Breaking News

දරුවන් රැකීම වෙනුවට මැරීම අරමුණු කරගත් රටක්

කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරිය අදාල පරිවාස නිලධාරිනිය පිට පාරෙන් ආ කෙනෙක්දැයි සොයා බැලු බවත් නමුත් ඇය විභාගය සමත් වී තිබුනත් වෘත්තීය සුදුසු කමක් නැතැයි ද පවසා ඇත.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් ඉතා ඉක්මනින් රටපුරා පරිවාස නිලධාරීන් පුහුණු කිරීමට කටයුතු කරන බවද ගීතා කුමාරසිංහ සඳහන් කර තිබේ.

මේ වනවිට අත්අඩංගුවට ගත් කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලකවරිය දෙසැම්බර් 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණයෙන් නියෝගකර තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, අදාළ දරුවා අකීකරු බව පවසමින් මෙම පාලිකාව විසින් කොසු මිටකින් පහරදී ඇති බවටයි.

අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබෙන බව සඳහන් වනවා.

මෙහි වැරැද්ද පාලිකාවගේ පමණක් නොවේ. දැනට එම දරුවා සම්බන්ධව බෙදාහැරෙමින් පවතින ඡායාරූපයෙන් පැවසෙන පෙනෙන ආකාරයට ඔහුගේ අතට තවත් වැඩිහිටි පුද්ගලයෙකු සමඟ මාංචු දමා තිබේ. ඊට අමතරව පොලිස් ස්ථානයක් වැනි තැනක දන ගස්වා ඇති ආකාරයට පෙනෙන්ට තිබේ. දරුවෙක් අත්අඩංගුවට ගැනීමේදී අනුගමන කළයුතු ක්‍රමවේද මෙහිදී අනුගමනය කර නැති බව පැහැදිලිය. ඒ පිළිබදවද පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

රාජ්‍ය ඇමතිවරිය කියන පරිදි ළමා නිවාස පාලිකාව සුදුසුකම් සපුරා නොමැති නම් එවැනි පුද්ගලයන් බඳවා ගන්නා එම ආයතන පද්ධතිය ඒ සඳහා වගකිව යුතුය. එසේම මෙවැනි සිදුවීම් හරහා ඒ ආකාරයේ නුසුදුසු පුද්ගලයන් කොපමණ ප්‍රමාණයක් සිටීද යන සැකය ඇතිවේ. අපේ රටේ දරුවන් සම්බන්ධයෙන් වන රාජ්‍ය වගකීම එවැනිය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය පවතින්නේ රනිල් වික්‍රමසිංහ යටතේයි. මේවනවිට රනිල් ඩුබායි පැවැත්වෙන දේශගුණික සමුළුවට සහභාගී වෙලා දේශගුණික විපර්යාස නැවත්වීම වෙනුවෙන් ලොකු ලොකු තාක්ෂණික වෙනස් කිරීමට යෝජනා කරමින් සිටියි. රනිල් සෑම විටම කතා කරන්නේ නව ලෝකය සමඟ ඉදිරියට යාමට පරණ ක්‍රම නොව නවින් ක්‍රම හරහා ඉදිරියට යාමටයි. තමන්ගේ රටේ දරුවන්ගේ ආරක්ෂව සහතික කරන්න කිසි ක්‍රමවේදයක් නැති රටක ඒවා තවත් වැල් බයිලා පමණක් බව පැහැදිලිය.

leave a reply