රනිල් වික්‍රමසිංහ ඊයේ උතුරු පළාතේ සංචාරයක නිරත වෙමින් නැවතත් පොරොන්දු ගණනාවක් ලබාදී තිබේ.
එසේම උතුරු පළාතේ තිබෙන සුළං සහ තාප තත්ත්වයන් අනුව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් තිබෙන බවත් නිපදවිය හැකි බලශක්තිය ගණනය කර බැලුවොත් ඉතිරි කොටස ඉන්දියාවට අළෙවි කර මුදල් ලබාගත හැකි බවද ඔහු පවසා ඇත.
අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු 2025 වසර වන විට සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බව ද ඔහු මෙහිදී පවසා තිබේ. පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
එම බලතල ක්‍රියාත්මක කළාට මධ්‍යම රජය මැදිහත්වීම් සිදු නොකරන බවත් ඔහු පවසයි.
බැලූ බැල්මට රනිල්ට උතුරේ ජනතාව ගැන විශාල කැක්කුමක් ඇතිව තිබේ. වාර කිහිපයකදී තමන් විවිධ තනතුරු දැරූ ආණ්ඩු බලයට පත්වුණත් ඉටු නොකල පොරොන්දු රැසක් ඔහු මෙවර ලබාදී තිබේ.
රනිල්ගේ මෙම හදිසි කැක්කුම පිටුපස ඇති කතාව වෙන එකකි.
ගැසට් මගින් ජාතික වනෝද්‍යාන, අභය භූමි සහ ස්වභාවික රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති ආරක්‍ෂිත ප්‍රදේශවලින් නැවත නිදහස් කළ යුතු ඉඩම් ලේඛනයක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය හරහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
එම ලේඛනයට අනුව චුන්ඩිකුලම, ඩෙල්ෆ්, ආදම්ගේ පාලම (සමුද්‍රීය ජාතික උද්‍යානය), මඩු සහ ලාහුගල – කිතුලාන යන ජාතික වනෝද්‍යාන වලට අයත් ඉඩම් ද ඇතුළත් වේ. එමෙන්ම වෙඩිතලතිව් හා නන්දිකඩාල් වැනි ස්වභාවික රක්ෂිතවලට අයත් ඉඩම් මෙන්ම කෝකිලායි සහ නගර්කෝවිල් වැනි අභය භූමිවලට අයත් ඉඩම් ද නිදහස් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් බව BBC වාර්තා කරයි.
මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද උතුරු හා නැගෙනහිර රක්ෂිත ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීමට අදාල ඉල්ලීමක් ලැබී අතර ඊට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව වන සංරක්ෂක ජනරාල් නිශාන්ත එදිරිසිංහ BBC සිංහල සේවය වෙත පවසා ඇත.
උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවල යටතේ ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කළ ඉඩම් යළි නිදහස් කිරීමට අදාළ මෙම ඉල්ලීම් ඉදිරිපත්ව ඇත. දිස්ත්‍රික් ලේකම්වරු හරහා ලබාගත් තොරතුරු අන්තර් අමාත්‍යංශ කමිටුවක් හරහා සලකා බැලීමෙන් පසු ඉඩම් නිදහස් කිරීම සිදු කිරීමට නියමිතව තිබේ.
රජය නිදහස් කිරීමට සූදානම් වන, රක්ෂිත ප්‍රදේශවල ලැයිස්තුව බැලීමේ දී ජනතාවට නැවත ලබා දෙන බව කියන ඉඩම්වලට අමතරව වෙනත් පාර්ශවයන්ට ලබා දීමේ සුදානමක් පවතින ඉඩම් ද ඇතැයි යන සැකය මතුවන බව පරිසරවේදීහු පවසති.
ආචාර්ය ජගත් ගුණවර්ධන පවසා ඇත්තේ ජාතික වනෝද්‍යාන සහ ජාතික රක්ෂිත ලෙස හඳුන්වන ඒවා තුළ පුද්ගලික ඉඩම් නොමැති බවයි. ඒවා ප්‍රකාශයට පත්කිරීමේදී පුද්ගලික ඉඩම් පවරාගන්නා බැවින් ජාතික වනෝද්‍යාන සහ ජාතික රක්ෂිත තුළ පුද්ගලික ඉඩම් තියෙනවා කියන එක බොරුවක් බවද ඔහු පවසා ඇත.
රනිල්ට ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවට දේශපාලන අයිතිවාසිකම් ලබාදීම ගැන කැක්කුමක් නොව ඉන්දියානු සමාගම්වලට ඉඩම් ලබාදීමට ඇති කැක්කුමක් ද යන සැකය මේ අනුව මතුවේ. ඔහුගේ පුනර්ජනනීය බලශක්ති වැඩපිළවෙල ගැන අදහස හරහාද එම සැකය තහවුරු වේ. එසේම 13 ක්‍රියාත්මක කරන මුවාවෙන් උතුරේ ජනතාවට අයිතිවාසිකම් ලබාදීම කෙසේවෙතත් සමාගම්වලට ඉඩම් ලබාදුනහොත් පුදුම විය යුතු නැති බව මේ අනුව පෙනේ.