Breaking News

ලංකාවේ ඛනිජ සම්පත් ව්‍යාපාරික ගනුදෙනුවකට ඉන්දිය නියෝජිතයන් ඇවිත්!

භූවිද්‍යා කාර්යාංශය හෝ පරිසර අමාත්‍යංශය දන්නෙත් නැතිලු
ලංකාවේ වටිනා ඛනිජ සම්පත් ගවේශන හා ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමට ඉන්දිය පතල් කැනීම් පිළිබඳ අමාත්‍යංශයේ සහ ව්‍යාපාරික නියෝජිතයන් පසුගියදා දිවයිනට පැමිණියද එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධව තමන් කිසිවක් දන්නේ නැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සහ පරිසර අමාත්‍යංශය පවසා තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙරට ඛනිජ සම්පත් ගවේශනයේ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා ඉන්දිය පතල් කර්මාන්ත අමාත්‍යංශයේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් ලංකාවට පැමිණ ඇති බව වාර්තා වූයේ මැයි 21 වැනිදාය.
එහෙත් දැන් අනාවරරණය වන්නේ, එම දූත පිරිසේ පැමිණීම වාර්තවන තුරුත් මෙරට ඛනිජ ගවේශනය සම්බන්ධ ප්‍රධාන ආයතන දෙක වන භූ විද්‍යා හා පතල් කාර්යාංශය සහ පරිසර අමාත්‍යංශය එවැනි කටයුත්තක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බවට දැන සිටියේ නැති බවයි.

මෙරට ප්‍රධාන ඛනිජ සම්පත් නිධි ලෙස දැනට අනාවරණය වී ඇත්තේ නැගෙනහිර වෙරළාසන්න පුල්මුඩෙයි සහ වයඹ වෙරළාසන්න පුත්තලම යන ප්‍රදේශවල ඇති ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් නිධි සම්බන්ධයෙනි. සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ එම ඛනිජ නිධි තුළ අදාළ ඛනිජ වර්ග මෙට්‍රික් ටොන් මිලියන 7.5 ක් ඇති බවද ඊට අමතරව මිනිරන් මෙට්‍රික් ටොන් 45,000 ක් සහ ඇපටයිට් මෙට්‍රික් ටොන් මිලියන 60 ක් ඇති බවයි. ලංකාවේ උතුරු කොටසේ ඛනිජ වැලි නිධියක මොනසයිට්, ගාර්නට්, සිලිමනයිට් සහ අනෙකුත් බැර ඛනිජ අඩංගු බවද මෑතකදී සොයාගෙන ඇත. මේ අතර ලංකාව ආසන්න ඉන්දිය සාගරයේ ඇති බවට අනාවරණය වී ඇති වටිනා කොබෝල්ට් නිධියක් සම්බන්ධයෙන්ද ඉන්දියාව හා ලංකාව අතර හිමිකම් ගැටලුවක් මතුව තිබේ.

2024 පරාජය කෙරුණු රනිල් වික්‍රමසිංහ – පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් මෙරට පතල් කැණීම සඳහා දිගු කලක් පැවති නීති රෙගුලාසි ලිහිල්කරණයට ලක් කරණ ලදී. එම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන පතල් සමාගම් 10 ක් සමග එකඟතා අවසන් කිරීමට එම ආණ්ඩුව උත්සාහ කළ නමුත්, 2024 සැප්තැම්බර් මාසයේ මැතිවරණ පරාජයට හේතුවෙන් එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

leave a reply