Breaking News

තවදුරටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතත්වය දැරීමට අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා සුදුසු නොවේ.

මහජන නියෝජිතයන් පිළිබඳව ශ්‍රී ලාංකේය පුරවැසියා තුළ ඇත්තේ එතරම් පහන් හැඟීමක් නොවේ. එකී දුර්වර්ණ චිත්‍රය තවත් අඳුරු කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, සමස්ත දේශය හමුවේ දූෂිත දේශපාලකයෙක් බව සාක්‍ෂි සහිතව තමන් විසින්ම සනාථ කොට ඇත්තේය.

ඔහු සිදුකරන ලද වංචාව නම් රුපියල් මිලියන 78.2 ක වටිනාකමින් යුත් රත්‍රං, රත්‍රං ආභරණ සහ නවීන ජංගම දුරකථන 91 ක් අප්‍රකාශිතව කටුනායක ගුවන් තොටුපළෙහි ප්‍රභූ පර්යන්තය භාවිත කරමින් මෙරටට රැගෙන ඒමට උත්සහ දැරීමයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සිට ගුවන්ගතව ඇති FZ547 දරන ගුවන් යානයෙන් පැමිණි අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියා කලාපය තුළ අවධානයට ලක්කළ යුතු මූලික කරුණු රැසකි.

මාර්තු 12 ව්‍යාපාරය දැඩිව සැලකිලිමත්ව ඇති එම කරුණු මෙපරිදිය.

  1. මෙම මන්ත්‍රීවරයා මීට පෙර ද මෙවැන්නක් සිදුකොට ඇත්තේදැයි සොයා බැලීමට ඔහුගේ පෙර ගමන් වාර පිළිබඳව ද යම් පුර්ණ පරීක්ෂාවක් කොට ප්‍රභූ පර්යන්තය භාවිත කිරීම ඔහුට වහා තහනම් කල යුතුය.

  2. 1988 රේගු ආඥා පනත ප්‍රකාරව මන්ත්‍රීවරයාට එරෙහිව ඔහුගෙන් අයකර ගන්නා ලද දඩ මුදල ද ප්‍රශ්ණකාරී බව මාර්තු 12 ව්‍යාපාරයේ නිරික්ෂණයයි. එවැනි සාවද්‍ය ක්‍රියාවක නිරත පුද්ගලයෙකුගෙන් අයකරගත හැකි උපරිම දඩ මුදල අය කරගැනීමක් එහිදී සිදුව නොමැත. ඒ සඳහා වන පැහැදිළි අභිප්‍රායක් ද ඔවුන් තුළ තිබුන වගක් දිස් නොවේ. එබැවින් මෙම සිදුවීමත් සමඟ පැහැදිලි වන්නේ ව්‍යාපාරිකයන් අධෛර්යමත් නොකිරීම පදනම සේ ගනිමින් සකස් කොට ඇති මෙකී නීතිය වත්මන් කාලයට ඔබින සේ නැවත සංශෝධනයට ලක් කල යුතු බවය. යටත් පිරිසෙන් මෙවැනි වංචාවක නිරත වන්නේ මහජන නියෝජිතයෙක් නම් එකී පිරිසට එරෙහිව දඬුවම් දැඩිව ලබා දීමේ ක්‍රමවේදයක් වෙත අප වහා ප්‍රවේශ විය යුතුව ඇත රුපියල් ලක්‍ෂ 782 කට ආසන්න අප්‍රකාශිත අයිතම රැසක් මහජන නියෝජිතයන් වෙත පිරිනමන ප්‍රභූ වරප්‍රසාද වලට මුවාවෙමින් රැගෙන ආ මන්ත්‍රීවරයා රුපියල් ලක්‍ෂ 74 ක දඩයක් ගෙවා නික්මීම නීතය නිසි ලෙස යාවත්කාලීන නොවීමේ ප්‍රථිපලයක් නොවේදැයි මෙරටේ නීතිගරුක පුරවැසියන් ප්‍රශ්න කල යුතුය.

  3. මෙම අපකීර්තිමත් චර්යාවේ නිරතව හසුවූ පළමුවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ එක්සත් ජාතික පක්ෂයෙහි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියෙල්ය. ඒ මීට දශක හතරකට පෙරදීය. එහෙත් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කල ජේ.ආර්. ජයවර්ධන, නිශ්චිත ක්‍රියා පරිපාටියක් අනුගමනය කරමින් ඔහුව මන්ත්‍රී ධූරයෙන් නෙරපීමට කටයුතු කිරීම අදට ද ආදර්ශයට ගත හැකි යහ චර්යාවක් බව මාර්තු 12 ව්‍යාපාරයේ විශ්වාසයයි. එබැවින් වත්මන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මෙම දුෂ්චරිතවත් මහජන නියෝජිතයා කෙරෙහි දක්වන්නේ කවර ආකල්පයක් දැයි අපි ඉමහත් ඕනෑකමින් බලා සිටින්නෙමු.

  4. දැනටමත් මෙම මන්ත්‍රීවරයාට එරෙහිව විධිමත්ව ක්‍රියා කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගේ අත්සන් සහිත ඉල්ලීමක් කතානායකවරයා වෙත ලබා දී ඇත්තේය. එහෙත් ඒ සම්බන්දව කතානායකවරයාගේ ප්‍රතිචාරයක් ජනතාවට දන්වා නොමැත. එබැවින් මෙවැනි මහජන නියෝජිතයන් තව දුරටත් ආරක්ෂා කිරීමේ චෞරතන්ත්‍රමය චර්යාවේ නොයෙදෙන ලෙස සමස්ත පාර්ලිමේන්තුව වෙත අපි කරුණාවෙන් සිහිකරන්නෙමු. මෙවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට තබා කුඩා ග්‍රාමයක පිහිටි මරණාධාර සමිතියක හෝ සාමාජිකත්වයට සුදුසු නොවන බව ද අපි හඬගා පවසන්නෙමු.

මාර්තු 12 ව්‍යාපාරය මෙරටේ ස්ථාපිත කොට ඇත්තේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් රටෙහි ව්‍යාප්ත කෙරුමටය. එහෙත් එවැන්නක් සඳහා පවත්නා සැබෑ අභියෝගය නම් මෙරටේ සිදුවන අපකීර්තිමත් ක්‍රියා බොහොමයක් ඉතා රහසිගතව සිදු වීමයි. එබැවින් මේ අප හට ලැබී ඇත්තේ දුලභ අවස්ථාවකි. එනම් වංචාවේ නිරත බලවත් පුද්ගලයෙක් සාක්ෂි සහිතව නීතියේ රැහැනට හසු වීමයි. ඔහු ජනතා නියෝජිතත්වය නම්වූ උත්තුංග පදවියට කිසිසේත් සුදුසු නොවන බව සමස්ත ජනතාවම මේ වන විටත් වටහා ගෙන ඇත. ජනතාව වටහා ගත් එම සත්‍යය වත්මන් පාර්ලිමේන්තුව සහ අනුප්‍රාප්තික විධායක ජනාධිපතිවරයා වටහා නොගතහොත් අප රට තවත් දශකයක් ගෙවී ගියද, ලොව පතළ වනු ඇත්තේ නීතියේ ආධිපත්‍යය නොරැඳී අසමත් රටක් ලෙසය.

මාර්තු 12 මෙහෙයුම් කමිටුව වෙනුවෙන්, කැඳවුම්කරු
රෝහණ හෙට්ටිආරච්චි

leave a reply