අර ඈතින් හිඳ හිනහෙන
දැක හුරුපුරුදු
ඔහු කවුද
නිරෝෂ ප්‍රනාන්දු ව මට දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ පසුගිය වසංගත සමය තුළයි. ගෙවුණු වසංගත සමය සියල්ල ඉතා සීඝ්‍රයෙන් සීමාවන් වලට යටත් වූ කාලය . මිනිස්සු තමන්ගේ හුදකලා භාවයෙන් මිදෙන්න විවිධ දේ අත්හදා බලන්න වු කාලය. ඒ තව කෙනෙකුව මුණ නොගැසී ඔහු සමග සම්බන්ධතා ඇති කර ගන්න. ඒ සඳහා අපිට ඉවහල් වුණේ තාක්ෂණය. නිරෝෂ ප්‍රනාන්දු ව සමීපව මුණගැසෙන්නේ මෙන්න මේ තාක්ෂණය හරහායි . ඒ නිවුන්හැල්ල සහෝදරයා සමග සූම් ටු පොයම් කවි සංවාද මාලාව තුලින්. ඒ හඳුනා ගැනීම තුළ ඔහු හොඳ කවි රස විඳින්නේක් කියා දැනගත්තා. දැන් අපි ඔහු කවියෙක් කියා හඳුන ගන්නවා ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “නොපාගා එන්න පරමල් ” තුළින් .
කවිය වෙත දැඩි ඇල්මක් දක්වන ඔහු තුළ හොඳ කවියෙකු සිටි බව මේ කාව්‍යය සංග්‍රහයේ කවි සාක්ෂි දරනවා. නිරෝෂගේ කතාව අහගන්න ඔහුගේ කවි ළඟ මදක් නැවතිය යුතු ම ය. නිරෝෂගෙ කවි තුළින් ඔහු මිනිස් සබඳතා පිළිබඳව දරන අදහස හමු වෙනවා. මේ කවි පොත ඇතුළේ අනෙකා සම්බන්ධයෙන් නිරෝෂ ගොඩනඟන සම්බන්ධතාවයන් මොන වගේද කියලා පැහැදිලි කරගන්න පුළුවන්.
“ලේ බිඳකි ඒ අග” කවියට මා වඩාත් කැමතිය. ඉතිහාසය තුළ නිර්මාණය වුණු වන්දනීය පූජනීය බොහෝ තැන්වල දැවැන්ත ගල් බිත්ති අතරින් ඉකිබිඳුම් සුසුම් කෙඳිරිලි විලාපයක් මදක් ළංවී ඇසුවොත් ඔබටත් ඇසේවි. කවියන්ට ඒ හඬ වඩා හොඳින් ඇසෙන බව මා විශ්වාස කරනවා.
කොලෝසියම පිටුපස
සිටු මාලිගා නටබුන් සොයා යන මඟ
වේදනාබර මුහුණින් වකුටුව
වියළි උඟුරු පත්ලෙන් හඬන
දිරාපත්
අතපා
යදින්නෙ දෙස
ඉපැරණි බංකුවක හිඳ
බලා හිඳී
දහසක් මගින් මැද
හුදෙකලා වූ
කළු පාට මිනිහෙක්
කොලෝසියම ගොඩනැගෙන අතීතයේ දවසක
රෝමානු තේජස උතුරන
ජව බලැත්තෙක්
මොර නගයි කඩිනම් කරනුව
ඔසවයි රත් යැවුල
ගිගුම් දෙවා නීල අහස
පහර පිට පහර පතිත කරයි
වහල් කොඳු මත.
සංචාරක කුරුල්ලෙක් තැතිගෙන
වසා උන් වනස්පතිය අතහැර
පියාඹා යයි.
පිහාටුවක් ගිලිහෙයි
හදවත සමීපයෙන්
නිරෝෂගෙ හදවත සමීපයෙන් පිහාටුව ගැලවී බිම වැටෙන්නේ කාගේ හෝ තේජස වෙනුවෙන් ගොඩනැගු මේ දැවැන්ත ඉතිහාසය තුළ මොන තරම් මිනිස් ජීවිත වහල් බැම්මෙන් හිර වී මිය ගියේද යන්න සිහියට ගන්නා විට ය.
ජීවත් වන තැන කුමක් වුව බලාපොරොත්තු එක හා සමානය. නිරෝෂ ජීවත්වන්නේ බර්මියුඩාවේ.අපි හැමෝම තරගකාරී ජීවිතය ඇතුලේ බලාපොරොත්තු පිටුපස හඹා යන්නේ ජීවිතය අතහැර. බලාපොරොත්තු අතර නිවසක් කියන්නේ ඉහළම බලාපොරොත්තුවක් . නිවසක් කියන්නේ නිකම්ම නිකම් බිත්ති වටවුණු වහලක් තියෙන ගොඩනැගිල්ලක් පමණක්ම නෙවෙයි. ඒ ඇතුලේ මිනිසුන් බලාපොරොත්තු දුක් දොම්නස් අඳෝනා ප්‍රීතිය සතුට හැමදේම නිදන්ගත වෙලා තියෙනවා. ඒ නිදන් තැන්පතුව ගොඩනගන එක ලෙහෙසි කටයුත්තක් නෙවෙයි.
“අපට තිබුණේ නතර වෙන්න”
අපට තිබුණේ යන්තම් හරි අටවං
පදිංචි වෙන්න
ඉන්න ගමන් හදාගන්න
දෙන්නම එකතුවෙලා ලෝන් එකක් ගන්න
වියදම් පාලනය කරන්න
ප්ලෑන් එකට වැඩේ වෙනවද හොයන්න
හැමදාම රෑට ඒ ගැන කතා කරන්න
නොසැලකිල්ල සහ සැලසුම් සහගත නොවීම තුළින් කෙනෙකුට බලාපොරොත්තුව වෙන තැනට ගමන් කරන්න නොහැකි වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී බලාපොරොත්තු දුරස් වෙන්න බාහිර පාර්ශවයන් ගේ බලපෑම ඉවහල් වෙන්න පුළුවන්. අපට තිබුණෙ නතර වෙන්න කවිය තුළින් ජීවිතය සැලසුම් කර ගැනීම පිළිබඳව අදහස මතු කර ගන්න අපට නිරෝෂා අවස්ථාව සලසා දෙනවා.
අපට තිබුණේ
මීට වඩා සැලකිලිමත් වෙන්න
සර්ප ඔළු දකිද්දි ම
පොඩි කරන්න
අපට
තිබුණේ
යන්තම් හරි අටවං
පදිංචි වෙන්න
ඉන්න ගමන්
හදාගන්න
“උතුරු අකුරු” අතීතය සිහිපත් කරවන කවියකි. අසූ තුනේ කලබල සමයට ප්‍රථම සුළු රැකියාවන් සඳහා දකුණට ආපු දෙමළ මිනිසුන් ගම්වල සිංහල ජනතාව සමග සුහදව ජීවත් වුණු මතකයක් මට තියෙනවා. ඔවුන් කිසිවෙකුට කරදර කළේ නැහැ. තමන්ගේ පාඩුවේ රැකී රක්ෂාව කරගෙන අහිංසකව ජීවත් වුණ. අසූ තුනේ නිර්මාණය කළ සිංහල දෙමළ කලකෝලාහල ය මේ මිනිස්සුන්ව භීතියට පත් කළා පමණක් නෙවෙයි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සමහර සිංහල අමනයෝ තලා පෙලා පීඩාවට පත් කරමින් විනාශයටද පත් කළා. මේ කාලය තුළ එවන් හුදකලාව ජීවත් වූ දෙවන මිනිස්සු තමන්ගේ ගම්බිම් සොයාගෙන සිංහල ගම්වලින් හොර රහසේම අතුරුදහන් වුණා. උතුරු අකුරු තුලින් ඒ කතාවම නොවුවත් එය මතක් කර දෙන කතාවක් කියනවා.
එකම රටක ජීවත් වෙන ජාතීන් දෙකක් මොනතරම් දුරස්ථ ද කියන එක සහ එකිනෙකාව හඳුනා ගැනීමට තේරුම් ගැනීමට බැරි තරමට අපි දුරස් බව නිරෝෂ් අපිට පෙන්වා දෙනවා. පැරැණි සමාජය තුළ යම් බැඳීමක් තිබුණා නම් එය දැන් ගිලිහී ගොස් ඇති බවත් අප එකිනෙකා අතර තිබෙන දුරස්ථභාවය මොනතරම්ද කියන එකත් මෙ කවි අපිට කියනවා.
බලලෝභී දේශපාලනය උවමනාව වෙනුවෙන් 83 කළු ජුලිය නිර්මාණය කරලා තව නොබෝ දිනකට වසර හතළිහක් සම්පූර්ණ වෙනවා.මේ කවිය ඒ ආසන්නයේ කියවීමට සිදුවීම තුළින් හතළිස් වසරකට ඉහත රිදුම් නැවත හැරෙන්නට පටන් ගත් බවක් දැනුනි .
තබා ලියුමක් මා අත
තාත්තා නමට
යයි ඉගිළ
පියුම් හිතවතා
අදීරද අකුරින් ඇත ලිපිනය
දින නැති මුද්‍රාවකි
ධම්ම චක්‍රය මුද්දරය මත
ඇතුළත හතරට නැවූ ලිපියකි
පලින් පල තෙමී බොඳ වූ
උතුරු අකුරින් ලියවුණ
මේ එම කවියේ අවසාන පේළිය
කවදාවත් උගන්වා නැත
උතුරු අකුරක් සුසර කරන මග
කියවා ගත නොහැක
තාත්තාට ආ
මේ ලියමන
ඉතින් බොහෝ අපූරු අත්දැකීම් මාලාවක් විඳගැනීමට කවිය හරහා අපට ඉඩ සැලැස්වූ නිරෝෂාට ඉදිරි කවි මග මීට වඩා හොඳින් සාර්ථක කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කරමි. එමෙන්ම බියෙන් සැකෙන් තොරව ඔබගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ඉක්මන් තැපෑලෙන් මා වෙත ලබා දුන්නට ස්තූතියි. ….
ජයවේවා!