හමුදා උසස්වීම් වලට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්
ගජබා රෙජිමේන්තුවෙන් හමුදාපති පත්වීමේ සැලසුමට කුමක්වේද?
සාමාන්‍ය පිළි ගැනීම වන්නේ යුද, නාවික හා ගුවන් යන හමුදා සාමාජිකයින්ට රටේ අනෙකුත් සේවකයින්ට මෙන් සේවක අයිතිවාසිකම් නොමැති බවය. ඔවුන් රජයේ සේවකයින් වුවද මාරු කිරීම්, උසස් කිරීම්, සේවය අත්හිටුවීම් , සේවයෙන් ඉවත් කිරීම් ආදිය ගැන රාජ්‍ය සේවා කොමිසමට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණිලි කරන අයුරක් දැක ගන්නට නැත. පොලීසිය සම්බන්ධයෙන් ගත් කළ එය වෙනස්ය. එය නමින්ම පොලිස් දෙපාර්තමේන්තුවය. ආයුද සමඟ කටයුතු කළද සිවිල් ආයතනයකි. එහි සේවකයින්ට රාජ්‍ය සේවා කොමිසමට මෙන්ම පොලීසියේ කටුයතු සම්බන්ධයෙන්ම පිහිටුවා ඇති පොලිස් කොමිසමට යා හැකිය. එසේ යන අයුරක්ද අප දැක ඇත. එහෙත් හමුදාව වෙනස්ය. උසස් වීම්, මාරු කිරීම්, අත්හිටුවීම් ආදී සේවක අයිතීන් යටතට ගැනෙන දේවල් සම්බන්ධයෙන් යම් අසාධාරණයක් සිදු වූයේ නම් දැනුම් දිය යුතු වන්නේ අභ්‍යන්තරිකවය.
අප මේ කියන්නට යන්නේ තනතුරු උසස් වීමක් සම්බන්ධයෙන් අභ්‍යන්තරයෙන් එළියට ආ යුද හමුදා සාමාජිකයකුගේ පැමිණිල්ලක් ගැනය. පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටය. එසේ පැමිණිලි කර ඇත්තේ බි්‍රගේඩියර් සී රණවීරය. පැමිණිල්ලේ ස්වභාවය වන්නේ මේජර් ජෙනරාල් තනතුරට ඔහුට උසස් වීම් ලබා නොදීමය. පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා හා යුද සේවා ලේකම්ය. එම පැමිණිල්ලෙන් බලාපොරොත්තු වී ඇති සහනයන් වන්නේ මේජර් ජෙනරාල් තනතුරට උසස් වීම හා ඊට අදාල වැටුප් හා දීමනා ලබා ගැනීම, ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වයේ පිහිටුවීම සහ මේජර් ජෙනරාල් තනතුරට අදාල සුදුසු තනතුරක පිහිටුවීම යනාදියයි.
එසේ ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාල ආසන්නතම මානව හිමිකම් උල්ලංගනය වීම සිදුවී ඇත්තේ 2023 පෙබරවාරි 04 වැනිදාය. එම පැමිණිල්ලට අදාල පුද්ගල සාක්ෂි ලෙස මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත්, බි්‍රගේඩියර් ඒසීජේ මානගේ හා විශ්‍රාමික කර්නල් එල්බී තල්ගහගොඩ නම් කර ඇති අතර ලේඛනගත සාක්ෂි ලෙස ඇමුණුම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ 2023.03.13 දින සහිතවය.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 27 වැනිදා මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණයක් පැවැත්වී ඇති අතර එදින යුද හමුදාව වෙනුවෙන් නීතිඥවරයකු පැමිණ තිබුණි. එම පරීක්ෂණ අවස්ථාවේදී මානව හිමිකම් කොමිසමේ මතය වී ඇත්තේ එම නිලධාරියාට උසස් වීම් නොදීමෙන් අසාධාරණයක් සිදුවී ඇති බවයි. කෙසේ වෙතත් එම පරීක්ෂණ අවස්ථාවෙන් පසු යුද හමුදාපතිවරයා විසින් වාර්තාවක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු වන බි්‍රගේඩියර්වරයා සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
ඉන්පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 2023.05.30 දින සහිතව යුද හමුදාපතිවරයාට දැනුම් දීමක් යවමින් සඳහන් කරන්නේ වගඋත්තරකරු වන යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට පැමිණිලිකරු විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ වාර්තාවේ පිටපතක් අමුණා එවන බවත්, එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත හෙයින් ඊට ප්‍රථම වගඋත්තරකරු වෙතින් වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇති බැවින් පැමිණිලි කරුගේ ලිඛිත නිරීක්ෂණ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් 2023.06.15 දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසය.
එහෙත් ඒ සඳහා යුද හමුදාපතිවරයාගෙන් ප්‍රතිචාරයක් නැති තැන යළි 2023.07.14 දින යුද හමුදාපතිවරයා වෙත දැනුම් දීමක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුම් දෙන්නේ 2023.06.15 දිනට පෙර වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දී ඇතත් එම වාර්තාව කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බැවින් එම ලිපිය ලැබී දින 07ක් ඇතුලත කොමිෂන් සභාව වෙත වාර්තාව ලැබීමට සලස්වන ලෙසය.
එහෙත් මෙම සටහන ලියන මොහොත වනවිටත් යුද හමුදාව ඒ සඳහා පිළිතුරු ලබාදී නැති බව අපගේ මානව හිමිකම් කොමිෂන් සභා මූලාශ තහවුරු කරයි. ඉහතින් සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යුද හමුදාවෙන් වාර්තා ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ අවසන් නිගමනය ලබාදීම සඳහාය. ඒ සඳහා යුද හමුදාවේ මෙතෙක් ප්‍රතිචාරය වී ඇත්තේ මඟ හැරීමයි. යුක්ති ගරුක හා නීති ගරුක යැයි කියන යුද හමුදාවකට එය කෙසේවත් ගැලපෙන්නේ නැත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් වූ දුක් ගැනවිල්ල යුද හමුදාපතිවරයා වෙත කිහිප වතාවක්ද, සේනාධිනායක වෙත (ජනාධිපතිවරයා) එක් වතාවක්ද ඉදිරිපත් කර ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. බි්‍රගේඩියර් වරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ ඇති කරුණු අනුව ඔහුට සිදුවී ඇති අසාධාරණය මෙසේ කෙටියෙන් දැක්විය හැකිය.
බි්‍රගේඩියර් සී රණවීර යුද හමුදාවට බැඳී ඇත්තේ 1987.07.20 දිනදීය. ඔහු අවුරුදු 36ක කාලයක් රාජකාරියේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. 1989 වසරේ සිට 2009 වසර දක්වා අඛණ්ඩව අධි ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ නියුතුව සිටි රණවික්‍රම හා රණශූර පදක්කම්වලින් කිහිප වතාවක් පිදුම් ලැබූවෙකි. එමෙන්ම මාණ්ඩලික, පුහුණු හා ක්‍රියාන්විත යන අංශයන් හී විවිධ ශ්‍රේණිවල තනතුරු හොබවා ඇත. බලසේනාධිපතිවරයකු වශයෙන් අවුරුදු 05කට අධික කාලයක් බලසේනා තුනක රාජකාරි කර ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ආරක්ෂාව හා මූල්‍ය උපායක්‍රම පිළිබඳ පශ්චාත් උපාධියක් හා පාකිස්ථාන ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ජාතික ආරක්ෂාව හා යුධෝපාය ක්‍රම පිළිබඳ පශ්චාත් උපාධියක්ද හදාරා ජ්‍යෙෂ්ඨ නිලයකට උසස් වීමට සුදුසුකම් ලබා ඇත.
ඔහු මේජර් ජෙනරාල් නිලයට උසස් වීමට සුදුසුකම් ලබා ඇතත්, ඔහු අයත් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 28 නිලධාරීන්ට 2020 නොවැම්බර් 30 දින සිට උසස් වීම් ලැබුණද ඔහුට උසස් වීම් ලැබී නැත.
ඒ සම්බන්ධයෙන් දුක්ගැනවිල්ල යුද හමුදාපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේදී උසස් වීම අත්හිටුවීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ ‘ නිවාඩු නොමැතිව සේවයට නොපැමිණීම’ යන කරුණයි.
එම හේතු දැක්වීම සඳහා සිය පැහැදිලි කිරීම ඉදිරිපත් කරමින් බි්‍රගේඩියර්වරයා සඳහන් කරන්නේ, 1994 වර්ෂයේ අලිමංඩ ප්‍රදේශයේ රාජකාරි සිදුකරන අතරතුර දින 10 ක නිවාඩුවකින් පසු එම වර්ෂයේ දෙසැම්බර් 25 දින අතරමැදි කඳවුර වෙත වාර්තා කළ බවත්, ඒ බව ඒකකයේ වැඩබලන විධායක අධිකාරි වශයෙන් කටයුතු කළ නිලධාරියාට හා ඔහු අණදුන් 3න් වන බලඇණියේ සී කණ්ඩායමේ සිටි ජෙෂ්ඨතම නිලධාරියාට දැනුම් දුන් බවත්ය. පැවති අයහපත් කාලගුණ තත්වය හා නත්තල් නිවාඩු කාලය නිසා ගුවන් ගමන් සිදු නොවන බැවින් එසේ අතරමැදි කඳවුරේ සිටින බව දැනුම් දුන් බවයි.
එම දෙසැම්බර් 26 දින වව්නියාව ගුවන් හමුදා කඳවුරේ සිට ඔහු සේවය කළ අලිමංකඩ වෙත්තලකේති කඳවුර වෙත ආහාර රැගත් හෙළිකොප්ටර් යානාවක් ගමන් කර ඇතත් එහි කිසිදු මගියකු රැගෙන ගොස් නැති බවත්, ඊට පසුදා එනම් දෙසැම්බර් 27 වැනිදා ඔහු ගුවන් මගින් ගොස් කඳවුරට වාර්තා කළ බවත්ය.
ඉන්පසු සිදුවී ඇත්තේ දෙසැම්බර් 26 සිට 27 දින දක්වා සේවයට වාර්තා නොකිරීම යන හේතුව මත ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර විභාගයක් පැවැත්වීමය. චෝදනාව පිළිනොගන්නා බවත්, නිවැරදිකරු බවත් ඔහු ප්‍රකාශ කර ඇත. එම සිදුවීමෙන් පසු එම චෝදනා පත්‍රය තවදුරටත් ඇති බව ඔහු දැනගෙන ඇත්තේ 2017 වර්ෂයේදී වන අතර ඒ ගැන යුද හමුදාපති වෙත දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු 2018 ජනවාරි 24 දින හමුදා මණ්ඩලයක් වෙත පමුණුවා කරුණු විමසීමෙන් පසු ඔහු නිවැරදිකරු කරමින් සඳහන් කර ඇත්තේ ඔහුගේ ඉදිරි තනතුරු සඳහා එය බලනොපාන බවයි.
එමෙන්ම ඔහුට විරුද්ධව නැඟී ඇති තවත් චෝදනාවක් වන්නේ 1995 වර්ෂයේ දෙසැම්බර් 02 දින සිට 16 දින දක්වා නිවාඩු නොමැතිව සේවයට වාර්තා කිරීමය. ඒ පිළිබඳ පැහැදිලි කරමින් ඔහු සඳහන් කරන්නේ, 1995 ජුලි 05 දින ඔහුගේ දකුණු පාදයේ අස්ථි බිඳීමක් සිදුවූ බවත්, ඒ සඳහා යුද හමුදා රෝහලේ එම අගෝස්තු 04 දින සිට 08 දින දක්වා ප්‍රතිකාර ගත් බවත්, වෛද්‍ය වර්ගීකරණයකටද ඔහු භාජනය කළ බවත්ය. එහෙත් වැඩිදුර ප්‍රතිකාර නොලබා ඔහු ‘රිවිරැස’ ක්‍රියාන්විතයට සහභාගී වූ බවත්, එහිදී නැවතත් ආබාධය උත්සන්න වීම හේතුවෙන් නිවාඩු ලබා ඔහු පාරම්පරික වෙදකුගෙන් ප්‍රතිකාර ලබාගත් බවයි. තවදුරටත් දෙසැම්බර් 02 දින සිට 16 දින දක්වා ප්‍රතිකාර ලබා ගැනීමට ඒකකයේ අණ දෙන නිලධාරියා දැනුවත් කර අවසර ලබාගත් බවයි. එම දෙවන චෝදනාවට අදාලව කරුණු විමසීමෙන් පසු ඒකක අණදෙන නිලධාරි විසින් එම කාලය සඳහා නිවාඩු අනුමත කළ බවත්, වැටුප් හා සලාක දීමනා අහිමි කිරීමක් සිදුකර නොමැති බවත් සඳහන් කරයි.
2019 අගෝස්තු 19 සිට 2020 ජුනි 21 දක්වා පාකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂාව හා යුධෝපාය ක්‍රම පිළිබඳ පාඨමාලාව සඳහා සහභාගී වූ බවත්, ඒ සඳහා තෝරා ගන්නේ මේජර් ජෙනරාල් නිලයට උසස් වීමට සියලු සුදුසුකම් සපුරා ඇති ඉදිරි ප්‍රගමනයක් සහිත නිලධාරීන් පමණක් බවත් ඔහු සඳහන් කරයි. එමෙන්ම එම පාඨමාලාව නිමකොට පැමිණීමෙන් පසු යුද හමුදා මූලස්ථානයේ රණසේවා අධ්‍යක්ෂ ලෙස රාජකාරි කළ බවත්, 2020 අගෝස්තු 20 දින යුද හමුදා මණ්ඩලයක් මගින් පොදු අණදෙන නිලධාරියකු වශයෙන් පත්කිරීමට සුදුසු බවට ඔහුව තෝරාගෙන තිබූ බවත්ය.
2023 පෙබරවාරි 04 දින මේජර් ජෙනරාල් නිලයට නිලධාරීන් 08 දෙනෙකු උසස් කරනු ලැබූ බවත්, එම නිලධාරීන් අතර සිටි බි්‍රගේඩියර් එල්එස් බාලචන්ද්‍රටද නිවාඩු නොමැතිව සේවයට නොපැමිණීම සම්බන්ධයෙන් චෝදනා තිබූ බවත්, ඒ පිළිබඳව ඔහු වරදකරු වී ඇති බවත්, එසේ වුවද එම නිලධාරියාගේ චෝදනා නිශ්ප්‍රභ කර උසස් වීම් ලබාදී ඇති බවත්, එසේම මේජර් ජෙනරාල් නිලයට උසස් වීම් ලබාදී ඇති එල්එස් බාලචන්ද්‍ර යන අය පොදු අණදෙන නිලධාරියකු වශයෙන් තෝරා ගැනීමට ලක්වී නොමැති බවත් බි්‍රගේඩියර් රණවීර සිය පැමිණිල්ලෙන් අවධාරණය කරයි.
මෙම පැමිණිල්ලට අදාල සිදුවීම පසුගිය කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාව දේශපාලණීකරණයට ලක්වීමේ ක්‍රියාදාමයේ එක් පැතිකඩක් බව අපගේ යුද හමුදා මූලාශ ප්‍රකාශ කරයි. අපට පාඨකයින් සමඟ බෙදා ගැනීමට මෙම සිදුවීම වැදගත් වන්නේද ඒ නිසාය. මහින්ද රාජපක්ෂගේ පාලනය ආරම්භ වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු හමුදාවේ එම දේශපාලණිකරණය දැනෙන ලෙස ආරම්භ වූ අතර එය උච්ච අවස්ථාවකට පත් වූයේ යළි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වී, කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමට පත්වී හා ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා ලෙස පත්වීමත් සමඟය.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ගජබා රොජිමේන්තුවේ පාලන බලයට යටත් එකක් බවට පත්විය. ගෝඨාභය රාජපක්ෂද, කමල් ගුණරත්නද, ශවේන්ද්‍ර සිල්වාද ගජබා රෙජිමේන්තු සාමාජිකයින් විය. එමෙන්ම ඒ වනවිටත් විශ්‍රාම ගොස් සිටි ගජබා රොජිමේන්තු සාමාජිකයින් බොහෝ පිරිසක් රජයේ ප්‍රධාන තනතුරු දරන්නන් බවට පත්වී තිබුණි.
යුද හමුදාපති ධුරයට ගජබා රෙජිමේන්තුවෙන් තවදුරටත් පත්වීම සඳහා සුදුසුකම් ලැබීමට කණිෂ්ඨයන් පෙළ ගැස්වීමේ දේශපාලනය යටතේ සිදුවී තිබුණේ යුද හමුදාපති හෝ එහි දෙවන නිලය වන මාණ්ඩලික ප්‍රධානි යන තනතුරුවලට ජ්‍යෙෂ්ඨත්වය, රාජකාරිමය හා සුදුසුකම් අනුව තේරී පත්වේ යැයි අනුමාන කරන නිලධාරීන් පසුපසට ඇද දැමීමය. මෙම කතාවේ කතානායකයා වන බි්‍රගේඩියර් සී රණවීරගේ කතාවද ගජබා රෙජිමේන්තුව ඉදිරියට ගැනීමේ දේශපාලන ක්‍රියාන්විතයක කොටසක් වී තිබේ. ඔහුට ඔහුගේ කැඩෙට් පාඨමාලාවේ අන් සාමාජිකයින්ට මේජර් ජෙනරාල් ධුරයට උසස් වීම් ලබාදුන් අවස්ථාවේදී ලබා දුන්නේ නම් මීලඟ යුද හමුදාපති හෝ මාණ්ඩලික ප්‍රධානී යන තනතුරුවලට සුදුසුකම් ලබන පෝලිමේ ඔහුද සාමාජිකයකු වන්නේය.
වත්මන් යුද හමුදාපති විකුම් ලියනගේද ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයකු වන අතර මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් සංජය වනසිංහ යුද හමුදාපති නොවී විශ්‍රාම ගියහොත් හෝ යුද හමුදාපති වී විශ්‍රාම ගියහොත් මේ වනවිටත් ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් යුද හමුදාපති ධුරයට පෙළගස්සවා තිබෙන බව අපගේ හමුදා මූලාශ වැඩිදුරටත් තහවුරු කරයි. එම පෙළ ගැස්සවීම් සිදුකර ඇත්තේ බි්‍රගේඩියර් රණවීරට සිදුකළ ආකාරයේ වෙනස්කොට හැන්දෙන් බෙදීම මගින් බව මෙම මානව හිමිකම් පැමිණිල්ල තවදුරටත් අපට කියා පායි. ඒ නිසා යුද හමුදාවේ රෙජිමේන්තු රජකරවීමේ මෙම දේශපාලනයට තිත තැබිය යුතුමය. මෙම මානව හිමිකම් පැමිණිල්ල ඊට හොඳ අවස්ථාවකි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා විසින් අනිද්දා පුවත්පතට ලියන ලද ලිපියකි.