බුකර් සම්මානය අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච්ට හිමිවෙයි

සුප්‍රකට බුකර් සම්මානය මෙවර හිමිවූයේ අයර්ලන්ත ලේඛක පෝල් ලින්ච් ගේ Prophet Song නම් නවකතාවට යි.

ඊයේ (26 ඉරිදා) රාත්‍රියේ ලන්ඩනයේ දී පැවැති උත්කර්ෂවත් සම්මාන උළෙලේ දී, අවසන් වටයට තේරුණු පොත් 6 අතුරින් සම්මානිත කෘතිය ලෙස තෝරාගැනුණු මෙම කෘතියට සම්මානය සමග මුදලින් පවුම් 50,000ක් හිමිවිය.

අයර්ලන්තය ඒකාධිපතිවාදය සහ යුද්ධය කරා ඇදීයන පසුබිමක සිය පවුල ආරක්ෂා කර ගැනීම උදෙසා කාන්තාවක විසින් කරනු ලබන අරගලය ගැන කියැවෙන Prophet Song බුකර් විනිශ්චය මණ්ඩලය විසින් හඳුන්වන ලද්දේ “අපගේ වර්තමාන මොහොතේ සමාජ හා දේශපාලන කනස්සල්ල ග්‍රහණය කර ගන්නා” “ආත්මය කම්පාකරවන සුළු සහ සැබෑ” නවකතාවක් ලෙසිනි.

ලින්ච්ට සම්මානය පිරිනැමීමට ගත් තීරණය “ඒකාබද්ධ තීරණයක්” නොවූ බවත්, “පැය හයක් පමණ සාකච්ඡා කිරීමෙන්” හා “ඡන්ද වට ගණනාවකින්” අනතුරුව එළැඹි තීරණයක් බවත් විනිශ්චය මණ්ඩල සභාපති එසී එඩුගියන් (Esi Edugyan) පැවසීය. එඩුගියන් යනු බුකර් ත්‍යාගය සඳහා දෙවරක් කෙටි ලැයිස්තු ගතවූ කැනේඩියානු නවකතාකරුවෙකි.

අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට් පාලනයක් කරා පිරිහෙලී යන මනඃකල්පිත පසුබිමක අයර්ලන්තයේ ඩබ්ලින් නගරය පිහිටුවන Prophet Song, ‘බටහිර සමාජවල එවැනි තත්ත්වයක් ඇතිවිය නොහැකිය’ යන උදාසීන කල්පනාව බිඳදමන ප්‍රබල කෘතියක් ලෙස විචාරක අවධානය දිනාගන්නා ලද්දකි.
මේ නවකතාව ලිවීමට තමන්ට නිර්මාණාවේශය සැපයූවේ සිරියානු යුද්ධය හා සරණාගත අර්බුදය විසින් බව පෝල් ලින්ච් (Paul Lynch) පැවසීය.
46වැනි වියේ පසුවන අයර්ලන්ත ජාතික ලින්ච් ගේ පස්වැනි නවකතාව වන Prophet Song අවසන් කිරීම සඳහා ඔහුට වසර 4ක කාලයක් ගතවී ඇත.
ජාත්‍යන්තර සාහිත්‍ය සම්මාන අතර ප්‍රමුඛතම සම්මානයක් ලෙස පිළිගැනෙන බුකර් සම්මානය, පසුගිය වසරේ හිමිවූයේ ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක ගේ The Seven Moons of Maali Almeida නම් කෘතියට යි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...