Breaking News

පුංචි ඡන්දය අද නමෙයි හෙට

ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නිමල් ජී. පුංචිහේවා ‘නෙත් නිවුස්’ කළ විමසීමකදී පැවසුවේ මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදුකිරීමට අවම වශයෙන් එම මුදල අවශ්‍ය වන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 1,100කි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මැතිවරණ කොමිසම විසින් මීට පෙර ලිපියක් යොමුකර තිබිණ.

එම ඉල්ලීම ඇතුලත් ලිපිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇත. ඒ පිළිබඳව ද අමාත්‍යංශ ලේකම්වරයා විසින් තමන්ව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසිය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයත් ප්‍රමාදයි

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

මේ දක්වා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බව ඇය සඳහන් කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ විසින් මේ වන විටත් සිදුකර ඇති මුලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදල් ගෙවිය යුතුව පවතිනවා.

නමුත් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 08 වනදා රජයේ මුද්‍රණාලය විසින් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දෙමින් කියා තිබුණේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 500කට අධික මුදලක් වැය වන බවයි.

නමුත් අදාළ දැනුම් දීම සම්බන්ධයෙන් මේ දක්වා මුදල් අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මුද්‍රණලායාධිපතිනිය සඳහන් කරයි.

මේ නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ලැබී නොමැති අතර මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම ලෙස රුපියල් මිලියන 200ක මුදලක් රජයේ මුද්‍රණාලය වෙත ලැබිය යුතු බවද මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එම තත්ත්වය මත ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණද ලබන 20 වන දිනට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට හැකියාවක් නොමැති බවයි.

අයවැය මඟින් මැතිවරණයට මුදල් වෙන් කර තිබුණද, අධිකරණ තීන්දුවක් ලබා දුන්නද, මැතිවරණයට ලබා දීමට ආණ්ඩුවට මුදල් නොමැති නම් මුදල් ලබා දෙන්නේ කෙසේදැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් පවසා තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපෑමක් ද ?

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත මාර්තු 03 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම ද වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නම් කර තිබූ නීතිපතිවරයා වෙත මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය දෙනු ලැබීය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල මැයි මස 26 වැනිදා පෙත්සම් විභාගය සිදුකරන බවත් නියෝග කර ඇත.

මේ අතර ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එකිනෙක අභිභවා කටයුතු කළහොත් බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වන බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කළේය.

leave a reply