Breaking News

භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යමින් නව නවසර උදාවෙන්න සූදානම්

හෙට උදෑසන නව වසර උදාවෙන්නේ ජනතාව මත පටවා ඇති බර තවත් වැඩිකරමින් බව පෙනෙන්නට තිබේ. හෙට සිට භාණ්ඩ හා සේවා රැසකට අදාළව වැට් බදු වැඩිවීමත් සමඟ මිල ඉහළ දමන බව දැනටමත් නිවේදනය කර තිබේ.

මෙම භාණ්ඩ හා සේවා බොහොමයක් ඍජුව වැට් බද්දට හසුවන ඒවා නොවුනද තෙල් සහ ගෑස් වැනි මූලික දේවල්වලට වැට් බද්ද අදාළ වීමත් සමඟ මේවා ඉහළ යන බව දක්නට ලැබේ. ඒ අනුව නව වසරේ මෙම පහත සඳහන් භාණ්ඩ හා සේවාවලට අමතර දේවල් රැසක මිල ඉහළ යනු ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) අනාවරණය කළේ 2024 ජනවාරි සිට ජල ගාස්තු 3% කින් ඉහළ යනු ඇති බවයි.

මෙම ගැලපීම ජනවාරි 1 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත සංශෝධිත අගය එකතු කළ බද්ද (VAT) සමඟ සමපාත වේ.

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සෑම මසකම 4 වැනිදා මාධ්‍යම රාත්‍රීයට යෙදී තිබුණ ද මෙවර ගෑස් මිල සංශෝධනය හෙට (1) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කරනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (31) පස්වරුවේ පැවසීය.
වැට් බද්ද හෙට සිට ක්‍රියාත්මක වන බැවින් එම මිල සූත්‍රය අසමතුළිත වීම නිසා එම තීරණය ගැනීමට සිදුවන බව කී එම නිලධාරියා හෙට පෙරවරුවේ නව මිල ගණන් නිවේදනය කරනු ඇති බව ද සඳහන් කළේය.

ජනවාරි 1 වැනිදා සිට මෙරට සියලුම දුරකථන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සියලු ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ රූපවාහිනී සේවා ගාස්තු 15% සිට 18% දක්වා වැඩි වන බවයි වාර්තා වන්නේ.

ප්ලේන්ට්, කිරි තේ ඇතුළු කෙටි ආහාර ද්‍රව්‍ය කිහිපයක හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරිතේ මිල රුපියල් 10 කින්, කෙටි ආහාර රුපියල් 10 කින් මිල වැඩි කර තිබෙනවා.

සමස්ත ලංකා ආපන ශාලා හා අවහන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ, එසේම ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති බවයි.

ත්‍රිරෝද රථ ගාස්තු ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, 2 වන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමා ඇති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මීට අමතරව බස් ගාස්තු සහ පාසල් වෑන් රථ ගාස්තුද ඉහළ යාමට නියමිතයි.

leave a reply