Breaking News

ඖෂධ 115ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් – බාල ඖෂධ ගෙන්වූවන්ට දඬුවම් කෝ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශ වාර්තාවලට අනුව 2023 වසරේ මේ දක්වා ඖෂධ 115 ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී තිබේ.

තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ ඖෂධවලින් 58ක් පමණ ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති අතර ඖෂධ 45ක් දේශීයව නිෂ්පාදනය කර ඇති අතර අනෙක් ඒවා චීනය, පාකිස්තානය, ජපානය සහ බංග්ලාදේශය වැනි රටවලින් ගෙන්වන ලද ඒවයි.

තත්ත්ව පරීක්‍ෂණවලින් අසමත් වී ඇති බවට හඳුනාගත් ඖෂධ සමහරක් භාවිතයෙන් ඉවත් කර, රඳවා තබා හෝ අත්හිටුවා ඇත.

මීට අමතරව ප්‍රතිජීවක ඖෂධ ගණයට වැටෙන Flucloxacillin Cap කාණ්ඩ 35 ක් මැයි මාසයේදී ඉවත් කර ඇති අතර, එය කාණ්ඩ ගණන අනුව 2017 සිට මේ දක්වා ඉහළම අගය වාර්තා කරයි. මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, 2017 වසරේ සිට ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ වර්ග 600 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එවැනි සිදුවීම් වැඩිම සංඛ්‍යාව එනම් 96 ක් 2019 දී වාර්තා වී ඇති අතර 2022 දී ඖෂධ 86 ක් තත්ත්ව පරීක්ෂණ අසමත් වී ඇත.

ඖෂධවල ගුණාත්මක ගැටලු හේතුවෙන් 2023 දී වසරේදී මරණ කිහිපයක්ද වාර්තා විය. ඒ සම්බන්ධ විමර්ශනයට කමිටුවක් ද පත්කළ නමුත් මෙතෙක් සිදුවූ දෙයක් නොමැත.

අද පුවත්පත් වාර්තා කර තිබෙන්නේ අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය සැපයුම් අත්හිටුවීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් ඇතිවී තිබෙන බවයි.

ඇතැම් සිරිර්න්ජර තුළ ජල වාෂ්ප සහ විවිධ තෙල් වර්ගවලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව පැමිණිලි ලැබීම හේතුවෙන් සැපයුම් අත්හිටුවා ඇති බවත් ඒ අනුව මිලිලීටර 10 සහ මිලිලීටර 20 සිරින්ජරන් තොග වෛද්‍ය සැපයීම් අංශයේ නොමැති බවත් වාර්තා වේ.

තත්ත්වයෙන් බාල ප්‍රතිජීවක ඖෂධයක් ගෙන්වීමට අදාළව මේ වනවිට වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරීන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් එම ගෙන්වීම් අනුමත කළ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගෙන නැත. මෙම වාර්තා අනුව පෙනී යන්නේ දේශීය ඖෂධ නිෂ්පාදනය කරන බවට බොරු ෂෝ දමමින් ආරම්භ කළ ඖෂධ නිෂ්පාදනයද ගුණාත්මක තත්ත්වයේ නැති බවයි.

leave a reply