Breaking News

නීති ශිෂ්‍යයෙකුට පහරදුන් පෑලියගොඩ පොලීසියේ නිළධාරීන් පිරිසකගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී නීති සිසුවෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු ගේ සේවය අත්හිටුවීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

මේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

පොලිසිය විසින් රඳවාගෙන සිටි සැකකරුවෙකුට ආහාර පාර්සලයක් රැගෙන පැමිණි නීති සිසුවෙකුට පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පහරදී දරුණු ලෙස තුවාල කර ඇතැයි වාර්තා විය.

සැකකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට එරෙහිව කෲරත්වය මුදාහැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉහළ අපකීර්තියක් උසුළන මේ පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

මිගාර ගුණරත්නට පහරදීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවෙහි සඳහන් කළ විස්තරය පහතින් දැක්වේ.

නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්න ට පෑලියගොඩ පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී බරපතල ලෙස පහරදී තුවාල සිදු කර ඇත.
සිය ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ සේවාදායකයෙකු වෙත කෑම පාර්සලයක් රැගෙන ගිය අවස්ථාවේ දී පෑලියගොඩ පොලීසියේ ලින්ටන් සිල්වා සහ තවත් පොලිස් නිලධාරින් 10 දෙනෙකු විසින් පොළු සහ අතින් පයින් මෙම පහරදීම සිදු කර ඇත.

පෙබරවාරි 23 දින නීතිඥ චරිත ගුණරත්න මහතා සිය සේවාදායකයෙකු අත්අඩංගුව ගැනීමෙන් පසුව පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇත. එහි දී ලින්ටන් සිල්වා යන පොලිස් නිලධාරියා සිවිල් ඇදුමෙන් සහ සෙරෙප්පු දෙකක් දමාගෙන සේවාදායකයාට තර්ජනය කර ඇත. මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට පත්වී තිබූණි. ‘‘අනෙක් සැකකාරයොන්ට චෝදනා ගොඩක් තියෙනවා. ඒ සිද්ධියකට සම්බන්ධ කරලා තමුසේත් ඇතුලට දානවා යැයි‘‘ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා මෙහි දී පොලිස් නිලධාරියාට සිය විරෝධය පළ කර ඇත.

සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයාට ‘සාජන්‘ යැයි නීතිඥ චරිත ගුණරත්න විසින් අමතා ඇත. පසුව අනාවරණය වී ඇත්තේ ඔහු CI ලින්ටන් සිල්වා බවයි. ලින්ටන් සිල්වා විසින් නීතිඥ චරිත ගුණරත්නට බැන වැදුණු බවත් ඔහුගේ නීතිඥ හැඳුණුම්පත රැගෙන එහි විස්තර සිය සටහන් පොතෝ සටහන් කර ගත් බවත් නීතිඥවරයා පවසයි.

මෙම සිද්ධියෙන් දින දෙකකට පසුව පෙබරවාරි 25 දින චරිත ගුණරත්න නිතිඥවරයා ගේ උපදෙස් මත ඔහුගේ රුවට බොහෝ සමානකම් ඇති ඔහුගේ සහෝදරයා වූ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න සැකකරුට ආහාර පැකට්ටුවක් රැගෙන පොලීසියට ගොස් ඇත. එහි දී පොලිස් නිලධාරීන් මිගාර ගුණත්නට ‘මෙතන ප්‍රශ්න ඇතිකළේ තමුසේ නේදැයි‘‘ යි අසා පහර දී ඇත. කෙසේ නමුත්, පහරදෙන අතර මිගාර ගුණරත්න යනු හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුතා බව කිසිවෙකු විසින් පොලීසියට පවසා ඇත. ඒ සමඟම පොලිස් නිලධාරීන් මොහු අංක එන්ඊ 0825 දරණ පොලිස් ජීප් රථයෙන් රැගෙන ගොස් නැවත පහර දී ඇත.

සිද්ධිය සමතයකට පත් නොවන්නේ නම් රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය මිගාර ගුණරත්නට තර්ජනය කර ඇත. බරපතල තුවාල සහිතව රාගම රෝහළ වෙත ඇතුළත් කළ මිගාර ගුණරත්න ට ටිකට් කපා රෝහලෙන් පිට කිරීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ඒ සමඟම, තුවාලකරුගෝ තත්වය පිළිබඳවත් පොලීසියේ බලපෑම පිළිබඳවත් වෛද්‍යවරුන් විසින් සටහන් තබා ඇත.

පොලීසියක් තුල සිදුවන පහරදීම්, පොලිස් නිලධාරින් විසින් සිදු කරන පහරදීම් බොහෝමයක් අවසන් වන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ වෙනත් අපරාධ චෝදනාවක් සැකකරුවන්ට එරෙහිව ගොනු කිරීමෙනි. නීතිඥයින්ට තර්ජනය කිරීම හා පහරදීම දක්වාම තත්වය වර්ධනය වීම මිලේච්ඡ තත්වයකි.

සැකකරුවෙකුට තර්ජනය කිරීම පිළිබඳව පොලීසියට විරෝධය පළ කළ නීතිඥ චරිත ගුණරත්න යැයි වරදවා වටහා ගෙන අවසන් වසරේ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදී ම සිදුව ඇතැයි පෑලියගොඩ පොලිස් නිලධාරියෙකු මා සමඟ පැවසීය. (දෙදෙනාම රූපයෙන් බොහෝ සෙයින් සමානය)

ගුනරත්න ට සිදු කළ පහරදීම් හේතුවෙන් රෝහල් ගත කර ඇති මිගාර ගුණරත්න ගේ ඡායාරූප මේ සමඟ අමුණා ඇත.

Note – නීතිඥ චරිත ගුණරත්න හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගේ වැඩිමහල් පුත්‍රයා ය. ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් සභාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ ද සාමාජිකයෙකි. චරිත යැයි වරදවා වටහාගෙන පොලිස් නිලධාරීන් (ඔහු නීතිඥයෙකු බව හොදින් දැන) ප්‍රහාරය එල්ල කර ඇත්තේ රූපයෙන් ඔහු හා සමාන සහෝදරයා වන මිගාර ගුණරත්න වෙත ය. මිගාර ගුණරත්න නීති විදුහලේ අවසන් වසර සිසුවෙකි.

  • රජිත් කීර්ති තෙන්නකෝන්

 

 

leave a reply