Breaking News

සීනි බදු වැඩි කරන්න කලින් ටොන් ගණනින් තොග ගෙන්නන්න අවස්ථාව දීලා

පසුගිය 1 වනදා සීනි බදු වැඩි කිරීමට පෙර ඊට ආසන්නම කාලයේදී එනම් 2023 ඔක්තෝම්බර් අග පමණ වනවිට අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8500ක් පමණ ආනයනය කොට ඇති බවත්, ඉන් පසු සීනි බදු රු.50 දක්වා වැඩි වීම සිදුවී ඇති බවත් ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව පෙන්වා දී තිබේ.

සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත් රටට බදු මුදල් අහිමිවීමත් පිළිබදවත්, ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම කාරක සභාව උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී අනාවරණ වී තිබුණේ, 2020 ඔක්තෝම්බර් මස සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් බිලියන 16කට ආසන්න විශාල අනීතික ලාභයක් ලබා ඇති බවත්, ඒ සම්බන්ධ විගණන වාර්තාවක් මගින් පෙන්වාදී ඇති බවයි.

ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව ප්‍රකාශ කර සිටියේ, ඊට අදාළ සමාගම් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදුකොට දේශිය ආදායම් පනත අනුව නිසි බදු අයකර ගැනීමට කටයුතු කරන ලෙසයි.

එසේම මෙවර බදු අඩු කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවය සම්බන්ධව අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබාගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අයකර ගන්නා ලෙසද කාරක සභාව නිර්දේශ වී තිබුණා.

එසේම, මෙරටට තිරිගු ආනයනය කොට පිටි සකස් කරන ප්‍රධාන සමාගම් දෙකට හැර අනෙක් සමාගම්වලට තිරිගු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කිරීම නිසා අදාළ සමාගම් විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කරගත් බව මෙහිදී හෙළි වුණා.

කාරක සභාවේ සභාපතිවරයා කියා සිටියේ, අනතුරුව මාස කිහිපයකින් තිරිගු පිටි සදහා රු.16ක බද්දක් පැනවීමත් එමඟින් එම සමාගම් ද්විත්වය විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරටට ජනතාවට හිමිවිය යුතු බදු සහනයන් නොලැබී යන බවයි.

සීනි බද්ද වැඩිකර පැය විසිහතරක් ගතවන්නටත් පෙර වෙළෙඳපොළේ සීනි මිල ඉහළ ගියේය. පෞද්ගලික අංශයේ පමණක් නොව ආණ්ඩුවේ සතොසද වහ වහා සීනි මිල ඉහළ දැම්මේය. එහි උදේ වරුවේ රුපියල් 267කට අලෙවි කළ සීනි කිලෝව සවස් වනවිට රුපියල් 320 දක්වා ඉහළ දමා තිබිණි.

බදු වැඩි කිරීමත් සමඟ පාරිභෝගික කටයුතු අධිකාරිය සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275කටද, පැකට් කළ සුදුසීනි කිලෝවක් රුපියල් 295කටද, පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330කට සහ පැකට් කළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 350 බැගින්ද අලෙවි කළ යුතුය. එම මිල ගණන්වලට වෙළෙඳ පොළේ සීනි නොමැති විය.

පෙනෙන්නට තිබෙන්නේ මිට පෙර සිදු සීනි බදු වංචාව නැවතත් සිදුව ඇති බවයි.

leave a reply