දේශය 2022 අප්‍රේල් 28 දින අනුමත කර ඇත.

මීට අමතරව, සියම් ගෑස් ට්‍රේඩින් සැපයුම්කරු ලෙස තෝරා ගැනීමට 2022 මැයි 4 දින කැබිනට් අනුමැතිය ලබා දී තිබිණි.

වාර්තාවේ දක්වා ඇති පරිදි OQ Trading වෙත ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීමට 2022 මැයි 28 දින අභියාචනා මණ්ඩලයේ කැමැත්ත තිබියදීත්, 2022 ජුනි 13 දින කැබිනට් තීරණයකට අනුව නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව විගණන වාර්තාව අනාවරණ කරන ලදී.

මෙම තීරණය ගෙන ඇත්තේ සියම් ගෑස් ට්‍රේඩින් ඉක්මවන මිලකට OQ Trading වෙතින් ගෑස් මිලදී ගෙන තිබියදීය.

2022 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට ගෑස් මිලදී ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිව මෙය සිදුවී තිබීම විශේෂත්වයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස සියම් ගෑස් ට්‍රේඩින් තෝරාගෙන තිබුණද ප්‍රසම්පාදන වාරය අවලංගු කර තිබේ.

එවිට ගෑස් වැඩි මිලකට OQ Trading වෙතින් මිලදී ගෙන තිබිණි.

වාර්තාවට අනුව, 2022 ජුනි 8 වැනි දින අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් යටතේ OQ Tradingහි 3.2 (ii) වගන්තියට අනුව ඩොලර් මිලියන 20ක වටිනාකමක් හෝ අවම වශයෙන් මෙට්‍රික් ටොන් 100,000ක් සඳහා සහතික කළ පොරොත්තු ලිපියක් ඇතුළත් පෙරගෙවුම් කොන්දේසි මත පදනම්ව ගෙවීම් සකස් කළ යුතු බව නියම කර ඇත.

කෙසේවෙතත්, අනුමැතිය ලබා ගැනීමේදී මෙම කොන්දේසි මඟ හැරීම පිළිබඳ විගණන කාර්යාලය ප්‍රශ්න කර ඇත.

මීට අමතරව, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම බැංකු ඇපකරයකින් තොරව ගෙවීම් කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබුණේ එය එහි පවතින ක්‍රියා පටිපාටිය බව පවසමිනි.

කෙසේවෙතත්, විගණන කාර්යාලය ප්‍රකාශ කළේ ආර්ථික අර්බුදය තුළ එක් අවස්ථාවක් හැර එවැනි ගෙවීම් සිදු කිරීම සඳහා ස්ථාවර ක්‍රමවේදයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් තමන් විසින් සොයාගෙන නොමැති බවයි.

නිරීක්ෂිත අනුකූලතාවක් නොමැතිකම සැළකිල්ලට ගනිමින් විගණන කාර්යාලය විසින් ඇමැති මණ්ඩල සංදේශයේ පැහැදිලි කිරීම ප්‍රශ්න කළේය.

ප්‍රසම්පාදන කමිටුව පෙරගෙවුම් කොන්දේසි මත වටිනාකම මාසික සැපයුම් වටිනාකමට අඩු කිරීමේ කොන්දේසිය සහිතව ප්‍රසම්පාදන කමිටුව මුලින් අනුමත කර තිබුණද, අවශ්‍ය ණයවර ලිපිය ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අවසානයේ නව ප්‍රසම්පාදනයක් තෝරාගෙන ඇත.

සැළකිව යුතු කරුණක් නම්, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පෙර ගෙවුම් කොන්දේසිවලට හෝ ඩොලර් මිලියන 20ක පෙරගෙවීම්වලට යටත්ව OQ Trading වෙතින් ස්ථානීය කොන්ත්‍රාත්තු යටතේ මෙට්‍රික් ටොන් 100,000ක් මිලදී ගැනීමට එකඟ වී තිබීමයි.

සියම් ගෑස් ට්‍රේඩින්ග් අඩු මිලට ගෑස් සැපයීමට කැමැත්ත ප්‍රකාශ කර තිබියදීත්, පෙර ගෙවුම් කොන්දේසි මත සමාගමට ස්ථානීය කොන්ත්‍රාත්තු සඳහා ලබා දිය නොහැකි නම් පෙරගෙවුම් පදනම මත සැපයීමට ඉදිරිපත් වූවත්, තීරණ ගන්නන් මෙම විකල්පය නොසළකා හැර ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, එකම කොන්දේසි යටතේ වැඩි මිලකට ප්‍රසම්පාදනය සිදු කර ඇත්තේ එක් සමාගමක් පමණි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ විචක්ෂණභාවය නොමැතිකම පිළිබඳව විගණන කාර්යාලය සිය වාර්තාවේ අතෘප්තිය ප්‍රකාශ කර ඇත.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ඩොලර් බිලියන 1න් ලිට්‍රෝ ගෑස් සමාගමට එකඟ වූ ඩොලර් මිලියන 120ක ප්‍රදානය ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කර නොතිබූ බවද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

leave a reply