Breaking News

බාල බෙහෙත් ගෙන්වූ මහ මොළකරු කැබිනට්ටුවේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බවත් හැකිනම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සමාගම් හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥාවරු අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝගයක් එල්ල කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් (mmunoglobulin) නම් ප්‍රතිදේහ ඖෂධ කුප්පි ආනයනය කිරීම සම්බන්ධ නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ අධිකරණය කුමක් සිතුවත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා බවයි.

ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට නොගෙන නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු එහිදී පවසා තිබේ.

කෙසේවෙතත් මෙම සැකකරු නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් (mmunoglobulin) නම් ප්‍රතිදේහ ඖෂධ කුප්පි ආනයනය කළ සමාගමේ හිමිකරු අරුණ දීප්තිව නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට සහ අදාළ සමාගමේ හිමිකරුට විදෙස් ගමන් තහනම් කිරීම ද පනවා තිබේ.

සමාගම් හිමිකරුට අමතරව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර යන අයටද මෙම වාරණය පනවා ඇත.

අදාළ ඖෂධ සමාගම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වුවද එයට කිසිදු පියවරක් ගනු නොලැබුණි. ඔහුගේ අමාත්‍ය ධූරය පමණක් මාරු කෙරිණි. මෙම ඖෂධ ජාවාරම හරහා ඔහුටත් විශාල කොමිස් කුට්ටියක් හිමිවූ බවට චෝදනා එල්ල වී තිබේ.

leave a reply