Breaking News

ට්‍රම්ප් අඩියක් පස්සට ගනියි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිග සටන් විරාමය උල්ලංඝනය කළ බවට ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකටම බැන වැදී තිබේ.

හේග් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට යාමට පෙර මාධ්‍යවේදීන් අමතමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ රටවල් දෙකම ගැන තමා “සතුටින් නොසිටින” බවයි – ඊශ්‍රායලය ගැන තමා “ඇත්තටම අසතුටින්” සිටින බවයි.

සටන් විරාමය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල විය. මේ සමඟම ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ “ටෙහෙරානයේ ඇති රජයේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් ඉරානයේ සටන් විරාම උල්ලංඝණයට ප්‍රබලව ප්‍රතිචාර දක්වන ලෙස” ආරක්ෂක හමුදාවන්ට නියෝග කර ඇති බවයි.

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, පසුගිය පැය කිහිපය තුළ ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා ඉරාන සන්නද්ධ හමුදා ජෙනරාල් අබ්දුල්රහිම් මවුසාවි ප්‍රතික්ෂේප කර ඇත.

මීට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලය සහ ඉරානය අතර “පූර්ණ” සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

කාලයත් සමග සටන් ක්‍රමයෙන් අඩු වන බවත්, පැය 24කට පසු යුද්ධය නිල වශයෙන් අවසන් වන බවත් ට්‍රම්ප්ගේ නිවේදනයේ සඳහන් විය.

ඉරානය විසින් සටන් විරාමය කඩකළ බවට චෝදනා එල්ල වන්නේ ඉන් පසුවයි.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය විවේචනය කිරීම පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ. දේශපාලන විචාරකයන් පවසන පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මේ ස්ථාවරය ඊශ්‍රායලය මුහුණ දී සිටින අර්බුදයේ ප්‍රකාශනයක් බවයි. විශේෂයෙන් ආර්ථික අවදානමකට මුහුණ දී ඇති බවට සංඥාවක් බවයි. ඇමරිකාවට ඊශ්‍රායලය වෙනුවෙන් යුද්ධයට මැදිහත්වීමට සිදුව ඇත්තේ ඒ නිසා බව ඔවුන්ගේ අදහසයි. එසේම තවත් යුද්ධයක් සඳහා මැදිහත්වීමට ඇමරිකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අවදානම ඉඩ නොදෙනු ඇති බව පෙනෙන්නට තිබේ.

leave a reply