වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දී තිබේ.
මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.
එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙසත්, විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරුවන්ට අවසර දුන් අතර, ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කර ඇත.
මෙම පෙත්සම වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර තිබී ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන් ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බව ය.
මෙම අවබෝධතා ගිවිසුම්වල අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝණය කිරීමක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම් තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මෙන් ම භෞමික අඛණ්ඩතාවට ද හානි සිදු වී ඇති අතර, මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.