Breaking News

ස වෙත ආදරයෙන් ලියමි

දයාබර ස වෙත,
ස කියන්නෙ නම් සහතික ඇත්ත. අපි තමයි මේ වසංගතය පැතිරෙන එකට වගකියන්න ඕනා. මුලින් වාරෙ අපි තමයි අපේ රට වසංගතය පාලනය කිරීමෙන් ලෝකෙන් අංක 02 කියා කියා පුරසාරම් කියා කිය හිටියෙ. සමාජෙ කොරෝනා නැහැ කියලා අහඹු PCR කරන එක නැවැත්තුවේ. බ්‍රැන්ඩික්ස් ගාමන්ට් එකේ කොරෝනා පැතිරෙන කොට මිනුවන්ගොඩ සංචරණ සීමා පනවන එක පමා කළේ අපි. ඊට පස්සේ අපේ යාළු වැඩපොළවලවල ලොකු මහත්තරුන්ගේ ඉල්ලීමට බ්‍රැන්ඩික්ස් එක විතරක් වහලා කටුනායක අනිත් ගාමන්ට් අරින්න කිව්වෙත් අපි. වැඩනොකර අපිට නිකම් ඉන්නකොට කන්න දෙන්න ඒ මහත්තුරුන්ට වත්කමක් නෑ කියලා අපි දන්නවා. ගම්පහ දිස්ත්‍රික් සීමා වාහන එක පමා කළෙත් අපි. ගම්පහ ඇරලා තිබුණ එකෙන් වුණේ පෑලියගොඩ මාළු මාර්කට් එකට මේක බෝවෙලා වෛරස එක රට වටේ ගියා. අපේ වැරැද්ද ස.

ඒ විතරක්ද ස කොළඹ දිස්ත්‍රික්කේ හොඳටම පතිරුනාට පස්සේ තමයි අපි කොළඹ එක එක තැන වහන්න තීරණය කරෙත්. වැඩේ දෙල්වේගෙන එනකොට බස්නාහිර පළාත වහලා දැම්මත් වසංගතය පාලනය කරන්න අපිට වැඩපිළිවෙලක් තිබුනේ නෑ ස. අපිට තිබුණේ අහඹු PCR කරමින් වසංගතය කොච්චර පතිරිලාද කියලා අදහසක් ගන්න. අපිට කොහෙද ස ඕවට වුවමනාවක්. අපි ආණ්ඩුවෙන් හැමදේම කරනකම් බලන් ඉන්න නිකම්මුනේ. ඒ ඔක්කොටම කලින් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය දාන වෙලාවෙ අපි ලොකු වැරද්දක් කරා. අපි ඉස්සෙල්ලා කිව්වේ දවස් 3කට ඇඳිරි නීතිය දානවා කියලා. පස්සෙ සතියකට දික් කරා. අපිට එක හිතක් නෑ ස. මේ ගන්න තීරණේ මේ වෙනස් කරනවා. කොහොම වුනත් ඉතින් අපිට කිරියෙන් පැණියෙන් උතුරන නිසා ගෙදරට මාසෙකට ඕනා කරන බඩු ඔක්කොම ගෙනත් තියාගෙන හිටිය නිසා ප්‍රශ්නයක් වුනේම නැහැ.

අපි තමයි තීරණය කලේ අලුතෙන් PCR යන්ත්‍ර ගන්න ඕනා නෑ කියලා. මෙහෙ තියෙන PCR යන්ත්‍රය කැඩුන වෙලාවේ අපි සති ගණන් පහු කරලා චීනෙන් ගෙනල්ලා හරි ඒක හදාගත්තානේ. ඔය හැම ඉස්පිරිතලේකටම මොකටද PCR. අඩුම ගානෙ කොළඹ ජාතික රෝහලටවත් PCR ඕනා නෑ කියලා තීරණය කරේ අපි. ඇයි වෙන්ටිලේටර්ස්, ICU ඇඳන් වගේ ඒවා වැඩිකරන එකේ තේරුමක් නෑ කියලා තීරණය කරෙත් අපි. කොටින්ම මේ අවුරුද්දට ගිය අවුරුද්දට වඩා සෞඛ්‍යට බිලියන 20ක් අඩුවෙන් සල්ලි වියදම් කරන්න කියලා යෝජනා කරෙත් අපි. නිකම් සල්ලි නාස්ති කරන්න ඕනා නෑ ස.

අන්තිමට අපිම තීරණය කරා අපේ ආර්ථිකය පවත්වාගෙන යන්න ඕනා කියලා, ඇඳිරි නීතිය අයින් කරන්න. ඉතින් අපි කෙළින්ම හමුදාපති උත්තමයට උපදෙස් දුන්නා වහාම ඇඳිරි නීතිය ඉවත් කරන්න, අපිට ආර්ථිකේ පවත්වාගෙන යන්න ඕනා කියලා. එතුමා අපිට කන් දුන්නා. මොන එක්සිට් ප්ලෑන් ද ස. ඕවා අපිට වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කෑවා. වසංගතයක් කියලා අපිට නිකම් ඉන්නකොට සල්ලි දෙන්න ආණ්ඩුවට පිස්සුද. අපිට ඔය දොස්තරලා එක එක විශේෂඥයෝ රට අරින එක අවදානම් කියලා කියන කතා ගණන් ගන්න බැහැ. අපිට කරන්නෙ අපිට ඕනා දේ.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අර අපි කොවිඩ් අරමුදලට කියලා කොටි 200ක් විතර එකතු කරලා දුන්නෙ. ඒකනම් හොලවන්න එපා ස. එක එක එවුන් එක එක කුඩු කේඩු කතා කියයි. ස ඕවා ගණන් ගන්න එපා. ඔය අරමුදල් ගැන තීරණය කරන්නෙ අපි. ඒවා වියදම් කරනවද නැද්ද කියලා තීරණය කරන්නෙත් අපි.

අවසානෙට කියන්නෙ අපි ඔක්කොම වැරැද්ද බාරගන්නවා ස. කොරෝනා පැතිරෙන්න සම්පූර්ණයෙන් වගකියන්න ඕනා අපි. අපි පුළුවන් විදිහට වසන්ගතෙන් බේරෙන්නම් ස. අපි හම්බකරොත් අපි කෑවා. ස ඕවා ගැන හිතලා හිත කරදරකරගන්න ඕනා නෑ. අපි ස ව පත්කළේ රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. අපේ රටට එරෙහි විජාතික බලවේග මැඩ පවත්වන්න. ඒක කරන්න ස. අනිත් ඒවා ගැන හිතන්න ඕනා නෑ.

මිට,
සාමාන්‍ය ජනතාව

leave a reply