ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර සපයන්නා බවට පත්ව සිටි ජපානය සමග පවතින සබඳතා අලුත් කර ගැනීමට උත්සාහ කමින් ජනාධිපතිවරයා පසුගිය සතියේ ජපානයට ගිය අතර, එම සංචාරය ඉතා සාර්ථක වූ බව වාර්තා විය. පළමුව ශ්‍රී ලංකාවට ලබාදී, පසුව ජපානය විසින් බංග්ලාදේශයට යොමුකළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය, මෙරට බලධාරීන් විසින් අවලංගු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සංචාරයේදී ජපාන රජයේ ප්‍රධානීන්ගෙන් සමාව අයැද තිබේ. කණු මත දිවෙන එම දුම්රිය මාර්ගය නිමකළේ නම් කොළඹ වාහන තදබදය සැළකිව යුතු ලෙස අඩු කිරීමට ඉඩ තිබිණි. ඒකපාර්ශ්විකව සහ තාර්කික හේතුවක් නොමැතිව එම ව්‍යාපෘතිය අමු අමුවේ අවලංගු කිරීමේ, පසුගිය ආණ්ඩුව සිදු කළ විනාශකාරී වැරැද්ද නිසා, ලංකාවට ආපසු ලබා ගැනීමට පහසු නොවන, ජපානයේ හොඳ හිත අහිමි විය. කෙසේවෙතත් පරිත්‍යාගශීලී හවුල්කරුවකු වන ජපානය නැවත දිනාගැනීමට හැකි වුවහොත් එය ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් වනු ඇත. රටත් එහි ජනතාවත් වෙළාගෙන ඇති බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා, ප්‍රකෘතිමත් වීමේ කාලසීමාව දින නියමයක් නොමැතිව දීර්ඝ නොවී, කෙටි කර තබා ගැනීමට නම් විශාල වශයෙන් විදේශ ආධාර අවශ්‍ය වේ.
ආදායම් උත්පාදනය සහ වියදම් කපාහැරීම සම්බන්ධයෙන් රට සිදු කරන ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණවල ගෞරවය ද ජනාධිපති වික්‍රමසිංහගේ නායකත්වයට හිමි වේ. ආර්ථිකය විධිමත් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම ජනාධිපතිවරයාගේ දිගුකාලීන ආශාවක් වූ අතර, එම උත්සාහය ඔහු පසුගිය අගමැති ධුරය දැරූ කාලය තුළද දක්නට ලැබිණි. 2001 සිට 2004 දක්වා කාලය තුළ ඔහු අගමැති ලෙස ඵලදායී ආකාරයෙන් ආණ්ඩුකරණයේ නිරතවූ අතර, එල්ටීටීඊය සමඟ සටන් විරාම ගිවිසුමට එළැඹෙන විට ඔහු උත්සාහ කළේ එම ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවම ක්‍රියාත්මක කිරීමට ය. මෙම රැඩිකල් ක්‍රියාමාර්ග දෙකම ජනතවට දරාගත නොහැකි තරම් බව ඔප්පු වූ අතර, පසුව පැවති මැතිවරණවලදී ඔහු පරාජයට පත්විය. සාමාන්‍යයෙන්, ඔහු ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පදනම් වී ඇත්තේ ‘ට්‍රිකල් ඩවුන්'(trickle down) න්‍යාය මත වන අතර, එම න්‍යායෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව වැනි අතිශය දූෂිත දේශපාලනයන් පවතින රටවල දුප්පතුන්ට මේසයෙන් වැටෙන සුළුදෙයින් සෑහීමට පත් විය යුතු බවයි. සහනාධාර කපා හැරීම, බදු වැඩි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකකරණය කිරීම වැනි ජනප්‍රිය නොවන ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමේ අභියෝගය, යළිත් වරක් නොසැලී ඔහු භාර ගනිමින් සිටී.
රටට ලබාදී ඇති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ප්‍රතිසාධන සැලැස්මේ කොටසක් ලෙස, ඔහුගේ නායකත්වය යටතේ රජය විසින් අවශ්‍ය දූෂණ විරෝධී නීති ක්‍රියාත්මක කිරීමට සුදානම් වෙයි. තවමත් කෙටුම්පත් ආකෘතියේ පවතින මෙම නීති සම්පාදනය සඳහා, ආණ්ඩුවටත් වඩා ජනාධිපතිවරයා විසින් තල්ලුවක් ලබාදෙන බව පෙනේ. දූෂණ විරෝධී නිරීක්ෂණ සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සියලුම දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රැස්වීමක් පැවැත්වීමෙන් එය පැහැදිලි විය. ඊට විපක්ෂයේ සහභාගිත්වය සැළකිව යුතු ලෙස පැවතුණද, ආණ්ඩු පාර්ශ්වයේ පැමිණීම සීමිත විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඇතුළුව, විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂවල නායකයෝ ඊට එක්ව සිටියහ. ඕනෑම “පද්ධති වෙනසක්” සමඟ අවශ්‍ය වන මුහුණු වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුහු එහිදී ඉඟියක් ලබාදුන්හ. සාකච්ඡාවේ එකඟතාව වූයේ නව නීති කෙටුම්පත දූෂණයට එරෙහි සටනට ධනාත්මක එකතු කිරීමක් බවයි.
භූමියේ තත්ත්වය
යහපාලනය සහ වගවීම සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහපොළොවේ තත්ත්වය තවදුරටත් අසතුටුදායක මට්ටමක පවතී. වසරකට පෙර ක්‍රියාත්මක වූ විරෝධතා ව්‍යාපාරය, දූෂණය සහ ආර්ථික අවපාලනය පිළිබඳ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලද්දේ, ඒවා රටේ සමස්ත ජනතාවටම බලපෑ, රටේ ආර්ථික කඩාවැටීමට තුඩු දුන් හේතු නිසාය. දේශපාලන බලය විධායකය තුළ සංකේන්ද්‍රණය වීම නිසා දූෂණය සහ ආර්ථික අවපාලනය යන දෙකම පහසු වී තිබිණි. ජනාධිපති වික්‍රමසිංහගේ පළමු ක්‍රියාමාර්ගවලින් එකක් වූයේ, සංවරණ සහ තුලන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ප්‍රධාන රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට තීක්ෂණ දේශපාලන නායකත්වයක් ලබාදීමයි. 21 වැනි සංශෝධනයේ වැදගත්ම අංගය වන්නේ දේශපාලන අධිකාරියේ ඇඟිලි ගැසීම්වලින් ආයතන භාරව සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීමයි.
වර්තමානයෙහි පවතින කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, අනාගතය සඳහා යහපාලනය සහ වගවීම පිළිබඳ රාමු සැකසීමේදී පාර්ලිමේන්තු බහුතරය ජනාධිපති වික්‍රමසිංහගේ නායකත්වය අනුගමනය කිරීමට කැමැත්තෙන් සිටින බව පෙන්නුම් කර තිබීමය. කෙසේවෙතත් වර්තමානය තුළ ඒවා ක්‍රියාත්මක කිරීමේදී, විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය ක්‍රියා කරන්නේ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සහ තමන්ගේම පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහාය. අවාසනාවකට මෙන්, ආණ්ඩු පක්ෂය ප්‍රමුඛ පාර්ලිමේන්තු බහුතරය යහපාලනයේ, නීතියේ සහ භාවිතාවේ ජීවගුණය දිගින් දිගටම උල්ලංඝණය කරන අවස්ථා වැඩි වෙමින් පවතී. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා බලහත්කාරයෙන් එම තනතුරෙන් ඉවත් කළ ආකාරය එය මනාව පිළිබිඹු කළේය. දුප්පතුන්ට සියයට 500ක් දක්වා මිල ඉහළ යෑමට හේතු වූ විදුලි මිල සංශෝධනයට එරෙහි වූ නියාමන අධිකාරියේ සභාපතිවරයාට, 21 වැනි සංශෝධනයෙන් ලබා දී ඇති ආරක්ෂාව තහවුරු කරගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.
එම සතියේම සිදු වූ දෙවැනි සිදුවීම වන්නේ රත්‍රං ජාවාරමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන එවැනි වැරදි සඳහා නීතියෙන් නියම කර ඇති දඩයට වඩා ඉතා අඩු දඩයක් ගෙවීමට ඉඩදී මුදාහැරීමයි. එහිදී මන්ත‍්‍රීවරයා කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වා ඇති අතර, ඊට පටහැණිව තමාගේ මල්ලේ අසුරා නොගත් බවත්, එය වෙනත් අයකු විසින් සිදුකළ බවත් කියමින්, තමාට අසාධාරණයක් සිදු වී ඇති බවට සැළකිව යුතු උජාරුවකින් තර්ක කර ඇත. දඩය ගෙවා රේගුවෙන් නිදහස් වූ දිනයේම ඔහු පාර්ලිමේන්තුවට ගියේ කිසිදු ප්‍රශ්නයක් නැති පරිද්දෙනි. රත්‍රං ජාවාරමට හසුවූ මන්ත්‍රීවරයා ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියද මෙතෙක් පලක් වී නොමැත. ප්‍රශ්නය වන්නේ ඔහු තමාට, තම දේශපාලන පක්ෂයට, පාර්ලිමේන්තුවට සහ රටට ගෙනදී ඇති අපකීර්තියට වගකිව යුතුද, නැතහොත් ඔහුගේ සම වයසේ මිතුරන් බොහෝදෙනකුට වඩා ඔහු නරක නැතැයි විනිශ්චය කර, කාරණය පසෙකට දමනු ඇත්ද යන්නයි.
පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
එම සතියේම සිදු වූ තුන්වන සිද්ධිය වන්නේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි විදේශිකයෙකු ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමයි. එම විදේශිකයා මෙරට ආයෝජනය කිරීමට පැමිණි ව්‍යාපාරිකයකු බව පවසමින් ඔහු නිදහස් කරන ලෙස රජයේ ඇමැතිවරයකු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි. කෙසේ වෙතත් මෙම සිද්ධිය මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ ඔහු පිටුවහල් කිරීමට රජය තීරණය කළ අතර ඔහු නිදහස් කිරීමේදී නීති විරෝධී නියෝග පිළිපැදීම සම්බන්ධයෙන් කටයුතු කළ ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. අත්අඩංගුවට ගත් විදේශිකයා නිදහස් කරන ලෙස ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයාට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොපවත්වන බවත්, ඕනෑම අයෙකුට එවැනි ඉල්ලීමක් කළ හැකි නමුත්, වැරදි උපදෙස් පිළිපැදීම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ආරාධනයට අනුව, රට අගාධයෙන් මුදාගැනීමේ අභියෝගය භාර ගැනීම සඳහා, අගමැති ධූරය භාරගැනීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති වික්‍රමසිංහ මහතා බොහෝ පැසසුම් දිනාගෙන තිබේ. අනාගතය සඳහා නීති සහ රාමු සැකසීමට ජනාධිපතිවරයා අදිටන් කරගෙන සිටින බව දැන් පැහැදිලි වී තිබේ. අවාසනාවකට මෙන්, පාර්ලිමේන්තු බහුතරය ඒවා අනුගමනය කිරීමට අකමැති සන්දර්භයක් තුළ යහපාලන භාවිතයන් සහ වගවීම ක්‍රියාත්මක කිරීම සරලව සිදුකළ නොහැකි බව පෙනී යයි. මේ නිසා ජනාධිපති වික්‍රමසිංහ මහතා බලයට පත්වන විට බලාපොරොත්තු වූ දූෂණයට සහ බලය අවභාවිතයට එරෙහි සැලසුම මහපොළොවේ ක්‍රියාත්මකවී නැත.
ජනාධිපති වික්‍රමසිංහ මහතා රටේ අනාගතය වෙනුවෙන් සකසන යහපාලනයේ නීතිරීති හා රාමු කඩ කරන, තම ආණ්ඩුව තුළ සිටින අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඔහුට හැකියාවක් හෝ කැමැත්තක් ඇති බවට සාක්ෂි තවමත් අල්ප වශයෙන් හෝ නැත. දූෂණයට තිත තබන ලෙසත්, බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වගවීමත් ඉල්ලා කළ විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට ජනාධිපතිවරයාට මෙතෙක් සිදුකළ හැකි වී ඇත්තේ ආරක්‍ෂක අංශ සහ පාර්ලිමේන්තු බහුතරය යොදා ගැනීම පමණි. මේ තත්ත්වය දිගටම පැවතුණහොත්, ජනාධිපතිවරයාගේ විශ්වාසනීයත්වය සහ අධිකාරිය යන දෙකම අහිමි වන අතර, දූෂණයේ සහ බලය අයුතු ලෙස භාවිත කරන්නන් නැවත වරක් තමන්ව ශක්තිමත් කර ගනිමින්, ජාතික අවශ්‍යතාවයට හානියක් වන පරිදි ඉවත් කිරීමට නොහැකි ලෙස පැළපදියම් වනු ඇත. එබැවින් රටේ සම්පත් පෞද්ගලික සාක්කුවලට නොගොස් පොදු යහපත සඳහා යෙදවීමට, අතීතයෙන් මිදී ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ද සියලූදෙනාගේ වගකීමයි.