Breaking News

ජන අරගල සන්ධානයෙන් ඊශ්‍රායල ජන සංහාරය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් !

ජන අරගල සන්ධානය ඊයේ (24) , “ඊශ්‍රායලය, ජන සංහාරය නවත්වනු ! පලස්තීනයට නිදහස් දෙනු ! එක්සත් ජනපද අනුග්‍රහය ලත්, මැදපෙරදිග අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය නවත්වනු !” යන සිරස්තලය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර මැදපෙරදිග මේ වන විට ඇති වී පවතින තත්ත්වය සම්බන්ධයෙන් හා ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඒ හරහා අදහස් පළ කර තිබුණා.

ඒ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේ ය‍.

“මැදපෙරදිග ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ ඔවුන්ගේ නවතම උත්සාහය ලෙසත් ඊශ්‍රායලය සහ ඉරානය අතර ආතතීන් තවදුරටත් උත්සන්න කරවීමක් ලෙසත් ඉරානයට එල්ල කරන ඇමරිකානු ප්‍රහාර අපි හෙළා දකිමු. දින 11 කට පෙර, ඉරාන පාර්ශ්වයෙන් කිසිදු ප්‍රකෝප ගැන්වීමක් නැතිවම, ජාත්‍යන්තර නීතිය සෘජු ලෙසම උල්ලංඝනය කරමින් ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරය ද අපි හෙළා දකිමු. ඉරාකය, ලිබියාව සහ සිරියාව බිඳවැටීමට දායක වූ එක්සත් ජනපදය, මැදපෙරදිග ඉතිරිව ඇති අවසාන ප්‍රධාන ස්වෛරී රට ලෙස ඉරානය කෙරෙහි දිගු කලක් තිස්සේ අවධානය යොමු කර සිටියේය. ඉරානය සතුව න්‍යෂ්ටික අවි ඇති බව ප්‍රකාශ කිරීමෙන් එක්සත් ජනපදය නැවත වරක් තමන්ගේම කුප්‍රකට නාට්‍ය රඟ දක්වමින් තිබේ. එසේම, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද පසුගිය වසර 20ක කාලය තුළ ඉරානයේ න්‍යෂ්ටික ධාරිතාව ගැන ‘කිඹුල් කඳුළු හෙළමින්’ සිටියේය.

ඊශ්‍රායලය විසින් ඉරානයට සහ ගාසා තීරයට කළ පහරදීම්වලට ස්ථිරසාර නොවූ සහ බිඳෙනසුළු ‘සටන් විරාමයක්‘ දී ඇති වත්මන් සන්දර්භය තුළ ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් වන චීනය, රුසියාව සහ උතුරු කොරියාව එක් පැත්තකින් ඉරානය සමඟ සන්ධානගත වීමටත්, අනෙක් පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් ඊශ්‍රායලය සමඟ සන්ධානගත වීමටත් ඉඩ ඇති බැවින්, ලෝක යුද්ධයක සැබෑ තර්ජනයට අපි මුහුණ දී සිටිමු. ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කිසිදු යුද්ධයකින් වැඩකරන පන්තියේ ජනතාවට ප්‍රතිලාභ ලැබී නොමැති බැවින්, ලොව පුරා වාමාංශිකයන් ශක්තිමත් යුද විරෝධී ස්ථාවරයක් ගැනීම අත්‍යවශ්‍ය වේ. සූරාකෑමට ලක්වන්නේ සහ ඕනෑම යුද්ධයක බර දරා ගැනීමට සිදු වන්නේ ලෝකයේ වැඩකරන ජනතාවටයි.

ලෝකයේ දෙවන වැඩිම න්‍යෂ්ටික අවි සංඛ්‍යාව (5200+) ඇති සහ පරමාණු බෝම්බ දෙකක් පුපුරුවා විනාශයක් සිදුකළ අමෙරිකා එක්සත් ජනපදය, මැද පෙරදිග රටවලට ‘න්‍යෂ්ටික අවි’ සහ/හෝ ‘සමූල ඝාතක අවි’ සතුව ඇති බවට චෝදනා කිරීම මූලික වීම උත්ප්‍රාසාත්මකය. 2023 ඔක්තෝබර් 07 වන දින සිට ඊශ්‍රායල රජය විසින් ළමුන් 18,000+ ක් ද ඇතුළුව පලස්තීනුවන් 55,000 කට වැඩි පිරිසක් ඝාතනය කර තිබීම, හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරයේදී ක්ෂණිකව මියගිය පුද්ගලයන් සංඛ්‍යාවට (66,000) වඩා අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ. එසේම එය, නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් ක්ෂණිකව මියගිය සංඛ්‍යාවට (39,000) වඩා වැඩි ය. පසුගිය දින 626 තුළ ඉරානයේ න්‍යෂ්ටික අවි ගැන G7 රටවල් “සැලකිලිමත්” වුවද, පලස්තීනයේ මරණ සංඛ්‍යාව, එදා එක්සත් ජනපදය විසින් පුපුරුවා හරින ලද පරමාණු බෝම්බ දෙක නිසා ඇති වූ ක්ෂණික ඝාතන සංඛ්‍යාවට සමාන ය.

පසුගියදා ඉරානයට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාරවලින් පසුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘න්‍යෂ්ටික බල ස්ථාන’ තුනක් “සාර්ථකව” “මකා දැමීම” ගැන පුරසාරම් දොඩමින්, “ශ්‍රේෂ්ඨ ඇමරිකානු රණශූරයන්ට” සුබ පතමින්, පසුව “දැන් සාමය සඳහා කාලයයි!” යනුවෙන් ප්‍රකාශ කරයි. ලෝකයේ කිසිදු රටක් න්‍යෂ්ටික අවි සතුව නොතිබිය යුතු බවට අපගේ මතයයි. එසේම, ගෝලීය දේශපාලන න්‍යාය පත්‍ර සැකසීමක් හෝ ලෝකයේ සෙසු රටවලට යුද නියමයන් සහ කොන්දේසි නියම කිරීමක් අපි ඇමරිකා එක්සත් ජනපදය අපේක්ෂා නොකරමු.

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන සන්ධානයක් ලෙස, අපි පලස්තීන රාජ්‍යය පිළිගනිමු, නිසැකවම පලස්තීනයේ ජනතාවගේ පැත්තේ සිට ගනිමු. එසේම පලස්තීනයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය නැවැත්වීමටත්, ඊශ්‍රායල ආක්‍රමණය සහ ගාසා අත්පත් කරගැනීම අවසන් කිරීමටත් සහ ජන සංහාරය නැවැත්වීමටත් කෙරෙන පලස්තීනයේ ජනතාවගේ ඉල්ලා සිටීම් යළි යළිත් අවධාරණය කරමු.

අප, ඊශ්‍රායල රජයේ පීඩාකාරී, ජන සංහාරක ක්‍රියාවන්ට එරෙහිවන අතරම, සජීවිව විකාශනය කෙරෙන පලස්තීන ජනතාවගේ සංහාරයට අරමුදල් සැපයීම, සන්නද්ධ කිරීම සහ ඔල්වරසන් දීම සඳහා ඔවුන්ගේ හවුල්කාරිත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, ජර්මනිය, ප්‍රංශය සහ කැනඩාව වැනි අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහිව ද හඬ නගමු! ගාසා සහ නිදහස් පලස්තීන විරෝධතා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල බිහිරි නිහඬතාව බියජනක වනවා පමණක් නොව, නිශ්චිතවම එය මාධ්‍ය නිදහස සහ වගවීම උල්ලංඝනය කිරීමකි.

ශ්‍රී ලංකා රජය ඉතිහාසය පුරාම පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇති අතර, ඊශ්‍රායල බලහත්කාරී අත්පත් කරගැනීම් අවසන් කිරීමට, ඊශ්‍රායලය සන්නද්ධ කිරීම නැවැත්වීමට සහ පලස්තීනය නිදහස් කිරීමට කළ ඉල්ලීම් නැවත අවධාරණය කර ඇත. පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ (SLCSP) සම-සභාපති ධුරය දරන වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්, තවමත් පලස්තීනය සම්බන්ධයෙන් නිශ්චිත, අධිරාජ්‍ය විරෝධී ස්ථාවරයක් ප්‍රකාශ කර නොමැත. ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය සමග ඇති සබඳතා පවත්වා ගනිමින් පලස්තීනය සමඟ සහයෝගීතාවයෙන් සිටීමේ සමබරතාවක් ආරක්ෂා කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව පෙනේ. මෙය කිසිසේත්ම අඛණ්ඩ ජන සංහාරයක් හමුවේ ශ්‍රී ලංකා රාජ්‍යය දැරිය යුතු දේශපාලන ස්ථාවරයක් නොවේ.

එබැවින්, අපි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට මෙසේ අවධාරනය කර සිටිමු;

● නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින ප්‍රදේශවල හෝ තුවාල වීමට හෝ මරණයට පත්වීමේ සෘජු අනතුරකට ලක්විය හැකි ස්ථානවල සේවය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සිදු නොවන බවක් සහතික කිරීමට කිසිදු පියවරක් නොමැති බැවින් අපගේ පුරවැසියන් ඊශ්‍රායලයේ සේවයට යැවීම නවත්වන්න.

● දිවයිනේ දකුණු සහ නැගෙනහිර වෙරළබඩ කලාපවල සහ රටේ අනෙකුත් සංචාරක ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති නීති විරෝධී ලෙස පිහිටුවා ඇති සියලුම ඊශ්‍රායලය සතු ව්‍යාපාර සහ චබාද් නිවාස ඉවත් කිරීමට වහාම පියවර ගන්න.

● රට පුරා චබාද් නිවාසවලට මහජන අරමුදලින් පොලිස් ආරක්ෂාව සැපයීම නවත්වන්න. ඔවුන්ට ආරක්ෂාව අවශ්‍ය නම්, පෞද්ගලික ආරක්ෂක සේවාවන්ගෙන් සේවකයන් බඳවා ගැනීමට ඔවුන්ට නිදහස තිබේ.

● විශේෂයෙන්ම ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා IDF සොල්දාදුවන් ඉලක්ක කරගත් “පසුබැසීම් පැකේජ” ලබා දීම නවත්වන ලෙස සියලුම සංචාරක ක්‍රියාකරුවන්ට සහ කුඩා පරිමාණ ආගන්තුක නිවාස හිමියන්ට, උපදෙස් දෙන්න. IDF සොල්දාදුවන්ට මෙහි රැඳී සිටින කාලය තුළ රැකියා අවස්ථා ලබා නොදීමට ද උපදෙස් දෙන්න.

● ඊශ්‍රායල සංචාරකයන් බොහෝ දෙනෙක් වසර ගණනාවක් වීසා කාලය ඉල්මවා නීති විරෝධී ලෙස රැඳී සිටිමින් නීති විරෝධී ලෙස ව්‍යාපාර සහ චබාද් නිවාස පිහිටුවා ඇති බැවින් ඔවුන්ට දැඩි වීසා කොන්දේසි පැනවීම සහ නියාමනය කිරීම,.

● ශ්‍රී ලංකාව ලොව පුරා ‘සර්ෆ්’ ක්‍රීඩකයන් ආකර්ෂණය කර ගන්නා ජනප්‍රිය ‘සර්ෆ් ගමනාන්තයක්’ වන බැවින්, විශේෂයෙන් සර්ෆ් ප්‍රජාව තුළ, දේශීය සහ අනෙකුත් විදේශීය ප්‍රජාවන් කෙරෙහි ආක්‍රමණශීලී සහ ජාතිවාදී හැසිරීම් පෙන්නුම් කළ ඊශ්‍රායල සොල්දාදුවන්ට සහ සංචාරකයන්ට එරෙහිව දැඩි පියවර ගන්න.

● ඊශ්‍රායල ව්‍යාපාර හිමිකරුවන් සහ සංචාරකයන් විසින් සියොන්වාදී ප්‍රචාරණය සඳහා කොඩි, පෝස්ටර්, පත්‍රිකා, ඇඳුම් ආදිය (රාජකාරියේ යෙදී සිටින IDF සොල්දාදුවන්ගේ නිරූපණයන් ඇතුළුව) පොදු ස්ථානවල බෙදා හැරීම වහාම නතර කරන්න.

තවද අපගේ පහත ඉල්ලීම් සමග එක්ව හඬ නගන ලෙස ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවට අවධාරණය කර සිටිමු;

● ඇමරිකා එක්සත් ජනපදය මැද පෙරදිග යුද්ධය නවතනු!
● පලස්තීන රාජ්‍යය පිළිගනු!
● ගාසා තීරයේ ඊශ්‍රායල අත්පත් කරගැනීම් සහ ජන සංහාරය අවසන් කරනු!
● ඊශ්‍රායලය සන්නද්ධ කිරීම නවත්වන්න!
● න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් කරා ගමන් කිරීමේ අරමුණින්, න්‍යෂ්ටික අවි ප්‍රගුණනය වැළැක්වීමේ ගිවිසුමට අත්සන් කරන ලෙස න්‍යෂ්ටික අවි ඇති සියලුම රටවලින් ඉල්ලා සිටිනු!
● ඉරාන රජයේ මර්දනය නිසා පීඩාවට පත් වූ, විශේෂයෙන් කාන්තාවන් ඇතුළු සියලුම ජනතාව සමඟ, මර්දනකාරී ඉරාන තන්ත්‍රයට එරෙහිව අඛණ්ඩ ප්‍රතිරෝධයේදී නැගී සිටින අතරම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහි සටනේදී දේශපාලන විරුද්ධවාදීන් සමඟ සහයෝගීතාවයෙන් නැගී සිටින්න.”

(උපුටා ගැනීම අවසන්)

ඒ අනුව වැඩිදුරටත් එම සන්ධානය සඳහන් කර තිබුණේ එම මාධ්‍ය නිවේදනය අන්තර්ගත ලිපියේ පිටපත්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය, ඉරාන ඉස්ලාමීය ජනරජයේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය, කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කාර්යාලය, කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය, කොළඹ ජර්මානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය, ඉතාලියේ කොළඹ තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය වෙත යැවූ බවයි.

leave a reply