Breaking News

මන්නාරමේ සුළං බලාගාරය ගැන මහජන අදහස් විමසනවලු

අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අන්දෝලනාත්මක සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවගේ වාචික අදහස් විමසීමට (Public hearing) මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

ඒ ගැන ලිඛිත අදහස් දැක්වීම සඳහා මාර්තු 06 තෙක් ඉඩ ලබා දී තිබුණි.

”විද්‍යඥයින්, පරිසර සංවිධාන සහ මේ ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් අපිට ලිඛිත අදහස් දැක්වීම් කරලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මේ අදහස් සියල්ල ව්‍යාපෘතිය යෝජක පාර්ශවය වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලෂකිති අධිකාරිය වෙත යවලා නැවත තාක්ෂණික පැහැදිලි කිරීම් සඳහා ඉදිරිපත් ක‍රන්න. ජනතාව අපෙන් ඉල්ලා තියෙනවා වාචිකවත් අදහස් දක්වන්න අවස්ථාවක් දෙන්න කියලා. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ඒකටත් අවස්ථාවක් ලබා දෙන්න.” යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස් ගමගේ පවසා තිබේ .

මේ අතර දැනටමත් මන්නාරමේ ඉදි කර ඇති සුළං බලාගාර නිසා අලුතින් ගංවතුර තර්ජනයක් හා පානීය ජල අර්බුදයක් මතු වී ඇති බවත් සංක්‍රමණික කුරුල්ලන්ට වන බලපෑම නිසා ඉදිරියේ දී සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ජනතාව සහ පරිසරවේදීන් පවසමින් සිටියි.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කරයි. 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වේ.

leave a reply