Breaking News

රාජ්කුමාරි ඝාතනය ගැන පරීක්ෂණ ස්වාධීනද ?

වැලිකඩ පොලිස් භාරයේදී මරණයට පත් වූ ආර්.රාජ්කුමාරි නැමති ගෘහ සේවිකාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ සී.සී.ටී.වී දර්ශන ලබාගෙන විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද (ජුනි 02 වැනිදා) නියෝග කර තිබේ.

මරණකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන මුලින්ම වැලිකඩ පොලිසිය විසින් ක්‍රියාත්මක කළ අතර පසුව පොලිස්පතිවරයාගේ නියෝග මත එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණා.

ඒ අනුව අදාළ පැමිණිල්ල අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන කිරීමට අවශ්‍ය වී ඇතැයි දන්වා තිබේ.

එම අවස්ථාවේදී මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ස්වාමීනි… මෙම මරණකාරියගේ දේහය මහමඟ දමා තිබියදී සොයා ගත් බව වැලිකඩ පොලීසියේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා. එසේ මහමග තිබී මෘත ශරීරයක් සොයා ගත්තා නම් පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු නීති මාලාවක් තිබෙනවා. එසේ දේහයක් සොයා ගත් විට ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තමන්ගේ සාක්කු සටහන් පොත් වල සටහන් කළ යුතුයි. ඒ වගේම අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පෝරම සම්පූර්ණ කළ යුතුයි. එසේම රෝහල් පොලිස් මුරපොල දැනුවත් කිරීමට කටයුතු කළ යුතුයි. එහෙත් මෙම සිද්ධියේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර තිබේද යන්න පිළිබඳව සැකයක් මතුවී තිබෙනවා. එම නිසා වැලිකඩ පොලීසියේ නිලධාරීන් විසින් එම නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර තිබේද? යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා”යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ පතිරාජ ” මරණකාරිය ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කළ තැනැත්තියක්. මෙවැනි තැනැත්තියන්ට තිබෙන්නේ ඉතා අවම අයිතිවාසිකම්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාධාරණ පරීක්ෂණයක් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. එම පරීක්ෂණය ස්වාධීනව සිදුවෙනවාද? යන්න අධිකරණය විසින් අධීක්ෂණය කළ යුතුයි.” යනුවෙන් නීතිඥවරයා පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කර ඇති විමර්ශනවලට අදාල රහසිගත වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අද මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කළහ.

එම වාර්තා පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයා මරණකාරිය අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයෙන් සී.සී.ටී.වී දර්ශන ලබාගෙන වැඩිදුර විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.

එමෙන්ම මරණකාරිය සම්බන්ධයෙන් වූ රෝහල් හා පොලිසිය භාරයේ ඇති ලේඛන මෙන්ම ඒ හා බැඳුණු සෙසු ලේඛන සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන ලෙසත් විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයේ දැක්විණ.

ඉන් අනතුරුව පැමිණිල්ල ලබන 21 වනදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර තිබේ.

leave a reply