සිව ආරූරන් මේ වනවිට දකුණේ බොහෝ සංවේදි හැඟීමෙන් කතාබහට ලක්වෙමින් සිටින්නෙකි. සිවලිංගම් ආරූරන් ඔහුගේ සම්පූර්ණ නම යි. යාපනයේ අල්වායි බටහිර නිලාවිල් ග්‍රාමය ඔහුගේ උපන් ගම වේ. එහෙත් මේ වන විට වසර 14ක් පුරා ඔහු කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා ගැනීමට ලක්ව සිටියි. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 40 කි.
ආරූරන් මොරටුව ඉංජිනේරු පීඨයේ උපාධිධාරියෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටිය දී සොයිසාපුර නිවාස සංකීර්ණය අසළ දී 2008 වසරේ මාර්තු මස 24 වන දින සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලදී. හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව 2013 වසරේ දී නඩු පවරන ලදී.
තමාව වධ හිංසාවට ලක් කර පාපොච්චාරණය ලබා ගත් බවට මෙම නඩුව නොවැම්බර් 1 වනදා කැඳවූ අවස්ථාවේ ආරූරන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. දෙපාර්ශවයට සිය ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට කාලය දී නඩුව දෙසැම්බර් 2 වනදා දක්වා කල් තබන ලදී.
මෙම නඩු වාරයේ දී සිව ආරූරන් ඉදිරිපත් වූයේ සාමාන්‍ය දේශපාලන සිරකරුවෙක් ලෙස නොවේ. මෙම නඩු වාරයට දින තුනකට පෙර ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි කරගෙන ගෞරවයට පාත්‍රව සිටියේ ය. දේශපාලන සිරකරුවෙක් ලෙස සිරගත කර සිටින ආරූරන් විශිෂ්ට නවකතාකරුවෙක් සහ කෙටිකතාකරුවෙක් බව සඳහන් කළ යුතු ය.
2008 වසරේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරූරන්ව අත් අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා තබා ගන්නා ලදී. වසරකට අධික කාලයක් වරාය පොලිසිය යටතේ රඳවා ගැනීමෙන් පසුව 2009 ජූනි මස 25 වන දින ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා වෙනත් ස්ථානයකට මාරු කර යවන ලදී. ඔහු කෙටි කතා ලිවීම ආරම්භ කළේ එහිදී ය. මුද්‍රිත මාධ්‍යයේ පළ වූ ඔහුගේ පළමු කෙටි කතාව වන්නේ ‘තායගම්’ (මව්බිම) යන කෙටි කතාව යි. වසර දෙකකට වැඩි කලක් ආරූරන්ව එසේ රඳවා තබා ගන්නා ලදී. ඔහුව 2013 සැප්තැම්බර් 17 වන දින වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයට මාරු කිරීමෙන් පසුව ඔහු නවකතාවක් ලිවීම ආරම්භ කළේ ය.
ආරූරන්ව ලේඛනය සඳහා පොළඹවන ලද්දේ ඔහු සමඟ සිරගතව සිටි දේවදාසන් නම් සහෝදර දේශපාලන සිරකරුවා විසිනි. අත් අකුරෙන් ලියන ලද සිය නිර්මාණ ආරූරන් විසින් මුද්‍රණය සඳහා යවනු ලැබුවේ එම මුල් පිටපත් සම්බන්ධයෙන් දේවදාසන්ගේ ප්‍රතිචාර ලබා ගැනීමෙන් අනතුරුව ය. ආරූරන්ගේ නවකතා, කෙටිකතා හි සෝදුපත් කියවා මුද්‍රණය කිරීම සහ එළි දැක්වීම ආදී සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ආරූරන්ගේ පියා වන සිවලිංගම් විසිනි. ඔහු සිය පුත්‍රයාගේ සාහිත්‍ය දිවිය කෙරෙහි කැපවෙමින් ආරූරන් බැලීමට යන විට පොත්පත් රැගෙන යයි. ආරූරන් පවසන්නේ සිය පියා නොමැති වී නම් තමාට සාහිත්‍ය කටයුතු කරගෙන යා නොහැකි වනු ඇති බව යි.
මෙම වසරේ ඔක්තෝබර් 28 වන දින පැවති රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී හොඳම දෙමළ නවකතාවට හිමි සම්මානය හිමි වූයේ ආරූරන් විසින් රචිත ‘ආතූරසාලෛ’ නම් නවකතාවට යි.
ඔහුගේ සාහිත්‍ය කෘතියට සම්මාන පිරිනැමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය හමුදාව විසින් ‘ත්‍රස්තවාදියෙක්’ ලෙස තීන්දු කර රඳවා සිටිය දී ය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වීම සාහිත්‍යකරුවන්ට හිමිවන උසස් ගෞරවයක් බවට සළකනු ලබයි. මෙවර සාහිත්‍ය උළෙලේදී හොඳම දෙමළ නවකතාව සඳහා ආරූරන්ගේ නම නිවේදනය කළ විට ඔහුත් සමඟ, නිල ඇඳුම්න් සැරසුණු බන්ධනාගාර නිලධාරියෙක් ඔහුගේ සෙවණැල්ල මෙන් වේදිකාවට ගොඩ වූයේ ය. ආරූරන් සම්මානය ලබා ගන්නා විට ද එම නිලධාරියාගේ හැසිරීම ද ඔහු තමාගේ භාරයේ සිටින සිරකරුවෙක් බව ප්‍රකට කරන ලදී. දේශපාලන සිරකරුවන් යනු ‘ත්‍රස්තවාදීන්’ බවට වන රාජ්‍ය අර්ථකථනය වෙනස් වී නොමැති බවට එම සිදුවීම හොඳින් සාක්ෂි සැපයීය. සැකකරුවන් ලෙස රඳවාගෙ සිටින පුද්ගලයන්ට අදාළව නඩු කටයුතු පවත්වා ගෙන ගොස් අවසන් තීන්දු ගැනීමට පෙරම රාජ්‍ය විසින් ඔවුන් ‘ත්‍රස්තවාදී’ වන බවට වන මතය නඩත්තු කරයි.
සිව ආරූරන් මේ වනවිට පොත් 7ක් එළි දක්වා ඇති අතර ඉන් එකක් ‘Innocent Victims” නම් ඉංග්‍රීසි බසින් රචිත කෘතියකි. සාහිත්‍ය සම්මානයක් හිමි වූ ඔහුගේ පළවෙනි නව කතාව ‘යාලිසෛ’ නම් වේ. ඔහුගේ සාහිත්‍ය නිර්මාණ 7න් 4කට ම සාහිත්‍ය ඇගයුම් හිමි වී ඇත.
මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ නව කතාව උතුරු පළාත් හොඳම නව කතාව ලෙස ද සම්මානයට පාත්‍ර විය.
හොඳම සාහිත්‍යකරුවාට පිරිනැමෙන උදයනන් සම්මානය ද ආරූරන්ට හිමි විය. ‘යාවරුම් කෙලීර්’, ‘වලසෛප් පරවෛගල්’ ‘ ඌමෛ මෝගම්’ සහ ‘පූමාංචෝලෛ’ යන කෘති ඔහුගේ අනෙක් නිර්මාණ අතර වේ. ”ඌමෛ මෝගම්’ යන නව කතාව 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ විය. එසේම එම කෘතියට උතුරු පළාතේ සංස්කෘතිය දෙපාර්තමේන්තුව විසින් හොඳම නව කතාවට හිමි සම්මානය පිරි නමන ලදී.
සිව ආරූරන් පමණක් නොව විවේකානන්දනූර් සතීෂ් ආදි සාහිත්‍යධරයන් කිහිප දෙනෙක්ම මෙසේ දේශපාලන සිරකරුවන් වශයෙන් රඳවාගෙන සිටීමට ලක්ව ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි මිරුදන්ගල් (කර්ණාටික සංගීතයේ භාවිතා වන බෙරයකි) වාදකයෙක්, සාහිත්‍යවේදියෙක් සහ ලලිත කලා විශාරදයෙක් වන කනේසසුන්දරම් කන්නදාස් පසුව නිදහස් කරන ලදී. සතීෂ් විසින් ‘වේප මරමුම් පවලම් ආච්චි’ නමින් කෙටි කතා එකතුවක් එළි දක්වා ඇත. කවියෙක් ද වන සතීෂ්ගේ කාව්‍ය නිර්මාණ කෘති ලෙස එළි දක්වා ඇත. විශිෂ්ට සාහිත්‍යවේදියෙක් වන සතීෂ් ද වධ හිංසනයෙන් මිදී සිය පවුල සමඟ එක් වන දිනය උදා වනතුරු මග බලා සිටියි.
දේශපාලන සිරකරුවන් ලෙස රඳවා ගෙන සිටින සාහිත්‍යවේදීන් ඇතුළු පුද්ගලයන්ට රාජ්‍ය විසින් දිය හැකි හොඳම ගෞරව සම්මානය වන්නේ ඔවුන්ව කොන්දේසි විරහිතව නිදහස් කිරීම යි.
මූලාශ්රය – තීම්පුනල් සඟරාව
උපුටාගැනීම සහෘදස්පන්දන සැප්තැම්බර් – දෙසැම්බර් කලාපය 2022