Breaking News

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාල පරීක්ෂණ කඩිනම් කරන්න

සී.ඩී. වික්‍රමරත්න මහතා, 2023.01.30
පොලිස්පතිතුමා,
පොලිස් දෙපාර්තමේන්තුව,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

පොලිස්පතිතුමනි,

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාල පරීක්ෂණ කඩිනම් කිරීම.

මරණීය තර්ජනයට ලක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට කඩිනමින් ආරක්ෂාව ලබාදීමට ක්‍රියාකිරීම පිළිබඳව පළමුව අපගේ ස්තූතිය පිරිනමමු.

එහෙත් මේ වන විට මෙම සිදුවීම් සිදු වී දින 12 කට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි. එය මේ වන විට තර්ජනය කරන පුද්ගලයාගේ උපහාසයටද ලක් වී ඇත. මෙම තර්ජනය කරන පුද්ගලයා විදේශයක සිට එය සිදු කළද ඔහුට අවශ්‍ය සහය ශ්‍රී ලංකාව තුළදී ලැබෙන බව පැහැදිලිය. සමහර කොමසාරිස්වරුන්ගේ නිවාස වාහන ඡායාරූපගත කර (WhatsAPP) තාක්ෂණය ඔස්සේ ඔවුන් වෙත යොමුකර ඇත. එමෙන්ම එය අවස්ථා කිහිපයකදී සිදුව ඇති බව පෙනේ. මෙම දුරකථන සම්බන්ධතාවය සඳහා ගෙවීම් කර ඇති ආකාරය විමර්ශන කිරීමෙන්ද යම් තොරතුරු සොයා ගැනීමට හැකි වනු ඇත.

ඔබතුමන් යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පොලිසිය දක්ෂ අපරාධ පරීක්ෂකයන්ගෙන් සමන්විතය. එමෙන්ම ඉතා දියුණු තාක්ෂණ උපකරණ භාවිතා කරන යුගයක අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම ප්‍රමාද වීම හරහා එය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනයක් වන අතර ඔවුන්ගේ කටයුතු නිදහසේ කරගෙන යාමට බාධාවක් වනු ඇත. ආණ්ඩුව මැතිවරණ නොපැවැත්වීමට උත්සහා දරන තත්ත්වයක් නිරීක්ෂණය වන වටපිටාවක මෙම පරීක්ෂණ ප්‍රමාද වීම ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමට හේතුවක් වනු ඇති අතර අපරාධ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව කීර්තිනාමයක් දිනාගත් විමර්ශන නිලධාරීන් බහුතරයක් සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානයටද හානියකි.

එබැවින් අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර අදාල පරීක්ෂණ කඩිනමින් සිදු කරන ලෙසයි.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

leave a reply