Breaking News

පැහැර හරින ලද බදු ගැන අහනකොට රනිල්ට අනුර මතක් වෙයි

අද පාර්ලිමේන්තුවේදී රජයට අයකර ගත හැකි බදු පැහැර හැරීම පිළිබඳ මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අදහස් පළකර තිබුණි. ඔහු පැවසුවේ පසුගිය වසරේ පමණක් කෝටි ලක්ෂයකට ආසන්න බදු සහන ලබාදී ඇති බවයි. එසේම එක්ලක්ෂ විසි දහසකට ආසන්න වටිනාකමකින් බදු පැහැර හැර ඇති බවද ඔහු පැවසීය. මෙම බදු පැහැර හැර ඇති ව්‍යාපාරිකයන් ප්‍රමාණය 4200ක් බවද සජිත් පවසයි.

අරක්කු ව්‍යාපාරයේ නිරතවෙන ව්‍යාපාරිකයන් 24 දෙනෙකු අතරින් පස්දෙනෙකු බදු පැහැර හැර සිටි අවස්ථාවේ ඔවුන්ගේ බලපත්‍ර අහෝසි නොකළ බවද ඔහු පැවසීය.

රාජ්‍ය බැංකුවලින් පුද්ගලයන් ලෙස සහ ආයතන ලෙස විශාල ණය මුදල් අරගෙන ආපසු නොගෙවා සිටින අයගේ නම් ලැයිස්තුව තමන් ඉල්ලූ විට මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ඊට පිළිතුරු දෙමින් නම් ගම හෙලිකල නොහැකි බවත් කපා හරින ලද ණය මුදල කිව නොහැකි බවයි.

එහිදී අදහස් දැක්වූ රනිල් පැවසුවේ මෙම සංඛ්‍යා නිවැරදි නොවන බවයි. එසේම රාජ්‍ය බැංකුවල තිබෙන තොරතුරු හෙළිකළ නොහැකි බවද ඔහු පැවසීය. එසේ වුවහොත් රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටිය හැකි බවද රනිල් වික්‍රමසිංහ පවසයි.

අනුර එංගලන්තෙ නිසා, අද විපක්ෂ නායකතුමාට වාසි දවසක් බව පවසමින් රනිල් වික්‍රමසිංහ ප්‍රශ්නයෙන් ලිස්සා යනුද අවසානයේ දක්නට ලැබේ.

රජයට අයකර ගත හැකි බදු පැහැර හරින ලද ආණ්ඩුවේ සමීපතම කල්ලිය පිළිබඳව දත්ත සහිත කරුණු දැක්වීමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල ද මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.

එම දත්ත ඇසුරින් විවිධ පුවත්පත් විසින් මේ වනවිට බදු කොල්ලය පිළිබඳ කරුණු හෙළිකර තිබිණි. 2022 දෙසැම්බර් 31 දින අවසන් වූ වර්ෂය සඳහා එසේ පැහැර හරින ලද බදු ප්‍රමාණය රුපියල් කෝටි 113,100ක් බව මූලාශ සහිතව හෙළිකර තිබිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 106,600ක්, රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 5,860ක් සහ සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 680ක් වශයෙනි.

මෙසේ පොලු තබා ඇති ව්‍යාපාරිකයන් සංඛ්‍යාව 4,479ක් ය. ඔවුන් අතරින් 3,108 දෙනෙකු රුපියල් මිලියන 10 සිට 50 අතර ප්‍රමාණයක් එම වර්ෂය සඳහා බදු ගෙවීම පැහැර හැර තිබේ. තවත් 632 දෙනෙකු රුපියල් මිලියන 50 සිට 100ක් දක්වා ද සහ 457 දෙනෙකු රුපියල් මිලියන 100 සිට 300 දක්වා ද බදු ගෙවීම් පැහැර හැර ඇත. තවත් 104 දෙනෙකු රුපියල් මිලියන 300 සිට 500 අතර ප්‍රමාණයක් මෙන් ම 88 දෙනෙකු රුපියල් මිලියන 500 සිට බිලියනය දක්වා අතර ප්‍රමාණයක් බැගින් බදු ගෙවීම් පැහැර හැර තිබේ. එසේ ම අවසන් වශයෙන් රුපියල් මිලියන 1000ට වඩා එනම් බිලියන එකකට වඩා බදු පොලු තැබූ සංඛ්‍යාව 90කි.

මහජනතාව මත ආණ්ඩුව විසින් අසීමිත බදු බරක් පටවා තිබියදී 2022 වර්ෂයේදී පමණක් පාරිභෝගියන්ගෙන් අය කර ගෙන රජයට නොගෙවා ඇති බදු ප්‍රමාණය කෝටි 113,100ක් බව මෙම විශ්ලේෂණ අනුව පැහැදිලි කර තිබේ.

leave a reply