Breaking News

රුසියාවෙ කුලී හමුදා සේවයට ගිය තරුණයෝ සතියෙන් ගෙනත් දෙන්නම් – උදයංග

රජය පාර්ශ්වයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුලී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වාදීමට තමන්ට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තාතාපති උදයංග වීරතුංග පවසනවා.

රුසියානු රජය සමග සාකච්ඡා කර එක දිනයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් වුවත් වත්මන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඊට අසමත් බව ඔහු චෝදනා කළා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (12) මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

“ඒ අය කෙළින්ම යොමු කරන්නේ යුද්ධයේ ඉදිරි වළල්ලට. යුක්රේනයේ තානාපතිවරයෙක් මා එක්ක කිව්වා ඉදිරි වළල්ලේ විදේශිකයන් 1,500ක් විතර කුලී හමුදාවක් ඉන්නවා. ඒ අතර ශ්‍රී ලාංකික සෙබළුනුත් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මේක ජාවාරමක්. මේකට අහුවෙන්න එපා. මේක එක පැත්තකට ලැබෙන ටිකට් එකක් මිසක් මේකේ රිටන් ටිකට් එක්ක නෑ.මම රුසියාවේ හිටපු තානාපතිවරයා ලෙස මගෙන් රජය පාර්ශ්වයෙන් යම් ඉල්ලීමක් කළොත් මේ සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා ගැනීමට මට හැකියාව තියෙනවා. මේක රුසියාවේ රජය සමඟ මැදිහත් වෙලා කතා කරලා දවසින් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්.”

උදයංග වීරතුංග යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකළ වංචාවන් රැසකට චෝදනා ලැබූ පුද්ගලයෙකි. ඔහු එම පාලන සමයේ රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක යානා යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මුදලක් වංචා කල බවට ඔහුට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්දයෙන් විමර්ශනය කල පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා අවස්ථා කිහිපයකදීම වරෙන්තු නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් වරෙන්තු නිකුත් කර තිබියදීත් උදයංග වීරතුංග මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට මෙරටට නොපැමිණි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා. පසුව ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමඟ ලංකාවට පැමිණි උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර පසුව ඇප මත නිදහස් විය.

ඉන්පසු යුක්‍රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම ඇතුළු ගෝඨාභය රාජපක්ෂ රජයේ ව්‍යපෘති රැසක ඔහු නිරතවෙනු දක්නට ලැබුණි.

leave a reply