Breaking News

මාස 09 ක් PTA යටතේ රඳවා තබාගත් සුහයිල් ‘නිදොස් කොට නිදහස්’

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර කර සිට පසුව ඇප මත මුදාහැරි මාවනැල්ලේ පදිංචි මුහම්මද් සුහයිල් නම් සැකකාර තරුණයා නිදොස් කර නිදහස් කිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරිය අද (16) නියෝග කර තිබේ.

සැකකාර තරුණයාට එරෙහිව නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපති උපදෙස් ලබා දී ඇති බව දෙහිවල පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටීම හා නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

21 හැවිරිදි මෙම තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 25 වන දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබී තිබේ.

මේ තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ මාස නවයක් රඳවා තබාගත්තේ ඊශ්‍රායලය කොඩිය පාගන අන්දමේ වීඩියෝ කොටසක් ඉන්ස්ටග්‍රෑම් හරහා පළ කිරීම හේතුවෙනුයි.

පළමු අවස්ථාවේදී,( ඔක්තොම්බර් 23) සිය ජාතික හැඳුනුම්පත රැගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් දෙහිවල පොලිසිය විසින් ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය අසලදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊට පසු දින (24) එම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව නිදහස් කර තිබුණි.

කෙසේවෙතත් එදිනම දෙහිවල පොලීසිය විසින් කට උත්තරයක් ගැනීමට යැයි පවසමින් ඔහු යළිත් පොලීසියට රැගෙන ගොස් ඇති අතර, දින දෙකකට පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ මාස 9කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කෙසේ නමුත් සුහයිල්ට සිදු වූ අත්තනෝමතික හා සාක්ෂි නොමැති අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් වේ.

මීට පෙරද ඊශ්‍රායලයට විරෝධය දක්වමින් ස්ටිකරයක් ඇලවූ මොහොමඩ් රුෂ්ඩි නම් තරුණයෙකු පොලීසිය විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන වාර්තා විය. ඔහුගේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබුණි.

leave a reply