Breaking News

ලංකාව ගැන මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ ගෙන ආ 51/5 යෝජනාව අද (06) සම්මත වී තිබේ. එහෙත් ශ්‍රී ලංකාව එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර විරුද්ධ ලැබුණේ ඡන්ද 07 ක් පමණි.

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 20කි.

යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල්:
ආර්ජන්ටිනාව
ආර්මේනියාව
චෙක් ජනරජය
ෆින්ලන්තය
ප්‍රංශය
ජර්මනිය
හොන්ඩුරාස්
ලිතුවේනියාව
ලක්සම්බර්ග්
මලාවි
මාෂල් දූපත්
මෙක්සිකෝව
මෙන්ටිනිග්රෝ
නෙදර්ලන්තය
පැරගුවේ
පෝලන්තය
කොරියානු ජනරජය
යුක්රේනය
මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය
ඇමරිකා එක්සත් ජනපදය

විරුද්ධ ඡන්දය දුන් රටවල්:
බොලිවියාව
චීනය
කියුබාව
එරිත්‍රියාව
පකිස්ථානය
උස්බෙකිස්තානය
වෙනිසියුලාව

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්:
බෙනින්
බ්‍රසීලය
කැමරූන්
අයිවරි කෝස්ට්
ගැබොන්
ගැම්බියාව
ඉන්දියාව
ඉන්දුනීසියාව
ජපානය
කසකස්තානය
ලිබියාව
මැලේසියාව
මොරිටේනියාව
නැමීබියාව
නේපාලය
කටාරය
සෙනගල්
සෝමාලියාව
සුඩානය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය

අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් මේ යෝජනාවේ ගෙන ආ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හමුවේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි එම යෝජනාවට තම විරෝධය දැක්විය.

මෙවර සම්මත වූ යෝජනාවේ සඳහන් වන්නේ මොනවාද?

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතට කරුණු 19 ක් ඇතුළත් ය.

ඉන් මුල් කරුණු දෙකෙන්ම මානව හිමකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර ඇත.

යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ය.

ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි යෝජනාවලියෙන් දැඩි අවදානයක් යොමු කර ඇත.

ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එහි දැක්වෙයි.

සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගී වූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදුවූ මරණ, තුවාලවීම් හා දේපළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුකර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයට මෙම රටවල් කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳව ද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා ඇත.

51 වැනි සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

කෙසේවෙතත් විදේශ අමාත්‍ය අලී සබ්‍රි සඳහන් කළේ, ආර්ථික අපරාධ සිදුවී ඇත්නම් ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔවුන්ට එරෙහිව පියවර ගත යුතු බවයි.

දැනටමත් විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් අධිකරණ තුළ නඩු දමා ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍ය අලි සබ්‍රි කියා සිටියේ “මානව හිමිකම් කොමිසම කළ යුත්තේ මානව හිමිකම් කොමිසමට අදාළ දේවල්. ඒ හින්දා තමයි අපි කියන්නේ, අපට මෙතනින් ගැලවෙන්න දෙන්නේ නැතිව බිලී කොක්කක් දාගෙන ඉන්නවා, සදාකාලිකව මෙතන හිර කරන්න. ඔවුන්ට අවශ්‍ය දේවලටයි අවශ්‍ය නැති දේවල්වලටයි හැම දේටම ඇඟිලි ගහනවා”

leave a reply