එකළොස් දෙනකුට මරු කැඳවූ මහර බන්ධනාගාරයේ සමූහ ඝාතනය වෙඩි තැබීම නිසා සිදුවූවක් යැයි මියගිය රැඳවියන්ගේ ඥාතීන් සහ ඇසින් දුටුවන් විසින් කරනු ලැබු හෙළිදරව් කිරීම් අධිකරණය හමුවේ තහවුරු වී ඇත.
බන්ධනාගාරය තුළදී රැඳවියන් මරණයට පත්වූයේ ඔවුන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුලු බලධාරීන් විසින් ගෙනයනු ලබන ප්‍රචාරය බොරුවක් බව එමගින් සනාථ වී තිබේ.
ප්‍රහාරය ඇසින් දුටු මහර බන්ධනාගාර කාර්ය මණ්ඩල සාමාජිකයකු මෙන්ම, ප්‍රහාරයෙන් දිවි ගලවාගත් රැඳවියකු විසින් ද දින කිහිපයකට පෙර ජේඩීඑස් හා කියා සිටියේ බන්ධනාගාර ජේලර්වරුන් විසින් රැඳවියන් ඉලක්ක කරමින් නොවැම්බර් 29 රාත්‍රියේ වෙඩි තැබූ බව ය.
”රැඳවියන්ට වෙඩි තිබ්බේ පොලිසියවත්, පොලිස් විශේෂ කාර්ය බලකායවත් නෙමෙයි, බන්ධනාගාරයේ නිලධාරීන්,” යැයි සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි නිලධාරියකු ජේඩීඑස් හා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර බන්ධනාගාරයේ ඝාතන පිළිබදව කරනු ලබන විමර්ශනයේ වාර්තාවක් ඊයේ දින (8) මෝසමක් මඟින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබුණේ ද වෙඩි තැබීමෙන් මරණ සිදුවූ බවට ය.
“පළමුවැනි වතාවට අද නීතිපති විසින් ඉදිරිපත් කරපු වාර්තාවේ මෙහි වෙඩි තැබීමක් සිදුවූ බව තහවුරු වෙලා තියෙනවා,” යි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සේනක පෙරේරා නීතිඥවරයා අධිකරණ කටයුතු හමාර වී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
‘බෙහෙත් පෙති ගහලා නෑ’
මහර රැඳවියන් 11 දෙනා වෙඩි තැබීමක් හේතුවෙන් මිය ගොස් ඇති බවටත්, රැඳවියන් මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ පානය කර මත්වී කලහකාරීව හැසිරි ඇති බවට සාක්ෂි නොමැති බවටත් රහස් පොලිසියේ විමර්ශන වාර්තාව උපුටා දක්වමින් නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න විවෘත අධිකරණය හමුවේ පවසා තිබේ. රැඳවියන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී එය ගැටුමක් දක්වා වර්ධනය වීමට හේතුව බන්ධනාගාරයේ කෝඩිඩ් ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ නිසි පරිදි නොපවැත්වීම යැයි ද රහස් පොලිස් වාර්තාව උපුටා දක්වමින් රජයේ අධිනීතිඥවරිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පසුගිය 4 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා තිබුණේ මරා දැමුණු රැඳවියන්ගෙගේ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකොට පුලුස්සා දැමීමට යන බැවින් එය වළකන ලෙස ය. ඒ අනුව එළැඹෙන 11 වැනිදා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට නීතිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරින්ට වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල විසින් නියෝග කොට තිබුණි.
ඒ අතරතුර නීතිපතිවරයා විසින් රහස් පොලිසියේ විමර්ශන ප්‍රගතිය අධිකරණය හමුවේ අනාවරණය කොට තිබෙන්නේ ඊයේ දිනයේදී ගොනුකරන ලද මෝසමක් යටතේය. එමෙන්ම ගිනි අවි විශේෂඥයකු මගින් ගිනි අවි විශ්ලේෂණයක් සිදුකරන බවටද අධිනීතිඥ නිශාරා ජයරත්න මහේස්ත්‍රාත්වරයා හමුවේ සඳහන් කොට ඇත.
මරා දැමුණු රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකරන ලෙසට නියෝග කරන්නැයි තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
”රැඳවියන් මරා දැමු බව නීතිය ඉදිරියේ සනාථ කරන්න නම් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්විය යුතුමයි,” නීතිඥ සේනක පෙරේරා ජේඩීඑස් හා කීය.
“නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මඩුල්ලක් යටතේ පශ්චාත් මරණ පරික්ෂණ පවත්වන්න කටයුතු කරනවා කියලා. මියගිය රැඳවියන්ගේ ඥාතීන් වෙනුවෙන් අපි අධිකරණයෙන් ඉල්ලිමක් කළා ඔවුන් වෙනුවෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකුට පශ්චාත් මරණ පරික්ෂණයට සහභාගි වෙන්න ඉඩ දෙන්න කියලා. නමුත් නීතිපතිතුමා ඒකට විරුද්ධ වුණා. පසුව මහේස්ත්‍රාත්තුමා විමසුවා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් නිරීක්ෂණ මට්ටමෙන් සහභාගි කරවන්න හැකිද යන වග. නමුත් නීතිපතිවරයා ඒකටත් නිසි පිළිතුරක් ලබා දුන්නේ නෑ”.
වෙඩි උණ්ඩවලට පසු රබර් උණ්ඩ
ජේඩීඑස් විසින් කරන ලද කරුණු සොයා බැලීම්වලදි සනාථ කර ගැනීමට හැකිවුයේ ද රැඳවියන්ගේ නොසන්සුන්තාවයට හේතුව බන්ධනාගාර ප්‍රධානින් විසින් කෝවිඩ් පරික්ෂණ නිසි පරිදි සිදු නොකිරීම බව ය.
“කෝවිඩ් බෝවෙයි කියලා බයෙන් හිටිය රැඳවියෝ මහර බන්ධනාගාරයේ නිලධාරින්ට ළඟට ගිහින් ඉල්ලා හිටියා තමන්ට PCR පරීක්ෂණ කරන්න කියලා. එතකොට නිලධාරීන් කිවුවේ ‘අපිට ඉහළින් නියෝග කරලා තියෙනවා පරීක්ෂණ නවත්වන්නය කියලා’යි. රැඳවියෝ කලබල කරන්න පටන් ගත්තේ එතකොටයි. ඒ වෙනකොටත් වැලිකඩින් මාරු කරලා ගෙනාපු රැඳවියන් කිහිප දෙනකුටම කෝවිඩ් ආසාදනය වෙලා තියෙන බවට අඳුනගෙන තිබුණේ. රැඳවියෝ කළබල කරන්න ගත්තම නිලධාරීන් ඉතාම දරුණු විදිහට පහර දෙන්න පටන් ගත්තා. පස්සේ ඒක මුළු බන්ධනාගාරෙම රැඳවියෝ අතරට පැතිරිලා ගියාම ජේලර්ලා කළේ වෙඩි තියන ඒක”.
මහර බන්ධනාගාරයේ ඉහත කී නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහර බන්ධනාගාරයට එන විටත් වෙඩි තැබීම සිදුවෙමින් පැවති බව ය.
”ඩීඅයිජී තෙන්නකෝන් තමයි ඇවිත් කිවුවේ දැන් වෙඩි තිබ්බා ඇති ටිකක් නවත්වන්න කියලා. හැබැයි ඊට පස්සෙත් වෙඩි කිහිපයක් එල්ල කළා. රබර් උණ්ඩවලින් වෙඩි තිබ්බෙත් ඊටත් පස්සේ. කිහිප දෙනෙකුටම වෙඩි වැදිලා තිබුණේ ඔළුවට.”
කැරලි මර්දනයේ දී වෙඩි තැබීමේ අනුමත පිළිවෙත වන්නේ ජීව උණ්ඩ පාවිච්චි කරන්නට පෙර රබර් උණ්ඩ යොදා ගැනීම ය.
ජේඩීඑස් විසින් කරන ලද විමසීමකදි මහර බන්ධනාගාරයේ රැඳවියකු විශ්වසනීය අතරමැදි පාර්ශවයක් ඔස්සේ සම්බන්ධ කර ගනිමින් තහවුරු කරනු ලැබුවේ ද වෙඩි තැබීම සිදුකරන ලද්දේ බන්ධනාගාරයේම නිලධාරින් විසින් බව ය.
”අපිට වෙඩි තිබ්බේ වෙන කවුරුත් නෙමෙයි ජේලර් මහත්තුරු. වෙඩි තියන්න කලින් සිරකරුවන්ගේ අතපය කැඩෙන්න ගැහුවා. පස්සේ කටිටිය ඇවිස්සුනාම වෙඩි තිබ්බා. පණ බේරගෙන දුවන අයටත් වෙඩි තිබ්බා. අනෙක හැම සිරකරුවෙක්ම හිර කූඩූවලින් ඒළියට ආවේ නෑ. එහෙම ආවා කියන ඒක බොරුවක්,” යැයි එම රැඳවියා කීය.
බලෙන් අත්සන් ගැනීම
සිය සහෝදරයා වන අමිත් සුබසිංහ බන්ධනාගාර නිලධාරින් විසින් වෙඩි තබා මරා දමා ඇතැයිද, මළ සිරුරු හඳුනා ගැනීම සඳහා රාගම රෝහලේ මෘත ශරිරාගාරයට ගිය විට පොලිසිය ප්‍රමුඛ නිලධාරින් තමන්ට තර්ජනය කරමින් පෝර්ම කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් ලබා ගත් බවද මියගිය රැඳවියකු වන අමිත් සුබසිංහගේ සහෝදරියක් වන ලක්මාලි නිලූෂානි චෝදනා කරන්නීය.
”කිරිබත්ගොඩ පොලිසියේ අසේල සඳරුවන් කියන අයිපී මහත්තයා පහුගිය 4 වෙනිදා අපිට කෝල් එකක් දීලා කිවුවා මැරිලා ඉන්න අයගේ පොටෝ දාලා තියෙනවා රාගම ඉස්පිරිතාලෙට ඇවිත් අඳුනගන්න කියලා. මම ඉස්පිරිතාලෙට ගියාම එතනින් කිවුවා මහර බන්ධනාගාරෙට යන්න කියලා. බන්ධනාගාරෙට ගියාම එතන හිටපු අය මට බැන්නා මෙතන මීනි නෑ, ගිහින් ඉස්පිරිතාලේ මෝචරියේ බලනවා කියලා. ඊට පස්සේ මම ආයෙත් රාගම ඉස්පිරිතාලෙට යන්න යද්දි කිරිබත්ගොඩ පොලිසියේ අසේල සඳරුවන් කියන නිලධාරියා බන්ධනාගාරේ ඇතුලේ ඉඳන් ඇවිත් මට කිවුවා මිනී දාලා තියෙන්නේ මෝචරියේ එතන්ට ගිහින් කට උත්තරයක් දෙන්න කියලා. මම රාගම ඉස්පිරිතාලේ මෝචරියට ගියාම ඒතන හිටිය අය මට අයියාගේ මළ සිරුරු ළඟටවත් යන්න දුන් නෑ. දුර ඉඳන් බලලා අඳුනගන්න කිවුවා. අයියගේ පපුවට ප්ලාස්ටර් අලවලා තිබුණේ. ඒ ගැන අහපුවාම ඒතන හිටිය අය මට කිවුවේ, වෙඩි වැදිච්ච තුවාල කියලයි. අයියගේ සිරුර අඳුනගෙන මම ඇහුවා කොහොමද මගේ අයියා මැරුණේ, ඇයි වෙඩි තිබ්බේ කියලා. තමුන්ට මොකටද ඒවා. පණ්ඩිතකම් කතා නොකර යනවා යන්න කියලා එතන හිටපු අය මට බැන්නා.”
අවසන් කටයුතු සිදු කිරීම සඳහා සිය සහෝදරයගේ සිරුර තමන්ට භාර දෙන්නැයි ඉල්ලු විට ඇයට සිදුවී ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයේ නින්දා අපහාස වලට මුහුණ දීමට ය.
”මුන්ට කොරෝනා, පුච්චලා දාන්නයි ඉන්නේ. කොරෝනා හැදුන එවුන් ගෙවල්වලට අරන් ගිහින් ලෙඩ බෝ කර ගන්න ඕනේ දැ,” යි අසමින් මෘතශරිරාගාරයේ සිටියවුන් තමන්ට අපහාස කළ බවද ලක්මාලි නිලූෂානී කෝපයෙන් යුතුව පැවසුවාය.
ප්‍රහාරයෙන් මියගිය 11 දෙනාගෙන් 8 දෙනකුම කොරෝනා ආසාදිතයන් බැවින් ”මරණ පරීක්ෂණ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම යටතේ සිදුකෙරෙන බව” පසුගිය 5 දා වත්තල මහේස්ත්‍රාත්වරයා හමුවේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සඳුන් විජේරත්න පවසා තිබුණි.
රාගමට බැරි මරණ පරීක්ෂණ
මහර බන්ධනාගාර ප්‍රහාරයෙන් මරා දැමුවුවන්ට කෙරෝනා ඇතැයි පවසමින් රාගම රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම පොලිසියද මියගිය වූවන්ගේ ඥාතීන් බිය වද්දමින් සිරුරු පුලුස්සා දැමීමට සැලසුම් කරමින් සිටියද මානව හිමිකම් කොමිසම් සභාව නිරීක්ෂණය කොට ඇත්තේ ශික්ෂණ රෝහලක් වන උතුරු – කොළඹ රෝහලේ වයිරස් ආසාදිත මළ සිරුරු පිළිබඳ පරික්ෂණ පැවැත්වීමේ පහසුකම් නොමැති බව ය. මේ අතර, වසංගතයෙන් රෝගාතුර පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් මාරුකර එවීම මහර නොසන්සුන්තාවක් ඇවිලවීමට මුල්වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්ද හෙළි කරගෙන තිබුණි.
”වයිරස් ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට ඔබ රෝහලේ පහසුකම් නොමැති බව අපගේ පරීක්ෂණවලින් හෙළිවී තිබේ. කොටිකාවත්ත රෝහලේ (IDH) එම පහසුකම් තිබෙන බැවින් ඒවා ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීම සුදුසුය,” යි කොමිසමේ විමර්ශන හා පරීක්ෂණ භාර කොමසාරිස්වරිය වන නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම විසින් පසුගිය පස්වැනිදා උතුරු-කොළඹ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඩබ්.ඒ.එම් ෂෙල්ටන් පෙරේරා වෙත යවා ඇති ලිපියේ සඳහන් ය.
වයිරස් ආසාදිතයන්ගේ සිරුරු බැහැර කිරීම් සම්බන්ධයෙන් කොමිසම දැනුවත්ව සිටින මුත්, රැඳවියන්ගේ මළ සිරුරු යනු දැනටමත් ආරම්භ කොට තිබෙන විමර්ශනයක එක් අංගයක් බැවින් ඒවා විනාශ නොකිරීමේ වැදගත්කම පෙන්වා දීමටද තමන් මෙම ලිපිය යොමු කරන බව කොමසාරිස්වරිය පවසා ඇත.
”එම නිසා එම සිරුරු සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංරක්ෂණය කළ හැකි මුත්, ඔවුන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරික්ෂණ අවසන් වනතුරු ආදාහනය හෝ වෙනත් ආකාරයකින් විනාශ කිරීම හෝ නොකළ යුතු ය. ඊට අමතරව හැකි සෑම අවස්ථාවකදීම ඡායාරූප ගැනීම වැනි බාහිර පරීක්ෂණ ආරම්භ කළ හැකි අතර ඒවා වෝහාරික කණ්ඩායම්වලට ලබා දීමට කටයුතු කළ යුතුය”.
මහජන සෞඛ්‍යය සහ මානව හිමිකම් නොතකා හැරීමක්
මේ අතර දෙසැම්බර් 2 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික විනිසුරුවරුන්ගේ කොමිසම (ICJ) ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටින්නේ, මහර බන්ධනාගාරයේ රැඳවියන් ඉලක්ක කරමින් බන්ධනාගාර පාලකයන් විසින් කරන ලද මරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී, එමෙන්ම කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ය.
”සිරකරුවන් මරණයට පත්කර, තවත් පිරිසකට තුවාල සිදුවන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකළ යුතුයි,” යනුවෙන් අයිසීජේ සංවිධානයේ නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සයිඩර්මන් විසින් නිකුත් කොට ඇති නිවේදනයේ සඳහන් ය.
මහර බන්ධනාගාරයේ ඇති වු තත්ත්වය මඟින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ පිරිහී තිබෙන මානව හිමිකම් සහ මහජන සෞඛ්‍යයේ ස්වභාවය සම්බන්ධයෙන් රජයේ බලධාරින් දක්වන නොසැලකිලිමත් මැදිහත් වීම යැයි ද අන්තර් ජාතික විනිසුරුවරුන්ගේ කොමිසම පවසයි.
රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් පසුගිය දින කිහිප පුරාම බන්ධනාගාරය අවටත්, උතුරු – කොළඹ (රාගම) ශික්ෂණ රෝහල අසලත් රැඳි සිටියේ මහර බන්ධනාගාරයේ රැඳවියන් ඉලක්ක කොට එල්ල කරන ලද ප්‍රහාරයෙන් සිය සමීපතමයා මියගොස් සිටින්නේ ද, එසේත් නැත්නම් තුවාල ලබා රෝහල් ගත කොට සිටින්නේ ද යනුවෙන් නිශ්චිත තොරතුරක් දැන ගැනීමේ අටියෙනි. ඒ අතරින් කිහිප දෙනකුම JDS හා කියා සිටියේ තමන්ගේ ස්වාමී පුරුෂයන්, දරුවන් පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරුක් දැන ගන්නට නැති බව ය.
පොළොව යට සිර මැදිරි
අතුරුදහන් වී ඇතැයි පැවසෙන රැඳවියන් සම්බන්ධයෙන් ජේඩීඑස් විසින් කරන ලද සොයා බැලීමකදි දැන ගන්නට ලැබුණේ යම් රැඳවියන් පිරිසක් මහර ප්‍රහාරයෙන් පසු රැගෙන ගොස් වැලිකඩ බන්ධනාගාරයේ රහසිගතව පවත්වාගෙන යන අභ්‍යන්තර සිරමැදිරි කිහිපයක සිර කොට ඇති බව ය. එම සිරකුටි භාවිතා කරන්නේ රටපුරා ඇති බන්ධනාගාරවල පාලනය කරගත නොහැකි යයි නිලධාරීන්ට සිතෙන රැඳවියන් දිගුකලක් සිරකොට තැබීම සඳහා යැයි ද, එම මැදිරිවලට දමන රැඳවියන් දරුණු වධහිංසාවන්ට ලක් කරන බවද විශ්වාස කටයුතු ලෙසින් අපට දැන ගන්නට ලැබී ඇත.
ඒ බව සනාථ කරමින් මහර ප්‍රහාරයෙන් පසු අතුරුදහන්ව ඇතැයි පැවසු රැඳවියකගේ බිරිඳක් ජේඩීඑස් හා කියා සිටියේ සිය ස්වාමි පුරුෂයා එවැනි රහස් මැදිරියක සිරකොට සිටින වග තමන්ට දැන ගන්නට ලැබුණු බවකි. ඇගේ සැමියා සමූහ ඝාතනය සිදුවූ දිනයෙන් පසුවත් ඇය සමග දුරකතනයෙන් කතා කර තිබේ.
දැන් ඔහු ආගිය අතක් නොමැත.
”මගේ මහත්තයාව මහරට මාරුකරලා තිබුණේ වැලිකඩ ඉඳලා. මුල් දවස් දෙකේම අපිට රාගම ඉස්පිරිතාලේ පැත්තටවත් යන්න පොලිසියෙන් ඉඩ දුන් නෑ. අපි කිවුවා ඉස්පිරිතාලෙට ගිහින් බලන්න ඉඩ දෙන්නේ නැත්නම් අඩුගානේ තුවාල වෙලා ඉන්න අයගේ නම් හරි අපිට කියන්න කියලා. තුන්වෙනි දවසේ තමයි නම් ලිස්ට් එකක් දැම්මේ. ඒ වුණාට ගොඩක් දෙනෙක්ගේ නම් තිබුණේ නෑ. හතරවෙනි දවසේ කිවුවා වැලිකඩට කට්ටියක් මාරු කළා කියලා. පස්සේ මම වැලිකඩට ගිහින් අහපුවාම එතන හිටපු නිලධාරින් කිවුවේ 200ක් විතර ගෙනත් දාලා ඉන්නවා, ඒ වුණාට නම් එළි කරන්න බෑ කියලයි,” යනුවෙන් රාගම, නවලෝක ගම පදිංචි 33 හැවිරිදි ඩිලාන් චාමර සමරවික්‍රමගේ බිරිඳ වන එරන්දි මිහිරාණි කියුවාය.
ඈ වැඩිදුරටත් කියා සිටියේ සිය ස්වාමිපුරුෂයා පසුගිය ඉරුදින (06) තමන්ට දුරකතනයෙන් කතා කොට කෙසේ හෝ ඔහු බේරා ගන්නා ලෙස ඉල්ලා සිටි බවයි.
”මගේ මහත්තයා මට කතා කරලා කිවුවා එයාව වැලිකඩ පොලොව යට සිරමැදිරියක හිරකරලා තියගෙන ඉන්න බව. එයා ඒක්ක තව 25 විතර ඉන්නවා කියලාත් මහත්තයා මට කිවුවා. මහර සිද්ධියෙන් පස්සේ ඒ අයව අල්ලගෙන ගිහින් හොඳටම ගහලා තමයි ඒ සිරමැදිරිවලට දාලා තියෙන්නේ. මගේ මහත්තයා මට කිවුවා එතැන ඉන්න ගොඩක් රැඳවියන්ට උණ, කැස්ස තියෙන බව. ඒ වුණාට බන්ධනාගාරේ ජේලර් මහත්තුරු කියනවලු ‘තොපි මැරෙන්න ඉන්න එවුන්, ගේට්ටු කඩාගෙන යන්න නේ තොපි ගියේ, කොරෝනා හැදිලාම මැරිලා පලයල්ලා, තොපිට බොන්න පැනඩෝල් පෙත්තක්වත් අපි දෙන්නේ නෑ’ කියලා.”
තමන් සිය ස්වාමියාගේ අතුරුදහන් වීම පිළිබඳව දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක්ද ගොනු කළ බව ද ඇය පවසා සිටියාය.
ප්‍රහාරයෙන් පසුව තවත් රැඳවියන් පිරිසක් මහර බන්ධනාගාරයේ පවත්වාගෙන යන රහසිගත සිරමැදිරි සංකීර්ණයකට දමා සිරකොට ඇතැයි ඇසින් දුටුවකු විසින් තමන් සමඟ කියා සිටියේ යැයි එක් පුද්ගලයකු ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.
”මහර බන්ධනාගාරේ කෙනෙක්ම තමයි මට මේක කිවුවේ. හිරකරලා තියන් ඉන්න රැඳවියෝ අතරේ තුවාලකරුවන් විශාල පිරිසක් මෙන්ම කෝවිඩ් ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන්ද ඉන්නවා කියලයි කියන්නේ. හුස්ම ගැනීමේ අපහසුතා තියෙන, වෙනත් ලෙඩ රෝගවලට ප්‍රතිකාර ගන්න අයත් එතන ඉන්නවලු. මට දැන ගන්න ලැබුණු විදිහට බන්ධනාගාර නිලධාරීන් එහෙම කරන්නේ රැඳවියන්ගෙන් පළිගැනීමේ අදහසින්,” ඔහු කීය.
මේ අතර මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කළ ප්‍රහාරය පිළිබදව කරුණු සොයා බැලීමට මහාධිකරණයේ හිටපු විනිසුරුවරියක වන කුසලා සරෝජනි වීරවර්ධනගේ සභාපතිත්වයෙන් පත් කරනු ලැබූ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවක් පසුගිය 7 දින අධිකරණ සහ බන්ධනාගාර විෂය භාර කැබිනට් ඇමතිවරයා වන ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත භාරදෙනු ලැබුණි.
JDS වෙබ් අඩවිය