70 දශකයේ සිංහල කවිය යන මැයෙන් ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න විසින් රචනා කරන ලද ග්‍රන්ථය සම්බන්ධයෙන් නඳුන් යසිත දසනායක කතුවරයා සමඟ අනිද්දා පුවත්පත වෙනුවෙන් සිදු කළ සංවාදය….
මානව යුගයන් තුළ මිනිසා සංස්කෘතිමය වශයෙන් දියුණු අඩවිවලට ප්‍රවේශ වන විට ඔවුන්ගේ සාහිත්‍ය සහ කලාව පවතින යුගය ඉක්මවා කියවා ගත හැකි නිෂ්පාදනයක් බවට පත් වෙනවා.ඇත්තට ම මේ අයුරින් ගත්ත ම 70 දශකයේ කවිය එම යුගය ඉක්මවා කියවා ගත හැකි කාව්‍ය දහරක් ද ?
මම දකින විදියට සාහිත්‍ය සහ කලාව කියන්නෙ එය නිෂ්පාදනය වන යුගයේ නිෂ්පාදන සබඳතාවයන්ගේ සහ නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයේ මට්ටමට අනුරූපී උපරි ව්‍යුහාත්මක සාධකයක්.හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ ඒ උපරි ව්‍යුහාත්මක අංගයන්ට නිෂ්පාදන සබඳතා සහ බලවේගයන්ගේ සොබාවය වෙනස් කිරීම සඳහා හැකියාවක් නෑ කියලා.විශේෂයෙන් ම සාහිත්‍ය කලා ව්‍යාපෘතිය ඇතුළෙ අපි දකිනවා ආර්ථිකමය වශයෙන් පාරාජිකා වෙච්ච යුගවල ඉතා ම උසස් නිර්මාණ බිහි වෙනවා.ඒ වගේ ම ඒ නිර්මාණ ආර්ථික අධස්ථය වෙනස් කර ගැනීම සඳහා සාමාජික මිනිසාට ධෛර්ය සම්පාදනය කරනවා.අන්න එහෙමයි සාහිත්‍ය කලාව පවත්නා යුගය අභිභවා යන්නෙ.70 දශකයේ කවිය කියන්නෙ පැහැදිලිව ම එහෙම ව්‍යාපෘතියක් කියලා කියන්න පුළුවන්.
70 දශකය කියන්නෙ ම කොළඹ කවියෙන් පස්සෙ සිදු වුණු ප්‍රධාන කාව්‍ය විපර්යාසය වන ජී.බී.,සිරි ගුනසිංහ,අමරසේකර වගේ කවීන්ගේ කාව්‍යයමය කළාපයෙන් යම්තාක් දුරට බැහැර වී වෙනත් සමාජමය තේමාවන් දෙසට ඇදෙන කවියක් නිපද වූ යුගයක් ලෙස යි මට දැනෙන්නෙ.අත්තට ම මේ හැරවුම් ලක්ෂය සාධනීය වූවක් ද ?
70 දශකයේ කවිය ගැන මගේ පොදු කියවීම වෙන්නෙ ඔබ කියන අන්තර්ගතමය(content) කාරණාවන්වල දි විතරක් නෙවෙයි ව්‍යුහමය(form) සංරචකයන් පැත්තෙන් ගත්තත් ඔබ නම් කළ කවීන්ගෙන් වෙනස් වෙන ව්‍යාපෘතියක් කියන එක.ඇත්තට ම ගොඩක් විචාරකයන් මේ දශකයේ කවිය ගැන අවධානය යොමු කරද්දි දකින්න උත්සාහ කරල තියෙන්නෙ ඔබ කියන ගණයේ තේමාව,අත්දැකීම සහ දෘෂ්ටිය වගේ අන්තර්ගතමය පැත්ත ගැන විතර යි.
ඒ වුණාට 70 තමයි සිංහල කවිය එහි මුළු ඉතිහාසයෙන් ම ආකෘතිකවාදයෙන් නිදහස් වෙච්ච යුගය.ඊට පෙර සෑම අවධියක ම – නිදහස් නිසැඳැස් යුගයේ පවා සිංහල කවිය එම යුගයට අදාළ ආකෘතියකට සීමා වුණු බවක් පොදුවේ දකින්නට ලැබෙනවා.70 දි මේ තත්ත්වය සෑහෙන දුරට වෙනස් වෙනවා.නිදහස් කියන වචනෙ හරියට ම ගැළපෙන්නෙ 70න් පස්සෙ යුගයට.
ඒ වුණාට 70 කවිය බිහි වෙන්නෙ ප්‍රධාන වශයෙන් ම කුමාරගමගෙ යි සිරි ගුනසිංහගෙ යි මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් විදියට.ඊට පිටිපස්සෙන් ඉන්නවා ජී.බී. යි අමරසේකර යි.70 දශකයේ කවිය මේ අයගේ කාව්‍ය ව්‍යාපාරයෙන් බැහැරට ගමන් කළත් ඒ කවීන් ටික හිටියෙ නැත්නම් 70 බිහි වෙන්නෙ මේ අපිට හම්බවෙච්ච කවි ටික නම් නෙවෙයි.කිසිම කවියක් කිසිම කවියෙක් තනියම ලියලා නෑ කියන එක තමයි ඒකෙන් කියවෙන මූලිකතම කාරණය.
මේ වන විට 70 දශකය ගෙවිල වසර 50ක් පමණ ගත වෙලා.ඒ යුගයේ කවි ලකුණු තැබූ බොහෝ කවීන් අදටත් කවිය තමන්ගෙ ප්‍රධාන මාධ්‍යය කර ගෙන තිබෙනව.ඔවුන්ගේ කවිය මෙන් ම අද දවසේ කවිය සම්බන්ධයෙන් 70 දශකයේ බලපෑම ඔබ ස්ථානගත කරන්නේ කෙසේද ?
මං පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ලංකාවෙ අද දවසෙ ලියවෙන සිංහල කවිය ලෝක මට්ටමෙන් ගත්තත් සෑහෙන දියුණු තත්ත්වයක පවතිනවා කියන එක.ඒ සඳහා ප්‍රධාන වෙච්ච කවීන් පස් දෙනෙක් නම් කරන්න මට අවස්ථාව දෙන්න.ඒ තමයි පරාක්‍රම,එරික්,රණවීර ,නන්දන සහ ලාල් හෑගොඩ.මට අනුව මේ පස් දෙනාට මහා කවීන් කියලා කියන්න පුළුවන්.ඔබට පේනවා ඇති ඒ අතරින් දෙන්නෙක්(පරාක්‍රම,එරික්) ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ 70 දශකයේ.
පිළිවෙළින් 80 සහ 90 දශකවල සිංහල කවිය වෙත එළැඹි නන්දන වීරසිංහට මුල්කාලීනවත් හෑගොඩට පසුකාලීනවත් 70 කවියෙන් විශාල බලපෑමක් එල්ල වෙනවා.කොටින් ම පරාක්‍රමට පවා 70 දශකයේ තමන්ගෙ ම කවියෙන් එල්ල වන බලපෑම අතිප්‍රබල යි.”රශ්මි” වගේ ඉතා ම පසුගාමී කාව්‍ය සංග්‍රහයකට පස්සෙ ආපහු ” ලොවිකහට” වගේ කවි පොතක් කරන්න එයාට සිද්ධ වෙන්නෙ ඒ නිසා.අද දවසේ කවි ලියන අපි අලුත් කියලා හිතන ගොඩක් වැඩ ඇත්තට ම 70 දශකයේ සිද්ධ වෙලා තියෙනවා.ඒ නිසා අද දවසේ සිංහල කවියේ පීතෘ අවධිය විදියට මං හඳුනා ගන්නෙ 70 දශකය.
ඇත්තට ම විචාර කෘති හෝ කවිය පිළිබඳ නව අධ්‍යයනයන් අප වන් රටවල සිද්ධ වෙන්නෙ ඉතා ම කලාතුරකින්.බිහි වුණත් ඒ සම්බන්ධයෙන් තියෙන පාඨක උනන්දුව ඉතා අල්ප යි කියල යි මම හිතන්නෙ.මෙය අපේ අධ්‍යයනයේ ම ගැටලුවක් ද ?
අපේ වගේ රටවල මෙහෙම හරි පොත්පත් පළ වෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන.මේ අපි ඉන්නෙ නව අධ්‍යයනයන් නෙවෙයි පාසල් අධ්‍යාපනයවත් කර ගෙන යන්න මිනිස්සුන්ට හයිය නැති යුගයක.ඒ නිසා මම නං ඔබ කියන ගැටලුව මූලික වශයෙන් ම දකින්නෙ මේ අපි ජීවත් වන ධනේශ්වර වෙළඳපොළවාදී සමාජ ක්‍රමය ඇතුළෙ.එතනින් ඉල්ලා සිටින්නෙ වෙළෙන්දො ටිකකු යි පාරිභෝගිකයො ටිකකු යි විතර යි.මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රය වේගයෙන් ඛාදනය වීම පිටිපස්සෙ තියෙන යථාර්ථය ඒක යි.ජේ.ආර්.වැඩේ පටන් ගන්නකොට ම “සාහිත්‍ය කන්න ද ?” කියලා ඇහුවෙ නිකන් නෙවෙයි.එයා දැන ගෙන හිටියා එයා ඉදි කරන්න යන්නෙ මොන වගේ සමාජයක් ද, කියන එක.
මම ජීවත් වෙන්නෙ ටියුෂන් කරලා.ඒ නිසා මට කිසියම් අතිරික්තයක් තියෙනවා මේ වගේ පර්යේෂණයක නිරත වෙන්න.ඒ කියන්නෙ වුවමනාව තිබ්බ පළියට ම වැඩ කරන්න බෑ.වුවමනාව තියෙන අපිටත් වඩා හැකියාවන් තියෙන මිනිස්සු සෑහෙන ප්‍රමාණයකට අද ජීවත් වීමේ අරගලයට ප්‍රමුඛතාවය දෙන්න සිද්ධ වෙලා තියෙනවා.එහෙම නැතුව මේ ප්‍රශ්නෙ කියවන්නන්ට යි ලියන්නන්ට යි සීමා කරල විග්‍රහ කර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක යි මගේ හැඟීම.
ඔබත් කවියෙක්. ජීවත්වන යුගය ඉක්මවා කවියෙක් පශ්චාත් කාව්‍ය ධාරා දෙස බැලීමේදී විචාරාත්මක අක්ශය සේම කාව්‍යමය අක්ශයත් පෝශණය කරගන්න පුලුවන් නේද..මේ කෘතිය කියවන අපේ පරම්පරාවේ කවීන්ට අදාල වෙන්නේ කුමන ආකාරයකින්ද?
70 දෙස බලන්න මට මූලිකව ම බලපෑවෙ පරාක්‍රම කොඩිත්තුවක්කු කියන කවියා සම්බන්ධයෙන් මට තියෙන පුද්ගලික ළැදියාව.දෙක,දිලිප් කුමාර ලියනගේ කියන ඒ විශිෂ්ට ගුරුවරයා උසස්පෙළ සිංහලවලට කවිය ගැන උගන්නද්දි 70 ගැන කියපු,උගන්නපු දේවල්.හැබැයි පර්යේෂණයේ නිරත වෙනකොට මට තේරුණු දෙයක් තමයි මං හිතා ගෙන හිටියටත් වඩා ඒ යුගය විශාල යි,බලපෑම් සහගත යි කියන එක.
මේ වසර දහය ගැන අධ්‍යයනය කරන්න මං මගේ ජීවිතයේ ආයු කාලයෙන් අවුරුදු හතරක් වගේ කාලයක් කැප කරද්දි මං ඉගෙන ගත්ත ප්‍රධාන දෙයක් තමයි අපිට තව කොච්චර වැඩ කරන්න ඉතුරු වෙලා තියෙනවද, කියන එක.මං හිතනවා මං පර්යේෂණය පටන් ගත්තු මොහොත යි ඉවර කරපු මොහොත යි අතර කාලය මම ගත කළේ ඉතා ම සතුටින් කියලා.මොකද,මට පුළුවන් වුණා 70 දශකය ගැන අලුත් දේවල් හොයා ගන්න.විශේෂයෙන් ම අද දවසේ අපි ලියන කවිවලට අදාළ වක් වීම සිද්ධ වුණේ කොහොමද,කියන එක මං දැක්කා.ඒක හින්දා මං හිතනවා අද කවි ලියන,විචාරය කරන අයට තමන්ට අද ලියන්න,විචාරය කරන්න මේ වගේ කවියක් බිහි වුණේ කොහොමද,කියන එක ගැන හොඳ අවබෝධයක් ගන්න මේ පොත ප්‍රයෝජනවත් වෙයි කියලා.
සකච්ඡා කළේ : නඳුන් යසිත දසනායක.
ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න.