Breaking News

පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා සම්බන්ධ බව සනාථ කෙරෙන තවත් ප්‍රකාශයක්

ගෝඨාභය රාජපක්ෂට බලයට පත්වීමට සහයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ බවට වන චෝදනාව සනාථ කරන ආකාරයේ තවත් ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ඔස්ට්‍රේලියානු රූපවාහිනි සේවාවක් වෙත ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන හිටපු රජයේ බලපෑම මත අඩාල වූ බව ඔහු පවසා ඇත.

ABC ප්‍රවෘත්ති සේවාව (abc.net.au) වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමත් සමඟ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙරම සිය විමර්ශන කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කළ බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ වාර්තාමය වැඩසටහනක් ඔස්ට්‍රේලියානු ABC ප්‍රවෘත්ති සේවය විසින් පෙරේදා (නොවැම්බර් 16) විකාශය කර තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයවූ තමා ඇතුළු කණ්ඩායම අදාළ විමර්ශනවලින් වහා ඉවත් කළේ, කිසිදු දැනුම්දීමකින් තොර බව ද රවී සෙනවිරත්න පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 06කට පෙර නැගෙනහිර වවුනතිව්හී දී පොලිස් මුරපොළක කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද නිසි තොරතුරු ලබාදුන්නේ නම්, මෙම මෙම ප්‍රහාරය වැළැක්වීමට හැකියාව තිබූ බව ඔහු එම වැඩසටහනේ දී සඳහන් කරයි.

එමෙන්ම අමෙරිකානු FBI ඔත්තු සේවාවේ සහායෙන් අනාවරණය කරගත් එක් කරුණක් වන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් සමඟ රහස්‍ය හමුදා බුද්ධි අංශ මෙහෙයුම් අන්තර්ජාල ලිපිනයක් ඔස්සේ නිරන්තර සන්නිවේදනයක් සිදු ව ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගේ සමීපතයන් හෝ ප්‍රශ්න කිරීම් ජාතික ආරක්ෂක මෙහෙයුම්වලට බලපාන බව පවසා බුද්ධි අංශ නිලධාරින් දෙවරක්ම වැළැක්වූ බව ද ඔහු ප්‍රකාශ කරයි.

සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවට අදහස් දැක්වූ අසාද් මවුලානා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති වීමට උදව් කිරීමට යැයි කියනු ලබන කුමන්ත්‍රණයක කොටසක් ලෙස ඉහළ බුද්ධි නිලධාරියෙකු ජාතික තව්හිද් ජමාත් (NTJ) සංවිධානයේ සාමාජිකයින් හමුවූ බවයි. ප්‍රහාර හරහා ජාතික ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයක් ඇතිකර ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව දිනවීම එහි අරමුණ වූ බව ඔහු පවසා තිබුණි.

 

බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනයේ හිටපු ප්‍රධානියා එම පරීක්‍ෂණය අවුල් කළ දේශපාලන ඇඟිලි ගැසීම් ගැන පළමු වරට කතා කර තිබේ.

සෙනෙවිරත්නගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් 700කට වැඩි පිරිසකට විදේශ ගමන් තහනමක් ද එවක බලයට පත්වූ රජය විසින් පනවා ඇත.

සෙනෙවිරත්න පවසන්නේ මෙය රාජපක්ෂ පාලනයේ හිතවතුන් ගැන විමර්ශනය නැවැත්වීමේ අරමුණින් පොලිසිය බිය ගැන්වීමක් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් 90කට වැඩි පිරිසකට චෝදනා එල්ල කළ නමුත්, “සමහර බුද්ධි අංශ නිලධාරීන් මුස්ලිම් කණ්ඩායම සමඟ සම්බන්ධතා ඇති” අනාවරණය වීම විශාල බාධාවක් වූ බවයි.

හමුදා බුද්ධි ක්‍රියාකාරිකයෙකු විසින් භාවිතා කරන ලද අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනයක් NTJ ත්‍රස්තවාදීන් සමඟ නිරන්තර සන්නිවේදන පවත්වා ඇති බව එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ සහාය ඇතිව අනාවරණය කර බවද රවී සෙනෙවිරත්න පවසයි.

ප්‍රහාරය එල්ල වූ දින උදෑසන හමුදා බුද්ධි නිලධාරීන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ නිවසට ගොස් ඇති නමුත් එම තොරතුරු පොලිසිය සමඟ බෙදා නොගත් බව සෙනෙවිරත්න ප්‍රකාශ කර ඇත.

“එවැනි අවස්ථාවලදී, අපි යම් යම් පුද්ගලයන් සහ කණ්ඩායම් ප්‍රශ්න කිරීමට උත්සාහ කළ විට, අපට යම් යම් බාධකවලට මුහුණ දීමට සිදු වුණා,” සෙනෙවිරත්න පැවසීය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සබදතා පැවැත්වූ බුද්ධි නිලධාරීන් ප්‍රශ්න කිරීමට යාමේදී ඔවුන් ජාතික ආරක්‍ෂක මෙහෙයුම්වලට සම්බන්ධ බව පවසමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම නතර කළ බව ඔහු පැවසීය.

”එම නිලධාරීන් බුද්ධි අංශ සම්බන්ධ රහස්‍ය කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන බවට හමුදා බුද්ධි අංශ අපට දැනුම් දුන් නිසා අපි ඒවා වැඩිදුර විමර්ශනය කළේ නැහැ.”

ABC වෙබ් අඩවිය ඇසුරිනි

 

leave a reply