Breaking News

වධ බන්ධනයට ලක්වූ තවත් විදෙස් ශ්‍රමික කාන්තාවක් දිවයිනට – ඊශ්‍රායලයටත් ශ්‍රමිකයන් යවන්න ගිවිසුම් ගහන ඇමති බුදි

”මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාලා පාගල ස්කුරුප්පු ඇන දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වේ නැත්තම් මගේ රත්තරන් බඩු ඔක්කොම දාලා පොලිසියට අල්ලලා දෙනවා කියලා ඒ ගෙදර කාන්තාව කිව්වා. මම බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරේ හිරවුණා. මට හුස්ම ගන්න බැරි උණා.”

මෙසේ පවසා ඇත්තේ සෞදි අරාබියේ ගෘහ සේවයට සඳහා ගොස් එහිදී පහර කෑමට ලක්වී ඉන් අනතුරුව ස්කුරුප්පු ඇන දෙකක් සහ යකඩ බෝලයක් ගිල්වා, රෝගාතුර වී ඊයේ දින අලුයම මෙරටට එවා තිබූ ගෘහ සේවිකාවකි.

ඇය මතුගම නෑබඩ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍ර දර්ශනී නැමති තිදරු මවකි.

තමා ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිත ආයතනයට මේ සම්බන්ධව පැමිණිලි කළ අවස්ථාවේදී එම ආයතනය තමන්ට බැන වැදුණු බවද ඇය පවසයි.

”ඒ ගෙදර කාන්තාව මට හැමදාම ගැහුවා, බැන්නා, පිච්චුවා. ඒත් මම වැඩ කළා.”

“නානකාමරයේ ෂැම්පු පෑගීමෙන් පසු මම ලිස්සා වැටිලා මගේ කොන්දට සහ හිස බිම වැදුනා. මට අමාරුයි වැඩකරන්න බෑ කිව්වා. ඊට පස්සේ ගෙදර කාන්තාව මට ශාරීරිකව පහර දීලා මාව කාමරයකට දාලා හිර කළා.” ඇය පවසා තිබේ.

වෘත්තියෙන් පොල් කඩන්නෙකු වන දර්ශනීගේ සැමියා පවසන පරිදි තමන්ගේ නිවස අසළ පදිංචිව සිටින සෞදි අරාබියේ තානාපති කාර්යාලයේ වැඩකරන නිලධාරියෙකු හරහා ඇයව ගෙන්වාගෙන තිබේ.

මාසයෙන් මාසය රටට ලැබෙමින් තිබෙන විදෙස් ප්‍රේෂණ ඉහළ යමින් තිබෙන බව විදෙස් රැකියා අමාත්‍යංශය ඇඩ් දමමින් සිටියි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 517.4කි. එසේම මේ වනවිට මේ වසරේ ගෙවුණු මාස 10ක කාලයක් තුළ රටට ලැබුණු මුළු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 04කටත් වැඩිය. එනම් මේ වසරේ පළමු මාස 10 තුළ විදෙස් ගත ශ්‍රමිකයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු ණය මුදලට වඩා ප්‍රමාණයක් සොයා දී තිබේ. මෙම විදෙස් ප්‍රේෂණවලින් බහුතරය දර්ශනී වැනි මැද පෙරදිග යන කාන්තාවන්ගේ දහඩිය සහ කඳුළුයි. නමුත් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් කිරීමට ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් නොකරයි. විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොගන්නා ආණ්ඩුව දැන් ඊශ්‍රායලයටත් ශ්‍රමිකයන් යැවීමට ගිවිසුම් ගතව සිටියි. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඩොලර් පමණි. මේ තත්ත්වය යටතේ දර්ශනීට ජීවත්වීමට අවස්ථාව ලැබුණද ඉදිරියේදී විදෙස් ප්‍රේෂණ මෙන්ම මෙරටට විදෙස් ගත ශ්‍රමික කාන්තාවන්ගේ මළ සිරුරු තොග ගණනින් ලැබෙනු ඇත.

leave a reply