Breaking News

මුලතිව් සමූහ මිනීවලෙන් ගොඩගත් සිරුරු හඳුනාගැනීම ඇරඹෙයි

මුලතිව් සමුහ මිනී වළෙන් ගොඩගත් අස්ථි කොටස්වල අනන්‍යතාව තහවුරු කරගැනීමේ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව අස්ථි ගොඩගැනීම මෙහෙයවු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා උසාවියට දැනුම් දී තිබේ.

අවුරුද්දකට මදක් වැඩි කාලයක් ගතකොට කොක්කුතොඩුවායි සමුහ සුසානයේ කැනීම් කටයුතු 2024 ජුලි 15 වැනිදා නිමා කරන විට පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි.

කොක්කුතොඩුවායි සමූහ සුසානය සම්බන්ධ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා විභාගයට ගැනීමෙන් අනතුරුව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග කියා සිටියේ වලදමා සිටි පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, වයස, උස ප්‍රමාණය ආදී තොරතුරු අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

“මෙම කැණීමේදී ලබාගත් අස්ථි කොටස් 25 ක් යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අංශය වෙත මාරුකර යවා, පසුගිය 02 වැනිදා සිට දෙදිනක් පරීක්ෂණ සිදු කළා. ඉදිරි සතිවලදී එය දිගටම සිදුවෙනවා. මාස හයක් ඇතුළත අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ සම්පූර්ණ වාර්තා බලාපොරොත්තු වෙනවා.”

මාස හයක කාලයක් තුළ වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ගේ සම්පුර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන බව වෛද්‍ය කනගසභාපති වාසුදේව මාධ්‍යවේදීන්ගේ විමසීම් හමුවේ වැඩි දුරටත් පවසා තිබුණි.

කොක්කුතොඩුවායි විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් 2024 මාර්තු මාසයේ අධිකරණයට දැනුම් දී තිබුනේ සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද අස්ථි කොටස් අනූව දශකය මැද භාගයේ අවිධිමත් ලෙස වල දමන ලද විමුක්ති කොටි සාමාජිකයන්ගේ බවයි. ඔවුන් නිසැකයෙන්ම වෙඩි පහරින් මියගොස් ඇති බව ඔහුගේ නිගමනයයි.

සමුහ සුසානයේ සිරුරු ගොඩගැනීමේ කටයුතු නිරීක්ෂණයට එක් වු නීතිඥ වී එස් නිරංජන් අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් සමුහ සුසානය පිහිටි භුමියේ ඉතිහාසය සම්බන්ධ වාර්තාවක් මෙන්ම සිරුරු ගොඩ ගත් අවස්ථාවේ ඔහුගේ නිරීක්ෂණයන්ද ඇතුලත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

“අධිකරණයේ ඉල්ලීම් අනුව කොක්කුතොඩුවායි ග්‍රාම නිලධාරි විසින් අද ඔහුගේ නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ. මේ අතර රාජ් සෝමදේවගේ වාර්තාව මාසයක් ඇතුළත ලබා ගැනීමට අපේක්ෂා කරනවා. සුසාන භුමිය නැවත එහි හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් මීලග නඩු දිනයේදී දැනුම් දෙනවා කියලා OMP කාර්යාලය දැනුම් දුන්නා.”

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් විසින් සමුහ සුසානයෙන් ගොඩ ගන්නා අස්ථි බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ගේදැයි හදුනාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් මීට ඉහත දී අධිකරණයට දිවුරුම් පෙත්සම් කීපයක් ඉදිරිපත් කර තිබුනි.

වෝහාරික පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව 2024 ජුලි 11 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ කියා තිබුනේ ඒ සදහා අවශ්‍ය ජෛව විද්‍යාත්මක සාම්පල විමර්ශන කණ්ඩායම විසින් තුන්වැනි අදියරේ සිට එක්රැස් කරමින් සිටින බවයි.

“අනිත් අතට මේ අවස්ථාවේදී ගරු මහේස්ත්‍රාත්තුමා දැනුම්දීලා තියනවා දිවුරුම් පෙත්සම් කීපයක් ඉදිරිපත් වෙලා තියනවයි කියලා අතුරුදහන් වෙච්ච අය අදුනාගැනීම සදහා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ඉදිරියට යම් කිසි ජාන පරීක්ෂාවක් කරන්න අවශ්‍යනම් ඒ සදහා සුදුසු වන අන්දමට සාම්පල කිපයක් ලබා ගන්නත් අපි කටයුතු කරලා තිබෙනවා. ඒ කියන්නේ සෑම ඇටසැකිල්ලකින්ම.”

නීතිඥ වී එස් නිරංජන් අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් වෙත වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුනේ හමුවු සිරුරු වල දැමු කාල සීමාව හදුනා ගැනීම සදහා කැනීමේ දී වලින් හමුවු LTTE සෙබල සෙබළියන්ගේ බවට විශ්වාස කෙරෙන අංක තහඩුවල ඇති අංක පුවත්පත් වල පළ කරන ලෙසද අතුරුදන් වූවන්ගේ පවුල් වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි.

“අතුරුදන් වූවන්ගේ පවුල් වෙනුවෙන් අපි කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. අපි ඉල්ලා සිටියේ සෝකෝ පොලිසිය ගත් සටහන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. බාරකාර වගකීම ආරක්ෂා කරන්න ඕන. මෙම කැණීමේදී බොහෝ ඉලක්කම් හමු උනා. අංක තහඩු හමු උනා. ඒවා අධිකරණ රෙජිස්ට්‍රාර් විසින් පත්තරේ පළ යුතුයි. මේ ඉලක්කම්, ඊට අනුබද්ධව සිටි සෙබළුන් ගැන ඔවුන්ගේ ඥාතීන් සහ පවුලේ සාමාජිකයන් දන්නවා කියන පදනමින් මේ තොරතුරු අධිකරණයට දැනුම් දීම හරහා මෙහි කාල සිමාව හදුනා ගැනීමට පහසු වන බවට අපි අධිකරණයට කරුණු පැහැදිලි කළා.”

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

කොක්කුතොඩුවායි සමූහ සුසානය සම්බන්ධ නඩුව සැප්තැම්බර් 27 වැනිදා විභාගයට ගැනීමට නියමිත බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

උපුටා ගැනීම – ද ලීඩර්

leave a reply