Breaking News

මධ්‍යම අධිවේගී මාර්ගයෙන් නිවාස හානිවූ ජනතාව තොරතුරු කොමිසමට ඇතුළුවීම වළක්වලා

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී නිවාස 400කට අධික ප්‍රමාණයකට සිදු වූ හානි සම්බන්දයෙන් සිදු කරන ලද අභියාචනා විභාගයකට සහභාගී වීමට කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි වින්දිත ජනතාව තොරතුරු කොමිසම පිහිටි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වීම පොලිසිය විසින් වළක්වා තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිරිකිරීම් කටයුතුවලදී නිවාස 400කට අධික ප්‍රමාණයකට සිදු වූ හානි සම්බන්ධයෙන් කළ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනා විභාගයක් ඊයේ (15) තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

පොලිසිය විසින් එහිදී එම ජනතාවට දැනුම් දී ඇත්තේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ උපදෙස් මත ඔවුන් එම පරිශ්‍රයට ඇතුළත් වීම වළකනු ලැබූ බවයි.

එහිදී, මෙම තීරණයට ජනතාව දැඩි විරෝධයක් දැක්වූ අතර, වින්දිත ජනතාව වෙනුවෙන් අදහස් දක්වමින් සංජීව කුලතිලක පැවසුවේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය ආරක්ෂා කිරීමට සිටින තොරතුරු කොමිසමේ මෙම හැසිරීම අතිශය කණගාටුදායක බවයි.

එසේම මෙම තීරණයට එරෙහිව උපරිම පියවර ගන්නා බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

මේ අතර, අදාළ තීරණයට විරෝධය දැක්වීමෙන් පසු, තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව එම ජනතාව සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට සාමකාමී විරෝධතාවකද නිරත වුණා.

මෙම තීරණයට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් පොලිසියට පැමිණිලි කිරීමටද ගොස් තිබුණා.

කෙසේවෙතත්, එම අවස්ථාවට හදිසියේ පැමිණි තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ නීති නිලධාරිනිය ප්‍රමුඛ නීති අංශයේ පිරිසක් BMICH පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේදී අවධාරණය කළේ කොමිෂන් සභාව මගින් ජනතාව වැළැක්වීමේ කිසිදු උපදෙසක් පොලිසියට ලබානොදුන් බවයි.

නමුත්, එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහු වෙත යොමුකරන ලද ලිපියක් පෙන්වීමට කටයුතු කර තිබුණා.

එහෙත් කොමිෂන් සභාවේ නීති නිලධාරිනිය දිගින් දිගටම පැවසුවේ එවැනි උපදෙසක් කොමිෂන් සභාව පාර්ශ්වයෙන් ලබානොදුන් බවයි.

 

leave a reply