Tag: ata

  • ත්‍රස්ත පනත ගැන තීන්දුව ප්‍රකාශයට පත්වෙයි

    ත්‍රස්ත පනත ගැන තීන්දුව ප්‍රකාශයට පත්වෙයි

    ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ.

    අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.

    එම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පහත පරිදි වේ.

    • 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

    • එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනය සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

    • 4 වන වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, සුදුසු පරිදි සංශෝධනය විය යුතුය.

    • 61 (1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම්, එම අනුනුකූලතාවය ඉවත්ව යනු ඇත. ඊට අනුරූපව 72 (2) වගන්තිය ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධනය කළ යුතුය.

    • 75 (3) වගන්තිය ආණ්ඩු ව්‍යවස්ථාවේ 3 වන අවස්ථාව සමග කිව යුතු 4 (ඈ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, තුනෙන් දෙකක බහුතරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.

    • 83 (7) වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.

    • තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පමණක් පනත් කෙටුම්පත නීතියක් බවට පත්කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

  • ATA හරහා අධිකරණයේ බලය නීතිපතිට පවරනවා – නීතිඥ නුවන් බෝපගේ

    ATA හරහා අධිකරණයේ බලය නීතිපතිට පවරනවා – නීතිඥ නුවන් බෝපගේ

    යෝජිත ත්‍රස්ත විරෝධී පනතෙන් අධිකරණය සතු බලතල නීතිපතිවරයාට පවරා ඇති බවත්, එය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් නීතිඥ නුවන් බෝපගේ පැවසීය.

    නීතිඥ බෝපගේ ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව වෙනුවෙනි.

    මෙහි එන්නේ නීතිඥ නුවන් බෝපගේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළ කරුණු ඉදිරිපත් කිරීමෙහි, සිංහල සංක්ෂිප්තයකි.

    මා පෙනී සිටින්නේ, දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකු සහ වෘත්තිය සමිති නායකයෙකු වෙනුවෙන්.

    ත්‍රස්තවාදය පිළිබද අදහස මුලින්ම ප්‍රංශ විප්ලවයේදී විප්ලවයට එරෙහිව දේශපාලනිකව පාවිච්චි කළා. පලස්තීන අර්බුදයේදී පලස්තීනයට එරෙහිව එම තර්කය පාවිච්චි කළා. ජනතාවගේ නැගිටීම්වලට ත්‍රස්තවාදය පාවිච්චි කරන අවස්ථාවලදී, පීඩිතයන්ගේ කෝණයෙන් බැලූ කළ එය ත්‍රස්තවාදයක් ලෙස සලකන්නේ නෑ.

    යම් නීතියක් අපැහැදිලි, විෂය පථය ඉක්මවන, අවිෂද (පුරවැසියාට නීතියෙන් ස්ථාපිත වන වරද හරිහැටි අවබෝධ නොවන) එකක් වන්‍නේ නම්, එහි වාසිය ඇත්තේ වරදකරුවන්ට පමණයි.

    පෝට් සිටි පනත පිළිබද සහ 20 වැනි සංශෝධනය පිළිබද ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල සදහන් වුණා, නීතියක් අපැහැදිලි, නිශ්චිත නොවන විටදී එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වැනි ව්‍යවස්ථාව වන්නේ ‘නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේය.‘ යනුවෙන්.

    මෙම පනත් කෙටුම්පතෙන් විධායකයට පුද්ගලයන් සිරභාරයට ගැනීමට ඉඩ සලසනවා. යම් කෙනෙකු ත්‍රස්ත ක්‍රියාවක් කරනවායැයි සිතුණොත්.

    පනතේ 3.1 (ආ) වගන්තිය වන්නේ ‘යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව‘ සිදු කරන ක්‍රියාවක් හෝ නොකර හැරීමක් පිළිබද.

    ඒ අකුන ආණ්ඩුවට පමණක් නෙවෙයි, වෙනත් ආණ්ඩුවකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට පවා යම් කිසි දෙයක් කරන්නට බලපෑම් කිරීම ත්‍රස්තවාදය වෙනවා.

    වෘත්තිය සමිතිවලට සහ පොදුජනතාවට විරෝධය පෑමේ අයිතියක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව කච්චතිව් දූපත අල්ලාගන්නට හැදුවොත්, එයට එරෙහිව ඉන්දියාවේ ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීමේ අයිතියක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධාකාර බදු ප්‍රතිපත්ති ආදිය ක්‍රියාත්මක කරවන විට, ඒ ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධය පෑමේ අයිතියක් තිබෙනවා.

    ජනතාවට ඒ ඒ තීන්දුවලට එරෙහිව විරෝධය දැක්විය හැකියි.

    සෑම විරෝධයක්ම සාමකාමීව අවසන් වන්නේ නැහැ. රජයට වුණත්, විරෝධතා කඩාකප්පල් කිරීමේ අරමුණෙන් කෙනෙක්ව යෙදවීමේ හැකියාව තිබෙනවා. එහෙත් එය ත්‍රස්තවාදය විය හැකිද?

    විරෝධයකදී යම් දේපළක් බිදුණොත් රජයට පුළුවන් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ඒක නම් කරන්න. පනතේ මෙවැනි අපැහැදිලිතාව විසින් ඉතා බරපතල ප්‍රතිඵල ඇති කිරීමට ඉඩ තිබෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව – ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කෙක්ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ ය.‘

    මෙම බලය අවභාවිත කිරීමේ අවදානමක් පවතිනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි සංශෝධය පිළිබද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව බලය අවභාවිත කිරීමට යම් වරදක් කරන්නට ඉඩ තිබෙනවාදැයි සැකය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එහෙත්, එයින් පසුව ලබා දුන් සුභසාධක ප්‍රතිලාභ පනත් කෙටුම්පත පිළිබද නඩු තීන්දුවේ සදහන් වෙනවා ‘යම් නීතියක් හදුන්වාදුන් පසු, කුමක් සිදුවේදැයි අනුමානයන් ඉදිරිපත් කිරීම අධිකරණයේ විෂය පථයට අයත් නොවන නමුත්, අධිකරණය යම් පනත් කෙටුම්පතක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් වැළැක්වීම සදහා ‘ප්‍රමාණවත් ආරක්ෂණයන්‘ තිබේදැයි සලකා බැලිය යුතු බව. වෙනස්කම් කිරීම වැළැක්වීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අත්තනෝමතික බව වැළැක්වීම සදහා ආරක්ෂණ ප්‍රතිපාදන තිබේදැයි සලකා බැලිය යුතු බව.‘

    මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අවුරුදු 40ක් තිස්සේ පවතිනවා. ඒ අනුව අවභාවිතයන් පිළිබද උදාහරණ තිබෙනවා. ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන ලෙස මේ වන විට පොදු විරෝධයක් පවතිනවා.

    ප්‍රමාණවත් ආරක්ෂණයන් නොමැති තැන බලය අවභාවිත කිරීම් සිදු වෙවන්න පුළුවන්. මේ පනතේ ත්‍රස්තවාදියා පිළිබද අර්ථකතනය වටා තමයි සියල්ල තියෙන්නේ. මෙම පනත අවභාවිතය වැළැක්වීම සදහා කිසිම ආරක්ෂණ විධිවධානයක් නැහැ.

    රදවා තබාගැනීම් නියෝගයක් නිකුත් කළාට පසුව තමයි මානව හිමිකම් කොමිසමට ආදී මැදිහත්වීම් ගැන ප්‍රතිපාදන සදහන් වන්නේ. එහෙත්, පනතේ ත්‍රස්තවාදය පිළිබද නිර්වචනය අපැහැදිලි නිසා, ආරක්ෂාව පිළිබද ප්‍රමාණවත් සහතිකයක් ලැබෙන්නේ නැහැ.

    පනතේ 10 වැනි වගන්තියේ ‘ත්‍රස්තවාදය දිරිගැන්වීම‘ වරදක් ලෙස සදහන් වෙනවා. – ‘ජනතාවගේ ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් හෝ ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඒ සදහා සූදානම් වීමට ඔවුන් ඍජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘෂ්‍ය නිරූපණය සිදු කරන්නා වූ සහ,

    එමගින් ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ජනතාව ඍජුව හෝ වක්‍රව දිරිගැන්වීමට හෝ පෙළඹවීමට අරමුණු කරන්නා වූ හෝ

    ඒ ප්‍රකාශයෙන් ජනතාව ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ඍජුව හෝ වක්‍රව දිරිගැන්වෙන්නේද නැතහොතත් පෙළඹවෙන්නේ ද යන්න පිළිබද අනවධානීව සිටින්නා වූ,

    තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන්නේය.‘

    ත්‍රස්ත ක්‍රියා පමණක් නෙවෙයි, මේ පනතෙහි නිර්වචනය වන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම පවා වැරදි ලෙස සදහන් කරනවා.

    මුද්‍රිත, අන්තර්ජාල, ඉලෙක්ට්‍රොනික සහ අනෙකුත් මාධ්‍ය ඉලක්ක කරනවා.

    මම පෙනී සිටින්නේ දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු වෙනුවෙන්. ඔහු වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාකාරකමක් සංවිධානය කළාට පසු, ෆේස්බුක් සහ වෙනත් මාධ්‍යවලින් ඒ විරෝධයට එන්න කියා ප්‍රවර්ධනය කරන්න පුළුවන්. පුද්ගලයන් ඒ පණිවිඩය හුවමාරු කරන්න පුළුවන්.

    රජයේ ඕනෑම ක්‍රියාවක් ගැන විරෝධයක් සංවිධානය කළොත්, ඒ ගැන කතා කරන්න පුළුවන්. විධායකයට එම සිදුවීම අවභාවිත කළ හැකියි. එවැනි විරෝධයකදී යම් සිදුවීමක් සිදු වුණොත්, විරෝධය පිළිබද තොරතුරු හුවමාරු කළ අය ‘ත්‍රස්ත චෝදනා‘ ලැබිය හැකියි.

    70 වැනි වගන්තිය අධිචෝදනා කිරීම අත්හිටුවීම සහ කල්තැබීම පිළිබද බලතල නීතිපතිවරයාට ලබා දෙනවා. – ‘නීතිපතිවරයා විසින්… මෙම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි කියනු ලබන යම් තැනැත්තකුට එරෙහිව අපරාධ නඩු පැවරීම වසර විස්සක් නොඉක්මවන කාල සීමාවක් සදහා අත්හිටුවීම සහ කල් තැබීම කරනු ලැබිය හැකිය.‘

    72 වගන්තිය යටතේ නඩු විභාගය අවසන් වනතෙක් රදවා තැබීම සදහා බලතල නීතිපතිවරයාට දෙනවා. ‘ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සැලකිල්ලට ගනිමින් මහාධිකරණය නිශ්චය කරනු ලැබිය හැකි යම් කොන්දේසිවලට යටයත්ව යම් බලධරයෙකුගේ භාරයේ, යම් ස්ථානයක ඒ තැනැත්තා තැබීමට නියම කරනු ලැබිය හැකිය.‘

    පළාත් පාලන පනත් කෙටුම්පත සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව යම් ආයතනයක ස්වෛරීත්ව බලය තවත් කොටසකට අන්සතු කළ නොහැකියි.

    මෙම පනත අනුව නීතිපතිවරයා අපරාධ නඩු පැවරීම වසර 20ක් දක්වා කල් දැමීමට බලය ලබා ගන්නවා. දඩුවම් කිරීමේ හෝ නොකිරීමේ බලය අධිකරණය සතු ස්වෛරීත්ව බලයක්. යම් විදියකට සැකකරුවෙකුට හැකියාව තිබෙනවා වරද පිළිගැනීමට හෝ සමාව ගැනීම ආදී ක්‍රියාවන්ට. එහෙත් එය සිදු කළ යුත්තේ අධිකරණය ඉදිරියේ, අධිකරණය හමුවේ. එයට නීතිපතිවරයා මැදිහත් විය නොහැකියි.

    අපි දන්නවා ප්‍රායෝගිකව මෙය සිදු වන ආකාරය. පුද්ගලයෙකුට රැදවුම් නියෝග දීලා, දීර්ඝ කාලයක් රදවාගෙන ඉදලා වෙහෙසට පත් කළාට පසු එම පුද්ගලයා සමග නීතිපති දෙපාර්තමේන්තුවට හෙට්ටු කිරීමේ හැකියාවක් ලැබෙනවා. නීතිපතිවරයා චෝදනා තිබේ නම් නඩු පැවරිය යුතුයි, චෝදනා නොමැති නම් නිදහස් කළ යුතුයි. මහේස්ත්‍රාත්වරයාට, මහාධිකරණයට තිබෙන බලයක් මේ. ඇප ලබා දීමේදී කොන්දේසි පැනවීම ආදිය කළ හැක්කේ අධිකරණයට.

    මෙය විධායකයේ එක් අවයවයක බලය තවත් අවයවයකට පැවරීමක්. මෙය අධිකරණය එක් අතකින් බලය ලබා දී, තව අතකින් යළි පවරාගැනීමක්.

    මෙම කරුණු නිසා මෙම පනත මූලික අයිතිවාසිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදය උල්ලංඝනය කරන බවත්, ඒ අනුව තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් මෙම පනත සම්මත කළ යුතු බවත් යෝජනා කරනවා.

    උපුටා ගැනීම – සටහන් බ්ලොග් අඩවිය

  • ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

    ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

    ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් 29ක්

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 29 ක් ගොනුකර තිබේ. පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (26 වැනිදා) ආරම්භ විය.

    මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

    ත්‍රස්තවාදය කුමක්ද යන්න විග්‍රහ කර නැහැ
    පෙත්සම්වල සඳහන් වන පරිදි යෝජිත පනත් කෙටුම්පත තුළින් “ත්‍රස්තවාදය” යන්න කුමක්දැයි පැහැදිලිව අර්ථකථනය කර නොමැත.එසේම “ත්‍රස්තවාදී ක්‍රියා” යන්නට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට අදාළ නොවන චෝදනා ගණනාවක්ම ඇතුළත් කර ඇති බවත් එය අතිශය භයානක තත්ත්වයක් බවත් පෙත්සම් වල සඳහන්ය . මේ හරහා ඕනෑම අපරාධ ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමට බලධාරීන්ට අවස්ථාව සැලසෙන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන පුද්ගල නිදහස සීමා වන බවත් එම පෙත්සම් වලින් චෝදනා කර තිබේ.

    වෙරළ ආරක්ෂක බලකායටත් අත් අඩංගුවට ගැනීමේ බලතල
    පනත් කෙටුම්පතේ 19 වන වගන්තිය තුළින් රජයේ ආරක්ෂක හමුදාවලට සහ වෙරල ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පවරාදී තිබෙන බවත් පෙත්සම් වලින් එල්ල කර තිබෙන තවත් ප්‍රබල චෝදනාවකි. එසේම පනත් කෙටුම්පතේ 22 වන වගන්තිය තුළින් රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට සහ වෙරළ ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට ඕනෑම පුද්ගලයකු නැවැත්වීමටත් ඕනෑම පරිශ්‍රයකට ඇතුළුවීමටත් බලය ලබා දී තිබෙන බවත් පෙත්සම්වල දැක්වෙයි.

    එසේම පනතේ 53 වන වගන්තියට අනුව රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට හා වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයින්ට වාහන හෝ නැව් නැවැත්වීමට බලය ලබාදී තිබෙන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

    රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට හා වෙරළ ආරක්ෂක බලකායේ සමාජිකයින්ට ලබා දී තිබෙන මෙම බලතල අතිශය අත්තනෝමතික වන බවත් එය නීතියේ ආධිපත්‍යයේ පැවැත්මටත් තර්ජනයක් බවත් ඔවූහූ පෙන්වා දෙති. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ජනතා පරිමාධිපත්‍යය, පුද්ගලික නිදහස හා මූලික අයිතිවාසිකම් සීමා කිරීම මේ හරහා සිදුවන බවත් පෙත්සම්වල සඳහන්ය.

    පුද්ගලයින් රඳවා ගැනීම සම්බන්ධ බලතල
    යෝජිත පනත් කෙටුම්පතේ 30(1) වගන්තිය තුළින් මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අපරාධ නඩු පැවරීමකින් තොරව වසරක් නොඉක්මවන කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගත හැකි බව සඳහන් කර ඇතැයි පෙත්සම් වලින් කරුණු දක්වා තිබේ. එසේම එම වගන්තිය තුළින් වසරක කාලයක් ඉක්ම ගිය පසුව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ කරනු ලබන ඉල්ලීමකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරන කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ද අවකාශ සලසා දී තිබෙන බවත් පෙත්සම්වල දැක්වෙයි.

    ඊට අමතරව පනත් කෙටුම්පතේ 31 වන වගන්තිය තුළින් ආරක්ෂක ලේකම්වරයාට පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා මාස තුනක කාලයක් බලපැවැත්වෙන පරිදි රැඳවුම් නියෝග නිකුත් කිරීමටද බලය ලබාදී ඇති බවත් මෙය අනතුරුදායක තත්ත්වයක් බවත් පෙත්සම්කරුවන් දක්වා ඇත. මෙය අධිකරණය සතු බලය කප්පාදු කිරීමක් වන අතර අධිකරණය සතු බලය මේ ආකාරයෙන් රජයේ නිලධාරීන් සතු කිරීම අනතුරුදායක බවත් පෙත්සම් වලින් පෙන්වා දී ඇත.

    පනත් කෙටුම්පතේ 22 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයා එම රැඳවුම් නියෝගවලට අවනත වෙමින් කටයුතු කළ යුතු පරිසරයක් නිර්මාණය කර තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයාට සිය බලය ක්‍රියාවේ යෙදවිය හැකි වපසරිය සීමා කර තිබෙන බවත් පෙත්සම්කරුවන් දක්වන තවත් කාරණයකි. පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ අධිකරණයට පමණක් බවත් ඒ සඳහා මැදිහත්වීමට අධිකරණයට තිබෙන බලතල ද කප්පාදු කර ඇති බවත් අධිකරණය සතු බලතල විධායකය විසින් අත්පත් කර ගැනීම අතිශය භයානක බවත් අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

    ජනාධිපතිවරයාට පැවරී තිබෙන අත්තනෝමතික බලතල…
    යෝජිත පනත් කෙටුම්පතේ 37(7) වගන්තිය තුළින් රැඳවුම් නියෝගවලට අදාළ කොන්දේසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් වලින් එල්ල කර තිබෙන තවත් චෝදනාවකි. එසේ පනවනු ලබන කොන්දේසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවෙයි. පාර්ලිමේන්තුවේ සුපරික්ෂණයකින් තොරව ජනාධිපතිවරයාට මෙම බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දීම නීතියට පටහැනි බවත් එය රාජ්‍ය බල තුලන මූලධර්මයටත් පටහැනි ක්‍රියාවක් වන අතර ඒ හරහා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවත් අදාළ පෙත්සම් වලින් පෙන්වා දී තිබේ.

    මූලික අයිතිවාසිකම් කඩවන ආකාරය…
    අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඉහත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍යය, නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය, අනීතික ලෙස රඳවා ගැනීමට එරෙහි මූලික අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය, සිතීමේ නිදහස පිළිබද මූලික අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්වල සඳහන් කර තිබේ.

  • වංචනික ලෙස සම්මත කරන නීති පිළිගත යුතු නැහැ – පුබුදු ජයගොඩ

    වංචනික ලෙස සම්මත කරන නීති පිළිගත යුතු නැහැ – පුබුදු ජයගොඩ

    “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනත් කෙටුම්පත වංචනිකව සම්මත කිරීමේ උත්සාහයක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ වැඩිදුරටත් මෙසේ පැවසීය.
    ”මේ පනත් කෙටුම්පතේ නම තියෙන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනත කියලා. නමුත් මේකෙන් කරන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව තහවුරු කරන එක නෙවෙයි, මාර්ගගත ක්‍රම හරහා ජනතාවට අදහස් ප්‍රකාශනයට තිබෙන ඉඩකඩ උදුරා ගන්න එක. මේක සමාජ මාධ්‍ය මර්දන පනතක් සහ සමාජ මාධ්‍ය භීතිකා පනතක්. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකතු වෙලා ගෙනයන වැඩපිළිවෙල නිසා ජන ජීවිත විනාශ වෙමින් තියෙනවා. ජීවත් වීම පවා අසීරු වෙමින් විශාල මහජන කෝපයක් වර්ධනය වෙමින් තියෙනවා. ඉදිරියේදී දැවැන්ත ජන අරගලයක් ඇති වෙයි, ඒ අරගලය සංවිධානය වීමේදී සහ ඊට අදාළ මතවාදය සකස් වීමේදී සමාජ මාධ්‍ය ඇතුළු මාර්ගගත ප්‍රචාරණය වැදගත් කාර්ය කොටසක් කරයි කියලා මේ ගොල්ලෝ බයයි. ඒ වගේම ඉදිරියේදී ජනතා පීඩනය නිසා මැතිවරණයක් පවත්වන්න සිදු වුනොත් සමාජ මාධ්‍ය මේ තක්කඩි ආණ්ඩුව එලවන ක්‍රියාවලියේ ලොකු කාර්යභාරයක් කරයි කියලා ආණ්ඩුව බයයි. මේ වගේ මර්දන පනත් ගෙන එන්නේ බයට. තොරතුරු සමාජගත කිරීමට රටේ මුළු ජනතාවම මැදිහත් වෙනවා. ඒ නිසා මේ අයට ඕන ඕන සෙල්ලම් කරන්න ඉඩක් නෑ. නිදසුනක් ලෙස පසුගියදා නාරම්මලදී පොලිස් නිලධාරියෙක් සිවිල් ඇඳුමෙන් සැරසිලා ඇවිත් රියැදුරෙක් මරා දැමු සිදුවීම මුළු රටම දැන ගත්තේ ඒ අවට සිටි ජනතාව එය රූගත කර සමාජ මාධ්‍ය හරහා රටටම ලබාදුන් නිසා. නැතිනම් පොලීසිය කියයි පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්, නාඳුනන තුවක්කුකරුවන් වගේ කතාවක්. මෙන්න මේ තොරතුරු සන්නිවේදනයට තමයි පාලකයෝ බය වෙලා ඉන්නේ. අලුත් නීති හදන්න යන්නේ ඒකට.
    මේ පනත් කෙටුම්පතේ තියෙනවා කොමිසමක් ගැන. ඒ කොමිසමේ සාමාජිකයෝ පස් දෙනාම පත් කරන්නේ ජනාධිපති. ඒ අයව ඇස කරන බලයත් ජනාධිපතිට. කොමිසමේ සභාපති පත් කරන්නෙත් ජනාධිපති. මේ කොමිසම තමයි මොනවද සත්‍යය, මොනවද අසත්‍යය, මොනවද සමාජ මාධ්‍ය වලින් කිව යුත්තේ, මොකක්ද නොකිව යුත්තේ කියලා තීරණය කරන්නේ. මීට පෙර පැමිණි පනත් වල තියෙන්නේ ‘අසත්‍ය ප්‍රකාශ’, ‘නීති විරෝධී ප්‍රකාශ’ වගේ වචන. නමුත් මේ පනත් කෙටුම්පතේ තියෙන්නේ ‘තහනම් ප්‍රකාශ’ කියලා වචනයක්. තහනම් කරන අදහස් මොනවද කියලා තීරණය කරන්නේ අර කොමිසම. ඒ ගොල්ලන්ට දෙවියන් වහන්සේ වගේ බලයක් දීලා. මේ පනතේ තියෙනවා ජනතාව කැරලි ගැසීමට පොළඹවන ප්‍රකාශ සමාජ මාධ්‍ය වල කළොත් සිර දඬුවම් දෙනවා කියලා. ඕක අර නාරම්මල සිදුවීමටත් කියන්න පුළුවන්. ඒවා දැක්කාම ජනතාව කැරලි ගහන්න ඉඩ තියෙනවා, ඒ නිසා ඒවා හංගන්න කියලා කියාවි. මේකේ තියෙනවා ආගමික හැඟීම් වලට රිදවන ප්‍රකාශත් තහනම් කියලා. ඒ රිද්ර්ණ තැන කවුද තීරණය කරන්නේ? දෙවියන් අදහන කෙනෙකුට දෙවියන් නැහැ කිව්වත් රිදෙන්න ඉඩ තියෙනවා. මේ වගේ නීතියක් පුනරුද සමයේ යුරෝපයේ තිබුණානම් දෙවියන් නැහැ කිව්වා දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, කලාකරුවෝ ඔක්කොම හිරේ දානවා. ඒ කාලෙත් එහෙම එකක් තිබුණා පල්ලියේ අධර්ම මර්ධනාධිකරණය කියලා. නමුත් ඒවා අහෝසි වුණා. 14,15 සියවස් වල ලංකාවේ අධර්ම මර්ධනාධිකරණයක් තිබුණේ නෑ. යුරෝපයේ තිබුනා. යුරෝපය ඒවා අහෝසි කළා. දැන් 21 වන සියවසේදී ලංකාවේ කලින් නොතිබුණු අධර්ම මර්ධනාධිකරණයක් වගේ මර්දන ව්‍යුහයක් හදන්න තමයි මේ නීති එන්නේ. සියවස් හත අටක් පස්සට සමාජය ගෙනයන මේවා පරාජය කළ යුතුයි.
    අනෙක් එක මේ නීති ගෙනෙන ආකාරය මුළුමනින්ම වංචනිකයි. මේ පනත් කෙටුම්පත කලින් ගැසට් කළ වෙලාවේ ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 30ක් පමණ ගොනු කළා. මේ කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඒවායෙන් අභියෝග කළා. ඒ නඩුවේදී නීතිපති මොකද කළේ? නීතිපති අධිකරණයට ඇවිත් කිව්වා මේවා ව්‍යවස්ථාවට පටහැනියි තමයි, පටහැනි ඒවාට සංශෝධන කරලා සම්මත කරන්න ඉඩ දෙන්න කියලා. නීතිපතිගේ කාර්යභාරය මොකක්ද? නීතිපති දෙපාර්තමේන්තුවට මහජන බදු මුදලින් වැටුප් ගෙවන්නේ ඇයි? යම් පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, අනනුකූලද කියලා ඔවුන් කැබිනට් මණ්ඩලයට උපදෙස් දෙන්න ඕන. ව්‍යවස්ථාවට අනුකූල නැතිනම් ඒවා සංශෝධනය කරන්න ඕන. ගැසට් කළ යුත්තේ ඊට පසුව. පනත් කෙටුම්පතක් ගැසට් කළ පසුව අධිකරණයට ඇවිත් මේවා ව්‍යවස්ථාවට අනනුකූලයි, සංශෝධන කරන්නම් කියන්න නීතිපති කෙනෙක් මොකටද? නීතිපති දෙපාර්තමේන්තුව විසිරුවා හැරියානම් හරි. ඊට පසුව නීතිපති සංශෝධන හතලිස් ගණනක් ඉදිරිපත් කළා. නඩු විභාගය තිබුණේ දවස් තුනයි. පළමු දවසේ සංශෝධන විශාල ප්‍රමාණයක් දුන්නාම ඒවා අධ්‍යනය කර ප්‍රතිචාර දක්වන්න පෙත්සම්කරුවන්ට කාලයක් නැහැ. පාර්ලිමේන්තුවේ විවාදයට කලින් පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේ ඇයි? ඒ සඳහා අභියෝග කරන්න පුරවැසියන්ට දින 14ක කාලයක් දෙන්නේ ඇයි? පනත් කෙටුම්පත අධ්‍යනය කර, විරෝධතා දක්වන්න කාලයක් අවශ්‍ය නිසා. එක පාරටම සංශෝධන 40ක් 50ක් දීලා දවසෙන් දෙකෙන් තීරණ ඉල්ලනවානම් මේවා කලින් ගැසට් කරන එකත් තේරුමක් නෑ. ආණ්ඩුවට කරන්න තියෙන්නේ තමන් කැමති නීති හදලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න එක. ඒ නීති පිළිපදිනවාද නැද්ද කියන එක ජනතාව තීරනය කළ යුතුයි. අනෙක තමයි මේවා සම්මත කරන්න තියෙන හදිසිය. පාර්ලිමේන්තුවේ විවාද කරන්න දුන්නේ දවස් දෙකයි. විපක්ෂය දිගින් දිගටම කිව්වා මේක දැන් විවාදයට ගන්න එපා කියලා. නමුත් ආණ්ඩුව අද උදේ කළේ විවාදයට ගන්නවාද නැද්ද කියලා ඡන්දය විමසුවා. ඕන දෙකට අත උස්සන පොහොට්ටු වහල්ලු 83 දෙනෙක් ඒකටත් අත උස්සලා. මේකෙන් පෙනෙන්නේ මේ ජනතා ද්‍රෝහී පනත සම්මත කරන්නත් මේ ගොල්ලෝ අත උස්සයි කියලා. එහෙම අත උස්සන අයගේ දේශපාලන අනාගතය ගැන ජනතාව තීරණයක් ගන්න.
    මේ මර්දන නීති පරාජය කරන්න අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නෑ. ආණ්ඩුව නීතිපති හරහා අධිකරණයට කඩිමුඩියේ සංශෝධන දුසිම් ගණන් දානවා. නැතිනම් කාරක සභා අවස්ථාවේදී බරපතල සංශෝධන ගෙනෙනවා. මේ මර්දන පනත් පාර්ලිමේන්තුවේ පරාජය කරන්න බෑ කියලා මෙතෙක් ලැබුණු අත්දැකීම් ගණනාවක් අපට පෙන්වනවා. දැන් බෙලහීන ප්‍රතිපත්තියක ඉන්න විපක්ෂය කියන්නේ මොකක්ද? ආණ්ඩුව මේක සම්මත කර ගත්ත දෙන, අපට බලය දෙන්න, අපි ආවම මේ වගේ පනත් අවලංගු කරනවා කියලා. මේ ප්‍රශ්නය පාවිච්චි කරලත් ඡන්ද ගසා කන්න බලන්නේ. පනත පරදවන්න අපට ඡන්දය දෙන්න කියන තැනක විපක්ෂය ඉන්නේ. පස්සේ අවලංගු කරන එක පසුව බලාගමු, දැන් කරන්න ඕන මේ පනත් ගෙන ඒම නවත්වන එක. ඒකට ජනතාව පෙලගස්වන එක. ඒක නොකර මැතිවරණ ව්‍යාපෘති වලට මේ ප්‍රශ්න පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. මර්දන අණ පනත් ඇතුළු හැම ප්‍රශ්නයක්ම විසඳිය හැක්කේ පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කිරීමෙන් විතරයි කියලා පැහැදිලියි. ඒ සඳහා පෙරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ මර්දන පනත් සම්මත වුනත් ඒ නීති පිළිගන්න එපා, ඒවා කඩන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ නීති රජය සහ ජනතාව අතර සමාජ සම්මුතියට පටහැනියි. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කිරීමට ඡන්දය දුන් ජනතාවගේ ජන වරමට පටහැනියි. ඒ නිසා මේ නීති ජනතාව පිළිපැදිය යුතු නෑ. මේ වගේ මර්දන අණ පනත් වගේම, ඒවා ගෙන එන ආණ්ඩුව වගේම, මේවා වෙන්න දීලා උඩ බලාගෙන තමන්ගේ බලයට පමණක් කෙල හලන විපක්ෂයත් එක මිටකට තබා පරාජය කර ජනතා බලය ගොඩ නගමු. “
  • කට වහන නීතිවලට එරෙහිව සිවිල් සංවිධානවල විරෝධය

    කට වහන නීතිවලට එරෙහිව සිවිල් සංවිධානවල විරෝධය

    ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ‘ඔන්ලයින්‘ පනත් කෙටුම්පත ඇතුළු මර්දනකාරී පනත් කෙටුම්පත් වලට විරෝධය පළ කරමින් සිවිල් සමාජ සංවිධාන, විද්වතුන් සහ පුරවැසි ක්‍රියාකාරිකයන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබ තිබේ.

    නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හනා ඊබ්‍රහිම් සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් අත්සන් තබා ඇති මෙම ප්‍රකාශනයෙන් එම සංවිධාන එකමුතුව පෙන්වා දෙන්නේ නව පනත් මගින් ආණ්ඩුව ජනතාවගේ කට වැසීමට උත්සාහ ගන්නා බවයි.

    එම සම්පූර්ණ ප්‍රකාශය සහ එක්වූ සංවිධාන සහ ක්‍රියාකාරික නාමාවලිය පහත දැක්වේ.

    මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සාමූහිකව පරාජය කරමු!

    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට මුළුමනින්ම පටහැණි ලෙස මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සංවිධානය වීමේ අයිතිය සහ සිවිල් ක්‍රියාකාරීත්වයන්හි නිරතවීමේ අවකාශ සීමා කිරීමේ මර්දනකාරී අණ පනත් ගෙන එමින්, රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයාමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දරමින් සිටින උත්සාහය පිළිබඳව සමාජ දේශපාලන ක්‍රමයේ යහපත් හා ගැඹුරු වෙනසක් අපේක්ෂා කරන පුරවැසියන් සහ සමාජ ක්‍රියාකාරිකයින් වශයෙන් අපගේ දැඩි අවධානය යොමුවී තිබේ.

    ඉදිරි සතිය තුළ සම්මත කරගැනීමට සැලසුම්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ථ පනත ඇතුළු මහජන පීඩාකාරී පනත් කෙටුම්පත් කිහිපයම අපට පෙනී යන්නේ රටේ පුරවැසියන් බියවද්දමින් හා ජනතාවගේ අදහස් ප්‍රකාශකිරීම් අයිතිවාසිකම මැඬලමින්, ඉදිරි මැතිවරණ කෙසේ හෝ ජයගැනීමේ ඉලක්ක ඇතිව ක්‍රියාවට නැංවීමට උත්සාහ දරන පටු ක්‍රියාමාර්ග වශයෙනි. මහජනතාව විසින් ලබාදුන් ජනවරමකින් තේරී පත්නොවූ ජනාධිපතිවරයෙකු සහ මහජනතාවගෙන් මුළුමනින්ම ප්‍රතික්ෂේප වී සිටින මහජන නියෝජිතත්වයකින් සමන්විත පාර්ලිමේන්තුවකට එවැනි මහජන පීඩාකාරී අණ-පනත් සම්මත කරමින් නව නීති පැනවීමට කිසිඳු සදාචාරාත්මත අයිතිවාසිකමක් නොමැති බව රටේ පරමාධිපත්‍යය දරන පුරවැසියන්, සමාජ ක්‍රියාකාරිකයින් හා වෘත්තීය සමිති ක්‍රියාධරයින් වශයෙන් මෙම ප්‍රකාශනයට අත්සන් තබන අප සැමගේ විශ්වාසයයි.

    මහජනතාව වෙත එල්ලවූ අසීමිත පීඩනය දරාගත නොහැකිව, ‘ක්‍රමයේ වෙනසක්’ සහ අදූෂිත, ජනහිතකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා සිදු වූ ජන අරගලයකින් අනතුරුව එළඹෙන ඉදිරි මැතිවරණය රටට ඉතාම තීරණාත්මක මැතිවරණයකි. ඉදිරි මැතිවරණය මහජනතාවට කිසිදු වාරණයකින් තොරව නිරවද්‍ය, සමබර, අපක්ෂපාතී හා අපාක්ෂික තොරතුරු වෙත ප්‍රවේශවීමේ හැකියාව සහතික කෙරෙන, විවාදය සහ සාකච්ඡාව සඳහා සුදුසු මහජන වේදිකාවක් සැපයෙන, නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්වීම අත්‍යාවශ්‍යය. ආණ්ඩු පක්ෂයට සේම විරුද්ධ පක්ෂවලටද සිය අදහස් හා ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ සියලු අවස්ථා එහිදී සහතික විය යුතුය. රටේ පුරවැසියන්ගේ කට වහන, මහජනතාව බිය

    ගන්වන නීති රීති එවැනි ජනහිතකාමී පරිසරයකට සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බරපතල හානියකි. දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් දේශපාලකයින් හා ඇතැම් දූෂිත නිලධාරීන් විසින් විනාශ මුඛයට ඇද දමා ඇති රටකට තව දුරටත් නීතියට ඉහළින් සිටින ඒකාධිපති පාලකයින් කිසිවෙකු අවශ්‍ය නොවන බව විස්වාස කරන අප, සාමූහික පුරවැසි බලවේගයක් වශයෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව, විපක්ෂය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ ආර්ථිකය,ජීවන බර ඇතුළු විවිධ කාරණා හේතුවෙන් රජයට එරෙහිව නැඟෙමින් තිබෙන ජනතා හඬ මර්දනකාරී ලෙස යටපත් කිරීමේ උත්සාහය අත්හැරදමා ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කරන ලෙසය.

    ආණ්ඩුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත පෙත්සම්කරුවන් 52 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ අතර පෙත්සම් විභාගය ආරම්භයේදීම නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම සම්පාදනය කළ පනත් කෙටුම්පතේ වගන්ති 35 ක් තමන් විසින්ම සංශෝධනය කිරීමට අදහස් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශකිරීමට නීතිපතිවරයාට සිදුවිය. පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ එහි වගන්ති 31 ක් සංශෝධනය විය යුතු බවය. මේ අතර ලොව පිළිගත් සමාගම් රාශියකින් සැදුම්ලත් ‘ආසියානු ඉන්ටනෙට් සන්ධානය’ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පෙර සහ පසු අවස්ථා දෙකකදී ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරයා අමතා දීර්ඝ ලිපි දෙකක් ලියමින් පෙන්වාදී ඇත්තේ, ‘ජාත්‍යන්තර රෙගුලාසිකරණයේ මූලධර්ම මේ පනත් කෙටුම්පත මගින් උල්ලංගණය’ කර ඇති බවය. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග එම පනත් කෙටුම්පතේ වලංගුභාවය සම්පූර්ණයෙන්ම අහෝසි වූ අතර ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබුණේ එය කුණු බක්කියට විසිකර දැමීම වුවත් ජනවාරි 23 වැනිදා එය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සංශෝධන සහිත පනත සම්මත කරගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලජ්ජාසහගත උත්සාහයක නිරතවෙමින් තිබේ.

    පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමෙන් පසුව පළමු දිනයේදීම නීතිපතිවරයා විසින් සංශෝධන 35 ක් යෝජනා කිරීමෙන්, නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක්වූ අතර එයින් පෙනී යන්නේ වෙනත් අයෙකු විසින් සකස් කරන ලද ලියැවිල්ලක් නිසි ලෙස අධ්‍යයනය කිරීමකින් තොරව නීතිපතිවරයා විසින් පනත් කෙටුම්පතක් ලෙස අනුමතකර ඉදිරිපත්කර ඇති බවයි. මෙය ජාත්‍යන්තරව අවධානයට ලක්වූ පනත් කෙටුම්පතක් වූ අතර දැඩිලෙස කඩතොළු සහිත ලියැවිල්ලක් නීතියක් බවට පත්කරගැනීමට දැරූ පටු උත්සාහය නිසා රටක් වශයෙන් ශ්‍රී ලංකාවට බලවත් හානියක් සිදුවූ බවද අපගේ නිරීක්ෂණයයි. එමගින් රටට සහ නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවූ අපකීර්තියට වන්දි ගෙවීමක් වශයෙන් නීතිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව අප සාමූහිකයේ අදහසයි. එසේම රට තව තවත් අපකීර්තිමත් තත්ත්වයට පත් නොකොට මෙම කඩතොළු සහිත පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් වහා ඉල්ලා අස්කරගතයුතු බව අපගේ ස්ථාවරයයි.

    අන්තර්ජාලය පාලනය කිරීම සඳහා පනත් කෙටුම්පතක අවශ්‍යතාවයක් නොමැති බව අපගේ අදහස වන අතර අන්තර්ජාලය ඔස්සේ සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් නීති අප රට තුළ දැනටමත් පවත්නා බව අපගේ විශ්වාසයයි.

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද සංශෝධන, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිසි ලෙස අන්තර්ග්‍රහනය කර නොමැති බව නීති විශාරදයන් විසින් මේ වනවිට පෙන්වාදී තිබෙන අතර මෙය අතිශය බැරෑරුම් තත්ත්වයකි. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් නොකර එය වහාම හකුළා ගන්නා ලෙසත්, ආසියානු අන්තර්ජාල කවුන්සිලය, තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින ආකාරයට පාර්ශවකරුවන් සමග ඉතා දීර්ඝ සාකච්ඡාමය ක්‍රියාවලියකින් පසු, එවැනි පනත් කෙටුම්පතක් අවශ්‍යනම් සකස් කිරීම සම්බන්ධව තීරණයක් ගන්නා ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.

    වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී තිබූ කෲර වධ හිංසා චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබියදී ඔහු තනතුරෙන් ඉවත් නොකොට තවදුරටත් තනතුරේ තබාගැනීම මගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේද ජනතා පරමාධිපත්‍යයේ මූලික කුළුණක් වන අධිකරණය නොතකා හරිමින් සහ එය හෑල්ළුවට ලක් කරමින් ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීමට ඔවුන් තුළ පවත්නා අභිලාශයයි.

    රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයින් ලක්ෂ 36 කට සෘජුවම බලපාන වෘත්තීය සමිති ආඥා පනත, කාර්මික ආරවුල් පනත, පඩිපාලක සභා ආඥා පනත ඇතුළු පනත් 13 ක් අහෝසි කරමින් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් සමඟ ඇතිකරගන්නා එකඟතාවයකින් තොරව ‘සේවා නියුක්ති පනත’ නමින් තනි කම්කරු පනතක් ගෙනඒමට ආණ්ඩුව දරමින් සිටින උත්සාහයද, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැලැක්වීමේ පටු අරමුණින් අනුගමනය කරමින් සිටින විවිධ රාජ්‍ය මර්දනයන්ද ‘සංවිධානයවීමේ අයිතියට’ එරෙහි ඒකාධිපතිත්වයේම තවත් ලක්ෂණ ලෙස අප හඳුනාගන්නා අතර ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළට ගෙන එන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.

    මේ සියලු කාරණා මග හැර ආණ්ඩුව තවදුරටත් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කරන්නේනම් එය ඡන්ද විමසීමේ අවස්ථාවේදී පරාජය කරන ලෙස අප ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රගතශීලී මහජන නියෝජිතවරුන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු. මහජනතාවගේ හඩ නොසලකා හරිමින් මෙම පනත් කෙටුම්පත්වලට පක්ෂව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඔවුන්ට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ඔස්සේ මහජනතාව දැනුම්වත් කරමින් ඔවුන් මහ මැතිවරණයකදී පරාජයට පත් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසි සාමූහිකයක් වශයෙන් අප පසුබට නොවන බවද අවධාරණය කර සිටිමු.

    මෙම සියලු කරුණු මධ්‍යයේ විධායක බලතල යොදා ගනිමින් ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙකු බවට පත්වීමට ගනු ලබන උත්සාහය අප තරයේ හෙළා දකිමු. එසේම ඉදිරි මැතිවරණයකට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ ඉතා කෙටි කාලයක දී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනිමින් සියලු පුරවැසියන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කිරීම සඳහා කැපවෙන ලෙස අපි සියලු මහජන නියෝජිතයින්ට යෝජනා කර‍න අතර සියලුම දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් බල කර සිටිමු.

    Free Media Movement

    Sri Lanka Working Journalists’ Association

    Young Journalists’ Association of Sri Lanka

    Media Law Forum

    Law and Society Trust

    National Cooperative Development Fund

    Hashtag Generation

    Association of Health Professionals

    Sri Lanka Postal and Telecommunication Service Union

    All Ceylon Management Service Officers’ Union

    South Asia Free Media Association

    Ceylon Teachers’ Union

    Ceylon Trade Union Federation

    United Postal Trade Union Front

    Savisthri National Women’s Moment

    Uva Wellassa Women’s Organization

    Movement for the Defence of Democratic Rights (MDDR)

    Free Media Movement Tarde Union (FMMTU)

    Ceylon Teachers’ Union

    Moment for Land and Agriculture Reform (MONLAR)

    National Fisheries Solidarity Movement (NAFSO)

    Shramabhimani Center

    Dabidu Collective

    Women’s Action for Social Justice (WASJ)

    United Federation of Labour (UFL)

    Federation of Media Employees Trade Unions (FMETU)

    Muslim Media Forum

    Jaffna Press Club

    Tamil Women Journalists Association

    Tamil Media Alliance

    Transparency International Sri Lanka

    Free Trade Zone Union

    South Asian Women in Media Network- Sri Lanka

    Ceylon Bank Employees Union (CBEU)

    South Asian Free Media Association

    People’s Commission of Women in Sri Lanka

    The Voice of Truth

    Stand Up Movement in Sri Lanka

    Trade Union to Upliftment of Sri Lanka Railway

    Freedom Trade Union Center (FTUC)

    Prabha Abhilasha Network

    People’s Alliance for Right to Land (PARL)

    Voice of the plantation people organization (VoPP)

    Sri Lanka All Telecommunication Employees’ Union

    Unite – Trade Union and Mass Organization Collective

    Media.LK

    RED Organization

    Nature Foundation

    Media Pro-Tech

    PEN Sri Lanka

    National Movement for Social Justice

    Standup Workers Union

    Asian Media and Cultural Association

    Women Center Sri Lanka

    Protect Union

    Human Rights Documentation Center (INFORM)

    Father Sarath Iddamalgoda

    Prof Arjuna Pararkarama

    Prof Liyanage Amarakeerthi

    Prof Nirmal Ranjith Dewasiri

    Prof Vijaya Jayathilaka

    Dr Ravindra kariyawasam

    Dr Rathna Sri Wijesinghe

    Dr Kalpa Rajapaksa

    Senior Lecturer Anuruddha Pradeep Karnasuriya

    Thusitha Siriwardena, Attorney at Law

    D M Dissanayake, Attorney at Law

    Journalist Seetha Ranjanee

    Journalist Hana Ibrahim

    Journalist Upali Kolambage

    Journalist Ananda Dharmapriya Jayasekara

    Journalist Thimbiriyagama Bandara

    Journalist Saroj Pathirana

    Journalist T M G Chandrasekara

    Senior researcher Sarath Kellapatha

    Journalist Tharindu Iranga Jayawardena

    Journalist Sujeewa Senarath

    Littérateur S Nandalal

    Social Activist Jayani Abeysekara

    Journalist Jayasiri Jayasekara

    Journalist Prasad Poornimal

    Journalist Shalika Wimalasena

    Civil and Human Rights Activist Cyril Pathirage

    Creativist Nandasiri Dhrmaratne

    Dramatist and Civil Activist Roy Rodrigo

    Journalist Indika Roshan Garusinghe

    Journalist Chamara Sampath

    Civil and Human Rights Activist Suranga Rupasinghe

    Journalist Priyan R Wijebandara

    Environmentalist Hemantha Withanage

    Environmentalist Sajeewa Chamikara

    Trade Unionist Chinthaka Bandara

    Dramatist Ranasinghe Adhikari

    Lyricist Sudath Gamini Bandara

    Social Activist Thamara Dayani Heetimullage

    Shrinath Perera, Attorney at Law

    Journalist Nayanajeewa Bandara

    K.W. Janaranjana, Attorney at Law

    Journalist K. Sanjeewa

    Journalist Lasantha Ruhunage

    Journalist Sunil Jayasekara

    Journalists Sakeef

    Marine Engineer Kamal Wanniarachchi

    Social Activist Manjula Gajanayake

    Journalist Manjula Wediwardhana

    Social Activist Udaya Kalupathirana

    Economist Umesh Moramudali

    Social Activist Sandaya Eknaligoda

    Journalist Poddala Jayantha

    Journalist Thushara Weerarathna

    Journalist Jini Jayasekara

    Journalist R. Yasiharan

    Social Activist Saman Senevirathna

  • ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

    ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට සති දෙකක කාලයක් පවතින බව ද අධිකරණ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

    තවත් පනත් කෙටුම්පත් 6ක් ද දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

    ශ්‍රී ලංකාව තුළ බලපවත්නා නීති අතුරින් ඉතාම මර්දනකාරී පනතක් ලෙස ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ හැඳින්විය හැකි ය. පසුගිය සමයේ අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට මෙම පනත යොදාගැනීම ගැන විවේචන එල්ල විය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention Terrorism Act – PTA) වෙනුවට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් (Anti-Terrorism Act – ATA) රජය පළමු වරට ඉදිරිපත් කළේ මේ වසරේ මාර්තු මාසයේ දී වුවත් එයට එල්ල වූ විවේචන හමුවේ රජය එක් පියවරක් පසුපසට ගන්නා ලදි. නමුත් මේ වන විට එම පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කරමින් 2023 සැප්තැම්බර් 15 දිනැති ගැසට් පත්‍රයේ පනත් කෙටුම්පත පළ කර තිබිණ.

    මෙම පනත මූලික වශයෙන් ම ගෙන එනු ලබන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන ) පනත වෙනුවටයි. ඒ අනුව මෙම පනත බලාත්මක වූ පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි වනු ඇත.

    පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සාපේක්ෂව නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ මූලික වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය.

    PTA හි ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ ගැන්වූ ක්‍රියා සන්නද්ධ ක්‍රියාවන්ට සම්බන්ධ වූ ඒවා නමුත් නව පනතේ අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය යොදාගෙන කරන ප්‍රකාශනයන් ද ත්‍රස්තවාදී වැරදි ගණයට ගත හැකියි.

    PTA හි රාජ්‍ය විරෝධී ක්‍රියා මූලික වශයෙන් ම ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා තිබුණ ද නව පනතේ එය ආණ්ඩුව ලෙස වෙනස් වී ඇත.

    නව පනතින්, පොලිස් නිලධාරීන්ට, සන්නද්ධ හමුදා නිලධාරීන්ට හා වෙරළාරක්ෂක නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීම් කළ හැකි අතර සැකකරුවන්ව පැය 24ක් ඇතුළත ළඟම පොලිස් ස්ථානයට භාර දීම කළ යුතුය.

    මිට අමතරව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කිරීමද ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හැඳින්වෙන ආකාරයේ ප්‍රතිපාදන තිබීම සහ මුළු රටක ජනතාවක් ත්‍රස්තවාදීන් ලෙස නම් කළ හැකිවීම යනාදිය බරපතල විවේචන එල්ල විය .

    සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතෙන් විවේචන එල්ල වූ වගන්ති කිහිපයකට සුළු සංශෝධන ඉදිරිපත් කර තිබේ. ඇතැම් වගන්ති එලෙසම පවතියි.

    • මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබා දීමට යෝජනා කර ඇත.

    • සංවිධාන තහනම් කිරීමට සහ එම තහනම් පවත්වාගෙන යාමේ බලය ජනාධිපතිවරයාට හිමි ය.

    • රැඳවුම් නියෝග ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කරන අතර, පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු නිලධාරියෙකු ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු ය.

    • රැඳවුම් නියෝගය ලබා දෙන්නේ මාස දෙකට නොඅඩු කාලයකට ය. ඒ අනුව රැඳවුම් නියෝගය ලබා දීමේ කාලය මාසයකින් අඩු වී තිබේ.

    • මාධ්‍ය මගින් කරන ප්‍රකාශ සම්බන්ධ වගන්ති සහ යම් ප්‍රදේශ පොලිස් නිලධාරීන් යටතට ගැනීමේ වගන්ති නොවෙනස් ව පවතියි.

  • ප්‍රජාතන්ත්‍රීය මුලධර්මයන්ට බරපතල පහරක් එල්ල කරනවා යෝජිත ප්‍රති ත්‍රස්ත පනත

    ප්‍රජාතන්ත්‍රීය මුලධර්මයන්ට බරපතල පහරක් එල්ල කරනවා යෝජිත ප්‍රති ත්‍රස්ත පනත

    පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තරය වෙතින් එල්ල කරන දැඩි පීඩාව හමුවේ රජය විසින් සිය යෝජිත ප්‍රති – ත්‍රස්ත පනත (ATA) සම්මත කරලීම සඳහාවන ක්‍රියාදාමය වේගවත් කරලීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පුළුල් ලෙස විවේචනයට ලක්ව ඇත්තේ එය අවභාවිත වීමට ඇති හැකියාවහේතුවෙනි. මෑතකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 14ක් සිරගතව සිටි පුද්ගලයන් තිදෙනෙකු පසුගියදා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද අතර එය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ මෙම පනත අවභාවිතය වූ එක් නිදර්ශනයක් පමණි.

    ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය නියෝජනය කරන්නන් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අපි සහාය දෙන අතරම, එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත කෙටුම්පතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා බෙහෙවින් අගතිගාමී ලක්ෂණ කිහිපයක් තිබීම පිළිබඳව අප පසුවන්නේ කනස්සල්ලෙනි. එනම් යෝජිත පනතෙහි අන්තර්ගතය දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන්ට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සහ අයිතිවාසිකම් කෙරෙහි සෘණාත්මකව බලපානු ඇත.

    යෝජිත ප්‍රති ත්‍රස්ත පනතෙහි අගතිගාමී ලක්ෂණ අතර “ත්‍රස්තවාදය” පිළිබඳව සිදු කරන අපැහැදිලි සහ පුළුල් නිර්වචනය තුළ රජයේ දේපළ සොරකම් කිරීම සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගද ඇතුලත් කර තිබීම පෙවා දිය හැක.එසේම නීත්‍යානුකුල ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් වන විරෝධතා, ප්‍රකාශනයන් පල කිරීම , රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව සිදු කරන සඳහා ඉල්ලීම්, වැඩවර්ජන සහ වාර්ගික හා ආගමික ස්ථාන සම්බන්ධ ආරවුල් ආදියද එම නිර්වචනයට ඇතුළත් කොට ඇත. එහිදී ඉහත දක්වා ඇති ක්‍රියාවන්ට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ඇති ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට ඕනෑම තරාතිරමක පොලිස් හෝ හමුදා හෝ වෙරළාරක්ෂක හෝ නිලධාරීන්ට මෙම නීතියෙන් අවසර ලැබේ. පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසු, එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා පාර්ශ්වය විසින් තෝරා ගන්නා ස්ථානයක පැය 24ක් හෝ පවතින තත්ත්වය අනුව ඊටත් වඩා දීර්ඝ කාලයක රඳවා තබා ගත හැකිය. එලෙස අත්අඩංගුවට ගත් තරුණයකුගේ ඉරණම සිතාගත හැකිය. ඉන් පසුව, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් රැඳවුම් නියෝගයක් අත්සන් කළහොත්, අත්අඩංගුවට ගත් අය අධිකරණයට ඉදිරිපත් නොකර මාස තුනක් දක්වා රඳවා තබා ගත හැකිය. මෙම සියලු විධිවිධානයන් පෙන්නුම් කරන්නේ මෙම නීතිය අනිසි ලෙස භාවිතා කිරීමේ දැඩි හැකියාවයි.

    ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සිවිල් සමාජ සාමූහිකය වන අපි යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට දැඩි ලෙස විරුද්ධ වන්නේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නිසාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සහතික කර ඇති නිදහස සහ මානව හිමිකම් අනතුරේ හෙළන නිසාත් ය. මෙම පුළුල් නීතිය මගින් අත්අඩංගුවට ගත හැක්කේ කවුරුන්වද , ඔවුන් අත්අඩංගුවට ගත හැක්කේ කාටද සහ ඔවුන් අත්අඩංගුවට ගන්නේ කුමන අරමුණක් සඳහාද යන්න තීරණය කිරීමට පුළුල් ඉඩක් විවෘතව තබා ඇත. පසුගිය වසරේ පැවති 8% ට අමතරව මේ වසරේ තවත් 4% කින් හැකිලීමට නියමිත රටේ වත්මන් ආර්ථික තත්ත්වය දැරීම මහජනතාවට ඉතා අසීරුය. ජනතාවගේ වරදකින් තොරව රට බංකොලොත් කළේ එය පාලනය කළ පාලකයන් විසිනි. ප්‍රශ්න කිරීමට, හෙළිදරව් කිරීමට සහ රජයේ ක්‍රියාවන්ට විරුද්ධ වීමට ඇති ඉඩකඩ යටපත් කර දමමින් උද්ගතව ඇති ව්‍යසනයට වගකිවයුත්තන් විසින් ආර්ථික ගැටලුන්හි සම්පූර්ණ බර මහජනතාව වෙත පැටවීමට මෙම යෝජිත ප්‍රතිත්‍රස්ත පනත යොදා ගනු ඇතැයි අපි බිය වෙමු. මෙමගින් ප්‍රජාතන්ත්‍රවාදී හිඟය තවදුරටත් තීව්‍ර කරමින් වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජය අතර භීතියේ වටපිටාවක් නිර්මාණය කිරීම ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ මූලික උල්ලංඝනය කිරීම සිදු කරයි.

    එබැවින්, රජය විසින් යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙන්ම මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්බන්ධ ජාත්‍යන්තර බැඳීම් ආරක්ෂා කිරීම සඳහා වන වගකීමට ගරු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

    ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිවිල් සමාජ එකමුතුව

  • නව ත්‍රස්ත විරෝධී නීතිය ජාතික ආරක්ෂාව සඳහා නොව ආත්මාරක්ෂාව සඳහාය

    නව ත්‍රස්ත විරෝධී නීතිය ජාතික ආරක්ෂාව සඳහා නොව ආත්මාරක්ෂාව සඳහාය

    ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ඉතා විශිෂ්ට බවට, ඒකමිතිකභාවයක් සහිත, සමාජයේ ඉහළ තලයන්හි පවතින අදහස් වඩාත් වර්ධනය වෙමින් පවතී. එහිදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණ ලෙස පෙන්වාදෙනු ලබන්නේ, අරගල යුගයේ අවුල්සහගත තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්කිරීම සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් රටට ලබාදුන් විශාලතම ණය මුදල ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීමයි. ජනාධිපතිවරයා එම කාර්යයට සුදුසුම පුද්ගලයා බවටත් ඔහු හැර වෙනත් විකල්පයක් නොමැති බවටත් වන පණිවිඩය සංසරණය වෙමින් පවතී. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල රටට පැමිණ වැඩි කල් යන්නට මත්තෙන්, පෙට්‍රල් සහ ඩීසල් මිල සැළකිවයුතු ප්‍රමාණයකින් අඩු කළ අතර, තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ද පහත දමනු ලැබීය.

    ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනප්‍රිය නොවන ආර්ථික අභියෝග භාර ගනිමින් සිටී. මෙහිදී ජනාධිපතිවරයා තමන් විසින් කළ යුතු දේ කිරීමට පසුබට නොවන ආකාරය ද දක්නට ලැබේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ මැතිවරණ සම්බන්ධයෙන් මුනිවත රකින්නට එක් හේතුවක් වන්නේ, ජනාධිපතිවරයා දුෂ්කර කාර්යයන් සමඟ කටයුතු කරන ආකාරයට විරුද්ධ වීමට අකමැති නිසා යැයි අනුමාන කළ හැකිය. ඛණිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සහ ඉන්ධන බෙදා හැරීම සඳහා හමුදාව කැඳවීම, ආණ්ඩුව විසින් තමන් සිදුකළ යුතු යැයි විශ්වාස කරන දේ නොනැවතී සිදුකරන බවට සළකුණකි. මීට අමතරව, වැඩවර්ජන ක්‍රියාමාර්ගයේ නායකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා ඇත. එසේම වර්ජක සේවකයන් මැසිවිලි නඟන්නේ හමුදාව විසින් තමන්ට වැඩ කරන ලෙස බල කරන බවටය.

    අකාර්යක්ෂමතාව, සේවක අතිරික්තය සහ දූෂණය හේතුවෙන් පසුගිය දශක කිහිපය තිස්සේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීමේ සැලසුම සමඟ ද ආණ්ඩුව ඉදිරියට යමින් සිටී. ආණ්ඩුවේ මෙම මුලපිරීම, රජයේ භාණ්ඩාගාරයේ මුදල් නාස්තිකාර ලෙස ඉවතට ගලායෑම වැලැක්වීමට මෙන්ම, ජාතික වත්කම්වල ඵලදායිතාව ඉහළ නැංවීමට මගක් ලෙස සමාජයේ ඇතැම් කොටස්වල පැසසුමට ලක්ව ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් පවා පෞද්ගලිකකරණය කළ පසු වැඩි ලාභයක් උපයනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේවෙතත් මෙම පෞද්ගලිකකරණය අභ්‍යන්තර ගනුදෙනු හරහා සිදුවනු වෙනුවට, තරඟකාරී ලංසු තැබීමේ පදනම මත සිදුවන බවට සහතික විය යුතුය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවධාරණය කර ඇති පරිදි, දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසි හරහාද බොහෝ දේ අපේක්ෂා කෙරී ඇත.

    වෙනත් ලෝකයක්

    අනෙක් අතට, රාජ්‍ය ව්‍යවසායන් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහය, එනම් ඒවායේ කාර්ය මණ්ඩලය අඩු කිරීම, මෙම ප්‍රතිව්‍යුහගතකරණයේ ගොදුරු බවට පත්වන්නන් අතර දැඩි කනස්සල්ලට හේතුවී තිබේ. ආර්ථිකය තුලනය කිරීම සඳහා යැයි පැවසෙන මෙම ක්‍රියාවලියේදී, රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන් විශාල සංඛ්‍යාවක් ඉවත්කෙරෙනු ඇත. ඔවුන් මෙතෙක් ලබමින් සිටි ත්‍යාගශීලී අතිකාල ගෙවීම් වැනි දෑ වෙනුවට, ඔවුන්ට රැකියාවෙන් ඉවත්වීමට සිදුවනු ඇත. යම් ජීවන තත්ත්වයකට හුරුවී සිටින තම පවුල් නඩත්තු කරන්නේ කෙසේදැයි ඔවුන් නිතැතින්ම කනස්සල්ලට පත්වීම වැලැක්විය නොහැකිය. මේ අතර,මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද සමාජ ආරක්ෂණ දායකත්වය වෙනුවෙන් රජය වෙන්කරනු ලබන කොටසේ ප්‍රමාණවත්භාවය පිළිබඳවද සැක මතුව ඇත. අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල එම දායකත්වය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක් වන විට, මෙරට එම ප්‍රතිශතය සියයට 0.6 ක් පමණකි.

    පසුගිය වසරේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් මිල දෙගුණ තෙගුණ වීමත් සමඟ සිදු වූ ආර්ථිකයේ කඩාවැටීම රටේ සෑම ජන කොටසකටම බලපෑ අතර, එහි වැඩි බලපෑම එල්ලවූයේ වඩා දුප්පත් ජනතාවටය. එය මිලියන ගණනක් මිනිසුන් දරිද්‍රතාවට ඇද දැමීය. පසුගිය වසර තුන තුළ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින පිරිසගේ සැළකිවයුතු වර්ධනයක් පවතින බව අධ්‍යයනයන් පෙන්වා දී ඇත. 2019 දී මිලියන 03 කට ආසන්න ජනතාවක් දරිද්‍රතා රේඛාවට පහළින් රැඳී සිටි අතර, 2022 ඔක්තෝම්බර් මාසයේදී එම සංඛ්‍යාව මිලියන 9.6 දක්වා, එනම් ජනගහණයෙන් සියයට 42 කට වඩා වැඩි වී තිබේ. ජනගහණයෙන් සියයට 70කට පමණ තමන් ලබාගන්නා ආහාර ප්‍රමාණ අඩුකිරීමට සිදුවී ඇති බවද අධ්‍යයනවලින් හෙළි වී තිබේ. තමන්ට අවශ්‍ය වෛද්‍ය සේවා සහ ඖෂධ ලබාගැනීමට නොහැකිව ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මාධ්‍ය වාර්තා පළවී ඇත.

    රටේ සෑම තරාතිරමකම මිනිසුන් සිය දහස් ගණනක් ආණ්ඩුවට එරෙහිව කොළඹ සහ වෙනත් තැන්වල විරෝධතා දැක්වීමට පෙළඹවූයේ මෙම මංමුලාසහගත තත්වයයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමට වෙහෙස මහන්සි වන පිරිස වූ නමුත්, එම අනාගතය හදිසියේම ඔවුන්ගෙන් උදුරාගෙන තිබිණි. ත්‍රිරෝද රථ රියැදුරකු වරක් මාහට පැවසූ ආකාරයට, ඔහුගේ දරුවන් තිදෙනාට දිනපතා පාසල් රැගෙන යෑමට බිස්කට් පැකැට්ටුවක් සහ කිරි පැකැට්ටුවක් ලබාදීම පුරුද්දක් කරගෙන සිටි නමුත්, දැන් එය සිදුකිරීමට නොහැකි ඇයිද යන්න කුඩාම දරුවන් දෙදෙනාට පැහැදිලි කරදීමේ හැකියාවක් නොමැතිවී තිබේ.

    ගැටෙන ලෝක

    අද ශ්‍රී ලංකාව තුළ ලෝක දෙකක ජීවත් වන මිනිස්සු සිටිති. එක් පිරිසක් රැල්ලට නැග ඉහළට යෑමට සමත් වන අතර, අනෙක් පිරිස යටි ප්‍රවාහයට හසු වී පහළට ඇද වැවෙමින් සිටිති. ආර්ථික වර්ධනයේ ඇන්ජිම ලෙස පෞද්ගලික අංශයට වැඩි සම්පත් සැපයීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල රජයට සහාය දක්වමින් සිටී. 2025 දක්වා නව දේපල, ධන සහ උරුම බදු ඔස්සේ ඔවුන් දිගු කාලින සැලසුම් සකස්කර ඇත. කෙසේවෙතත්, ක්ෂණිකව ගෙවිය යුතු බදු බැරකර ඇත්තේ දුප්පතුන් වෙතය. ඔවුන්ට ගෙවීමට සිදුව ඇත්තේ, සෘජු බදුවලට වඩා, රජයට වැඩි බදු ආදායමක් ලැබෙන වක්‍ර බදු ය. බොහෝ නව බදු ආදායම් රැස්කෙරෙන්නේ, 2022 මැයි මාසයේදී සියයට 08 සිට 12 දක්වා සහ සැප්තැම්බර් මාසයේදී සියයට 15 දක්වා ඉහළ නංවන ලද, අගය එකතු කළ බදු (VAT) මගිනි. වැට් බද්ද ධනවතුන්ට සහ දුප්පතුන්ට එක හා සමානව බලපාන නමුත්, දෙවැනි කණ්ඩායමේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරනු ලබයි.

    ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින බවටත්, තමන් සමග එක්වීමට විපක්ෂයේ දේශපාලනඥයන් පෙළ ගැසෙමින් සිටින බවටත් ආණ්ඩුව විසින් සිදුකරන ප්‍රබල සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව තිබේ. දරිද්‍රතා මට්ටමට ඉහළින් සිටින සහ වර්තමාන මිල ගණන් දරාගැනීමට හැකියාව ඇති අයට මෙය උනන්දුවක් ඇතිකරවන කාරණයක් විය හැකිය. එහෙත් දරිද්‍රතා සීමාවෙන් පහළ සිටින පිරිස යථාර්ථය දනිති. වඩාත් නරක බව දන්නා පුද්ගලයන් සම්බන්ධයෙන්, ඔවුන් වඩා හොඳ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ කොතෙක් ප්‍රචාරණයන් ගෙනගියද, ඔවුන්ට එය ඒත්තු ගැන්විය නොහැක. විදුලි මිල ඉහළ දැමීම, සමානුපාතිකව ධනවත්ම පිරිසට වඩා දුප්පත්ම පිරිස මත වැඩි පීඩනයක් එල්ලකර ඇත. එහිදී, පහළම ස්ථරයේ සිටින පිරිසට, ඔවුන් පෙර ගෙවූවාට වඩා තුන් හතර ගුණයකින් වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති අතර, ඉහළ ස්ථරය නියෝජනය කරන පිරිස ගෙවන්නේ දෙගුණයක් පමණකි. මෑතකදී පෙට්‍රල් සහ ඩීසල් මිල ඉතා සැළකිව යුතු මුදලකින් අඩු වූ නමුත්, එම සහනය දුප්පතුනට අවශ්‍ය කෙරෙන ඉන්ධන වර්ගය වන භූමිතෙල් සඳහා නොවීය. ආර්ථික පිරමීඩයේ පතුලේ සිටින අයට අවශ්‍ය වන්නේ ආණ්ඩුව තම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ, එසේ නොකරන්නේ නම්, කඩිනමින් මැතිවරණ පවත්වා ආණ්ඩුව ඉවත්ව යෑම බව අමුතුවෙන් කිව යුතු නැත.

    තම ප්‍රමුඛතාවය ආර්ථිකය නඟා සිටුවීම මිස මැතිවරණ පැවැත්වීම නොවන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා නැවත නැවතත් අවධාරණය කර ඇත. මැතිවරණයකදී විරෝධතා ඡන්ද හිම පතනයක් ලෙස තමන්ට දැඩි ලෙස පහර දිය හැකි බවත්, තම පාලනය තවදුරටත් නීත්‍යනුකූල නොවන බවත් ආණ්ඩුව දනී. බොහෝ විවේචනයට ලක්ව ඇති, තවමත් කෙටුම්පත් ස්වරූපයෙන් පවතින ත්‍රස්ත විරෝධී පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරමින්, නව නීතියක් ලෙස ගෙනැවිත් තම බලය තහවුරු කර ගැනීමට ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරයි. ජාතික ආරක්‍ෂාව සඳහා යැයි ප්‍රකාශ කෙරෙන මෙම යෝජිත නීතිය කෙටුම්පත් කර ඇත්තේ අරගලයෙන් පසුවය. එමගින් ආණ්ඩුව විවේචනය කිරීම හෝ ඊට එරෙහිව පෙළගැසීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස දැක්විය හැකි පරිදි පුළුල් ලෙස අර්ථකථනය කර ඇත. ඕනෑම පොලිස් නිලධාරියකුට හෝ ආරක්ෂක හමුදා නිලධාරියකුට, යම් පුද්ගලයකු සහ එම පුද්ගලයා සාමාජිකත්වය දරන සමස්ත කණ්ඩායමක් හෝ සංවිධානයක් අත්අඩංගුවට ගැනීමට මෙමගින් බලය ලබාදී ඇත.

    මේවා දෙලොව ගැටීමට නියමිත බවට, පෙර දැකගත හැකි අසුබ නිමිති ය. මෙහිදී ඇත්තෙන්ම ජාතික අවශ්‍යතාවයට වඩා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ ආත්මාරක්ෂාව බව පැහැදිලි ය. එසේම ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ යුක්තිසහගත ආඛ්‍යානයක් රැගෙන, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අත්තනෝමතික පාලනයකින් ප්‍රතිස්ථාපනය කෙරෙමින් පවතින බවද දැකගත හැකිය.

     

  • රටේම ජනතාවම ත්‍රස්තවාදීන් කළ හැකි ත්‍රස්ත විරෝධී පනත ගැන තරුණ නීතිඥ සංගමය පැහැදිලි කරයි

    රටේම ජනතාවම ත්‍රස්තවාදීන් කළ හැකි ත්‍රස්ත විරෝධී පනත ගැන තරුණ නීතිඥ සංගමය පැහැදිලි කරයි

    ත්‍රස්තවාදයට එරෙහිව විශේෂ පනතක් අවශ්‍ය නැති බවත්, දණ්ඩ නීති සංග්‍රහය තුළ ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපාදන තිබෙන බවත් තරුණ නීතිඥ සංගමය ඊයේ (04) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දී තිබේ.

    මේ බව ප්‍රකාශ කළේ එම සංගමයේ නීතිඥ ස්වස්තිකා අරුලිංගම්ය. ත්‍රස්තවාදය ගැන සංකල්පය ‘විශේෂ වරදක්‘ ලෙස ජනතාවගේ හිසට ඇතුළු කොට, මිනිසුන් තමන්ගේම නිදහස පාවාදෙන තැනට මෙම පනතෙන් යොමු කරවන බව ඇය පවසා තිබේ.

    ආණ්ඩුව ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ත්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයට අඳුරු යුගයක් ඇති වීමට නියමිත බව එම සංගමයේ නීතිඥ මිගාර ඩොස් එහිදී අදහස් දක්වමින් පෙන්වා දී තිබේ. ඔහු වැඩිදුරටත් කීවේ සිවිල් සමාජයේ ඇතැම් අය දැන් බැටලු හම් පොරවාගත් වෘකයන් මෙන් නිහඬව සිටින බවයි. ත්‍රස්තවාදී ක්‍රියාවකින් ජීවිත හානි කරන අය හෝ රාජ්‍ය බලය අල්ලන්නට උත්සාහ කරන අයට නොව, රජයේ තීන්දුවකට විරුද්ධව අදහස් දක්වන අයට පවා එරෙහිව මෙම පනත පාවිච්චි කළ හැකි ආකාරය පිළිබඳ ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මෙම පනතේ 82 වැනි වගන්තියේ බරපතලකම ගැන විශේෂයෙන් ඉස්මතු කර පෙන්වීය. ඔහු කීවේ, ජනාධිපතිවරයාට තමන්ගේ සිතැගි පරිදි පුද්ගලයන්ගේ හා සංවිධානවල නිදහස සීමා කිරීමට එම වගන්තියෙන් ඉඩ ලැබී ඇති බවය.

    අ‍ප්‍රේල් 04 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති තරුණ නීතිඥ සංගමයේ එම මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්වල සංක්ෂිප්තයක් පහත දැක්වේ.

    නීතිඥ මිගාර ඩොස් – තරුණ නීතිඥ සංගමය

    රජය විසින් පාර්ලිමේන්තුවේ ත්‍රස්ත විරෝධී පනත සභාගත කිරීමට නියමිතයි. අද (04) දවල් වෙද්දී සභාගත කරයි කියලා ආරංචියක් තිබුණේ. මේ වන විට සභාගත කරලා නෑ. දැන් තියෙන දේශපාලන ආරංචිමාර්ග අනුව ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.

    ජනවාර්ගික අර්බුදය උග්‍රව තිබුණ කාලසීමාවකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වා දුන්නා. ඒ පනත තාවකාලික පනතක් විදියට හඳුන්වාදුන්නත් දශක ගණනක් අඛණ්ඩව තාවකාලික නෙවෙයි, රටේ නීතියේ ස්ථීර කොටසක් විදියට එම පනත ක්‍රියාත්මක වුණා.

    මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රජයට හෝ ජනාධිපතිට හෝ ආරක්ෂක අංශවලට හිතුමතයට අනුව වැඩ කරලා නිශ්චිත සාක්ෂි නැතත් රඳවා තබාගැනීමට හැකියාවක් තිබුණා. ප්‍රායෝගිකවත් එම නීති දශක ගණනාවක් ක්‍රියාත්මක වුණා.

    1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විවේචනයට ලක් වුණා. එවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවලදී පොරොන්දුවක් දුන්නා ත්‍රස්ත පනත අහෝසි කරනවා කියලා.

    වර්තමාන රජය ඒ පොරොන්දුව ක්‍රියාත්මක කරන මුවාවෙන් නැවත වතාවක් ත්‍රස්ත විරෝධී පනත කියලා නව පනතක් හඳුන්වාදීමට කටයුතු කරලා තියෙනවා.

    අපට තියෙන ප්‍රශ්නය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භයානක වූයේ යම් සේද ඊට වඩා දෙගුණ තෙගුණ වූ බිහිසුණු භාවයකින් ප්‍රජාතන්ත්‍රවාදය රකින පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු නිදහසට මරු පහරක් එල්ල කරන කෘර පනතක් මේක.

    ත්‍රස්ත විරෝධී පනතේ පූර්විකාවේ සඳහන් වෙනවා ත්‍රස්තවාදය කියන කාරණාව වැළැක්වීමට රජයට සුජාත අයිතියක් පවතිනවාය, අන්තර්ජාතික මානයන් හා ප්‍රමිතීන්ට අනුකූලව රජයට එසේ කිරීමේ බලයක් තියෙනවාය, ඒ අනුව තමයි මේ පනත හඳුන්වාදෙන්නේ කියලා.

    ජාත්‍යන්තර මානයන් හා ප්‍රමිතීන් මොනවාද කියන එක සැලකිල්ලට ගන්න වෙනවා මෙම පනත එක්ක සංසන්දනය කරලා. ත්‍රස්තවාදය පිළිබඳ පනතක අත්‍යවශ්‍ය කොටසක් තමයි ත්‍රස්තවාදය නිර්වචනය කිරීම.

    ජාත්‍යන්තර මානයන් පිළිබඳ නීති කෙටුම්පත් සකසන්නන් අවධානය යොමු කර ඇති බව කියන නිසා අන්තර්ජාතික වශයෙන් ත්‍රස්තවාදය නිර්වදචනයේදී කාරණා දෙකක්.

    ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න පුද්ලයන් මරණයට පත් කරනවා නම්, ශාරීරික හානි කරනවා නම්,
    දෙක ත්‍රස්තවාදී සංවිධානයක් ඔස්සේ රාජ්‍ය බලය ලබාගැනීම
    යන කාරණාවන්ගෙන් තමයි ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය ඇතුළත් විය යුත්තේ.

    මේ පනත අධ්‍යනය කරද්දී ජාත්‍යන්තර මානයන්ගෙන් ඔබ්බට ගිහින් පුළුල් නිර්වචනයක් ලබා දෙනවා ත්‍රස්ත වරද සම්බන්ධව.

    මේ පනතේ 03 වගන්තිය තමයි වරද නිර්වචනය කරන වගන්ති. ඒ වගන්තිය ප්‍රකාරව දැක්වෙනවා කිසියම් කණ්ඩායම් යම් කිසි දෙයක් කිරීමට හෝ ‍නොකිරීමට රජයට බල කිරීම ත්‍රස්තවාදය කියලා.

    මේක භයානක නිර්වචනයක්. මෙතැන ත්‍රස්තවාදී ක්‍රියාවකින් දේපළ හෝ ශාරීරික හානි කිරීමත් නෑ. හුදෙක් රජයට යමක් කරන්න හෝ නොකරන්න බල කිරීම පවා ත්‍රස්තවාදය බවට නිර්වචනය කරලා තයෙනව.

    මේ අනුව රජය ආයතන පෞද්ගලිකරණය කරන්න එපා කියලා රජයට බල කිරීම, විදුලි බිල වැඩි කරන්න එපා කියලා රජයට බල කිරීම, දේශීය සම්පත් ආරක්ෂා කරන්න කියලා බල කිරීම පවා ත්‍රස්තවාදය කියන නිර්වචනයට දාන්න පුළුවන්.

    මේක දේශපාලනඥයන්ගේ අභිලාශයන් මුදුන්පත් කරගන්න දාපු නිර්වචනයක්.

    මේ නිර්වචනය ප්‍රකාරව සමාජයේ පොදු ස්ථානයකට හානි කිරීම හෝ අත්‍යාවශ්‍ය සේවාවක් පවත්වාගෙන යෑමට බාධා කිරීමත් මේ නිර්වචනයට ඇතුළත් වෙනවා.

    වෘත්තිය සමිතියක් වෘත්තිය අයිතිවාසිකම් මත වැඩවර්ජනයක් කළොත් ඒකත් ත්‍රස්තවාදය වෙන්න පුළුවන්.

    යම් පිරිසක් පොදු ස්ථානයක ගිය අවුරුද්දේ වගේ උද්ඝෝෂණය කිරීම පවා ත්‍රස්ත ක්‍රියාවක් විදියට ලේබල් කරන්න පුළුවන්.

    මේක අපි ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කියන සන්දර්භය මත බැලුවාම බිහිසුණු හා බැරෑරුම් නීතියක්. මේකේ 10 වගන්තිය අනුව ත්‍රස්තවාදය දිරිගැන්වීමත් වරදක්.

    මොකක්ද මේ, කලින් ත්‍රස්තවාදය නිර්වචනය කළානේ. වෘත්තිය සමිතියක්, ශිෂ්‍ය ව්‍යාපාරයක් හෝ පුරවැසි සංවිධානයක් අයිතීන් වෙනුවෙන් කටයුතු කිරිම ත්‍රස්තවාදයක් විදියට නිර්වචනය කළාට පස්සේ, ඒ පිළිබඳ සමාජ මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීම, මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීම, පත්තරයකට ලිවීමක් පවා ත්‍රස්ත වරදක් විදියට හඳුන්වන්න පුළුවන්.

    මේක අනුව හෙට දිනයේ ඔබ ආමන්ත්‍රණය කරමින් මාධ්‍ය සාකච්ඡාවකවත් තියන්න වෙන්නෑ.

    පනතේ 11 වගන්තියේ සඳහන් වෙනවා නිර්වචනය වූ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සැලසුම් කිරීම, උපදෙස් ලබාදීම, සංවිධානය කිරීම ත්‍රස්ත වරදක් කියලා.

    වෘත්තිය සමිතියක් උද්ඝෝෂණ කිරීම, රාජ්‍ය සේවකයන් රජයට ඉල්ලීමක් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව එකතු වී අදහස් ප්‍රකාශ කිරීම, සාකච්ඡා කිරීම ත්‍රස්ත ක්‍රියාවන් වෙන්න පුළුවන්.

    මෙතැන බරපතලම ක්‍රියාව තමයි මේ පුළුල් නිර්වචනය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් එක්ක පැහැදිලිව ඝට්ටනය වෙනවා.

    ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක සඳහන් වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය පවත්වාගෙන යන්න රජය විවේචනය කිරීම පරම අයිතියක් කියලා.

    ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහය ගලා යන්න රජය විවේචනය කිරීම, ප්‍රශ්න කිරීම පුරවැසි වගකීමක් කියලා සඳහන්. මේක මූලික අයිතිවාසිකම්, ව්‍යවස්ථාව. මේ අයිතිවාසිකම්වලට මරු පහරක් එල්ල කරන පනතක් තමයි ත්‍ර්ත විරෝධී පන.

    මේකේ තවත් සුවිශේෂ අංගයක් තමයි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පැවතුණා අවුරුදු ගාණක්. එකේ රැඳවුම් නියෝග මත රඳවාගෙන තියාගෙන ඉන්න පුළුවන්. ත්‍රස්ත වැළැක්වීමේ පනත අනුව රැඳවුම් නියෝගය ගහන්න පුළුවන් ආරක්ෂක ඇමතිට.

    දැන් නියෝජ්‍ය පොලිස්පතිට පුළුවන් රැඳවුම් නියෝග ගහන්න. මේ රටේ නියෝජ්‍ය පොලිසප්තිවරුන් 35කට වැඩි පිරිසක් ඉන්නවා. දැන් සමස්ත සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ බලය තියෙනවා. දැන් අපි දන්නවා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන ආකාරය. නියොජ්‍ය පොල්ස්පතිවරුන් පොලිස්පති වෙන්න සූට් මහනවා. දේශපාලනඥයන් එක්ක සම්බන්ධතා පවත්වනවා. එතකොට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට ඕනෑ වෙලාවක දේශපාලන වුවමනා මත රැඳවුම් නියෝග ගහන්න පුළුවන්.

    එවන් තත්වයක් යටතේ අපි සමාජයක් විදියට මේ ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධ විය යුතුයි. නැති නම් උල්ලංඝනය වෙන්නෙ ඔබේ මගේ සහ සමාජයේ සියලුදෙනාගේ අයිතිවාසිකම්.

    මේ සමාජය අපේ ලංකාවේ වසර ගණනාවක් පුරාවට මානව හිමිකම් ආරක්ෂකයන්, ක්‍රියාධරයන් කියලා කියපු මිනිස්සු බැටලු හම් පොරවාගත් වෘකයන් වගේ නිශ්ශබ්දව ඉන්නවා අතිශය බිහිසුණු පනතක් නීතිගත වෙන්න යද්දී.

    අපේ සර්වජන ඡන්දය මත පත් වූ පාර්ලිමේන්තුවත් මේක සම්මත කරන්න යනවා ප්‍රතික්ෂේප වූ ජනාධිපතිවරයෙකුගේ වුවමනා මත.

    මේ අනුව ඔබේ, මගේ අයිතිවාසිකම්වලට දැඩි අඳුරු කාලයක් උදා වෙනවා.

    පුරවැසියන්, වෘත්තිකයන්, රැකියාවක නිරත වෙන අය, කම්කරුවන් විදියට මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අතිශය මර්දනකාරී නිතියට විරුද්ධ විය යුතුයි. නැත්නම් ගෑස් පෝළිම්වල අම්මලා තාත්තලා මැරෙද්දී, අපේ තියෙන රජය සම්පත් අමු අමුවේ කුණු කොල්ලයට විකුණද්දී කතා කරන්න බැරි වෙනවා. කතා කරන හැමෝම ත්‍රස්තයන් බවට පත් වෙනවා.

    මේ පනතට ශ්‍රී ලංකාවේ පුරවැසියන් මීට කලිනුත් එකතු වුණා. පුරවැසි වගකීම මත රටක් විදියට එකතුවෙලා මේක පරාජය කරන්න ඕනෑ.

    නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ- තරුණ නීතිඥ සංගමය

    1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත වුණාට පස්සේ මෙච්චර කාලයක් අවුරුදු 40කට අධික කාලයක් ඒ පනත කොහොමද භාවිත කරලා තියෙන්නේ කියලා අපි දන්නවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරීම් තමයි සිද්ධකරලා තියෙන්නේ. අසූව, අනූව දශකවල මේ පනත එම අවස්ථවේ දේශපාලනික වශයෙන් එවක තිබුණ ආණ්ඩුවට විරුද්ධ වූ තරුණයන්ටත්, ද්‍රවිඩ පුද්ගලයන්ට විරුද්ධවත් මෑතකදී මේ පනත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ක්‍රියාකාරීන්ටත් එරෙහිව භාවිත වුණා.

    මෑතකම උදාහරණය ගත්තොත් වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ජීවන්ත යන තුන්දෙනාගෙන් අධිකරණය වසන්ත මුදලිගේව නිදහස් කළා, ඔහු සම්බන්ධයෙන් මේ පනත යටතේ අනාවරණය නොවන බව. හෂාන් ජීවන්තවත් නිදහස් කළා.

    මේ පනත අවභාවිත කිරීමක් තමයි පාලකයන් කරන්නේ. මේ පනත සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළත් අන්තර්ජාතික පජාව තුළත් විරෝධයක් තිබුණා. මේක වෙනුවට වෙනත් නීති හඳුන්වාදීමට උත්සාහ කළා. 2017 ප්‍රතිත්‍රස්ත පනත කියලා කෙටුම්පතක් ගෙනාවා. ඒකත් සමාජයේ පිරිස් මැදිහත්වෙලා පරාජයට පත් කළා.

    දැන් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ගැසට් කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා ඉතා භයානක කෙටුම්පතක් විදියට තමයි මේ ත්‍රස්තවාදයට එරෙහි දැන් ගැසට් කළ එක හඳුන්වන්න පුළුවන් වෙන්නේ.

    සමාජය තුළ විවිධ මට්ටමෙන් ක්‍රියාකාරී පුද්ගලයන් ඉන්නවා. ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති, ශිෂ්‍යයන්, සංවිධාන සහ ආණ්ඩුවේ තීන්දු ප්‍රශ්න කරන පුද්ගලයන් ඕනෑ තරම් සමාජයේ ඉන්නවා.

    එවැනි ක්‍රියාකාරීත්වයන් අඩපණ කිරීමේ අරමුණෙන් ප්‍රතිපාදන රාශියක් ඇතුළත් කරලා තියෙනවා.

    විශේෂයෙන් කෙටුම්පතේ තුන්වැනි වගන්තියෙන් ත්‍රස්තවාදය පිළිබඳ වරද හඳුන්වාදීලා තියෙනවා. පැහැදිලිව පේනවා ඉතාම පුළුල් පරාසයක ක්‍රියාකාරකම් රාශියක් ත්‍රස්තවාදය යටතේ වරදට ඇතුළත් කරලා තියෙනවා. මේක භයානක තත්වයක්. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස බරපතල විදියට උල්ලංඝනය වෙන්න පුලුවන් තත්වයක් විදියටයි අපි දකින්නේ.

    මූලික අයිතිවාසිකම් පරමාධිපත්‍යය බලයේ මූලික අංගයක්. මේ කෙටුම්පත පරමාධිපත්‍ය බලයට අභියෝග කර නීතියත් විදියට තමයි ගේන්න උත්සාහ කරන්නේ.

    ඒ එක්කම බැලුවොත් මේ කොටුම්පතේ 82 වගන්තියේ තියෙනවා විවිධ නියම කියලා කොටසක්. මේකේ ජනාධිපතිවරයාට තහනම් නියම නිකුත් කරන්න පුළුවන් අවස්ථා මොනවාද කියලා දක්වලා. ජනාධිපතිවරයා කියන්නේ දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් නියෝජය කරමින් පත්වෙන කෙනෙක්. 82 වගන්තියේ තියෙනවා පනත යටතේ වරදක් කළා කියන සංවිධානයකට එරෙහිව ජනාධිපතිවරයාට පුළුවන් තහනම් නියමයක් නිකුත් කරන්න. මොනවාද මේ.

    පනතේ තියෙනවා සංවිධානයේ සාමාජිකයන් සිටීම තහනම් කිරීම. බඳවාගැනීම තහනම් කිරීම. සංවිධානයේ අරමුණු මුදුන්පත් කරන්න ක්‍රියාකාරකම් කිරීම තහනම් කරන්න පුළුවන්. අරමුදල් රැස්කිරීම් තහනම් කරන්න පුළුවන්.

    මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා.

    මේ රටේ වෘත්තිය සමිති තියෙනවා. සංවිධාන තිබෙනවා. අපි කලින් කීවා තුන්වැනි වගන්තිය යටතේ ත්‍රස්තවාදය කියලා පුළුල් පරාසයක වැරදි ඇතුළත් කරලා තියෙනවා. වැරදි යටතේ එකක් කළාය කියලා ඕනෑම සංවිධානයක ක්‍රියාකාරීත්වය අඩපණි වෙන විදියට ජනාධිපතිවරයාට තහනම් නියමයක් නිකුත් කරන්ප පුලුවන්.

    වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන පමණක් නෙවෙයි මාධ්‍ය සංවිධානවල ක්‍රියාකාරීත්වයත් තහනම් කරන්න පුළුවන්. විවිධ ක්‍රියාකාරීත්වයට තහනම් නියම නිකුත් කරන්නට පුළුවන්.

    යම් මොහොතක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වෙන්න නියමිතයි. මේ කෙටුම්පත ගෙනල්ලා තියෙන්නේ පුරවැසියන් එක්ක සාකච්ඡා කරලා නෙවෙයි. සමාජ කොටසක් එක්ක සාක්චඡා කරලා නෙවෙයි. දැන් තියෙන පනතටත් වඩා භයානක, බැරෑරුම් ප්‍රතිපාදන තියෙනවා.

    අයිතිවාසිකම්වලට සහ නිදහසට බලපෑම් ඇතිකරන නීතියක් විදියට, මෙවැනි නීති අපි ප්‍රතික්ෂේප කරනවා. එහෙත් ආණ්ඩුව පැත්තෙන් මෙවැනි නීතියක් ගේනවා නම්, එවැනි නීති සම්බන්ධයෙන් සමාජය තුළ බරපතල සාකච්ඡාවක් තියෙන්න ඕනෑ. අඩු තරමේ ආණ්ඩුව මිනිසුන් එක්ක කතා කරන්න ඕනෑ, වින්දිතයන්ගේ අත්දැකීම් තියෙනවා. ඒවා සලකා බලන්න ඕනෑ.

    සමාජයෙන් මෙවැනි පනතක් ඉල්ලන්නේ නෑ. ඉල්ලන්නේ දැන් තියෙන මර්දනකාරී පනත අහෝසි කරන්න කියලා. ඒක නොකර ඊට වඩා භයානක පනතක් ගේන එක තමයි දැන් කරන්නේ. ආණ්ඩුව කරන මේ උත්සාහය පරාජය කරන්න ජනතාව පෙළගැහෙන්න ඕනෑ.

    නීතිඥ ස්වස්තිකා අරුලිංගම් – තරුණ නීතිඥ සංගමය

    දැනටමත් සමාජයේ කොටස් පක්ෂ ඇතුළුව මෙම නව ත්‍රස්ත පනතට එරෙහි වෙලා ඉන්නවා. තරුණ නීති සංගමයක් මීට පෙර සිට දිගින් දිගටම ආපු ත්‍රස්ත විරෝධී පනත්වලට එරෙහිව කතා කරපු සංවිධානයක්. ආණ්ඩුව දිගින් දිගටම ප්‍රජාතන්තවාදයට එරෙහිව මේවැනි නීති ගෙනාවා.

    ත්‍රස්ත විරෝධී පනත තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඊළඟ අදියර.1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවා. ඉන්පසු මුලින් දෙමළ ජනතාවට එරෙහිව එය පාවිච්චි කළා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාවට එරෙහිව යොදාගත්තා. 2000ක් විතර මුස්ලිම් ජනතාව අත්අඩංගුවට ගත්තා. ඒත්, ඒ බොහෝ අය පාස්කු ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.

    දකුණ ත්‍රස්ත පනතේ බරපතලම. ඔවුන් බරපතලකම දැක්කේ මෑතකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී.

    එහෙත් දැන් මුලු රටම දකිනවා මේ පනතේ භයානකකම ගැන.

    දැන් මේ පනත පිළිබඳ මුළු සමාජයේම අදහස වෙනස් වෙලා තියෙනවා. සමාජ මතය වෙනස් වෙද්දී ආණ්ඩුව පවා කියන්න ගත්තා මේ ත්‍රස්තවාදය වැළැක් පනත අහෝසි කරන්න ඕනෑ බව. එහෙත්, ඔවුන් ඒක කීවේ අලුත් පනතක් ගෙන එන අරමුණෙනුයි. ඉන් පසු ඔවුන් වඩා භයානක පනතක් ගෙනල්ලා තියෙනවා.

    මෙයින් මාධ්‍ය, අදහස් දැක්වීම පවා ත්‍රස්ත ක්‍රියාවක් විදියට නම් කරනවා.

    දැන් තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වුණත් මිනිස්සු අපෙන් ඇහුවාම යම් සිදුවීමක් ත්‍රස්ත ක්‍රියාවක් විදියට අර්ථකතනය කළ හැකිද කියලා, අපට නීතිඥවරුන් විදියට අර්ථකතනය කරන්න අමාරුයි ආණ්ඩුව ත්‍රස්තවාදය කියන්නේ මොකටද කියලා. එතරම් අපැහැදිලියි ත්‍රස්තවාදය කියන අර්ථකතනය.

    මේ පනතෙන් ත්‍රස්ත විරෝධී පනතේ ත්‍රස්තවාදය කියන එකට ඕනෑම දෙයක් ඇතුළත් කළ හැකි වේවි. මේ පනත සම්මත වුණොත් පාරට බැහැලා විරෝධයේ යෙදීමත් ත්‍රස්තවාදය විදියට හඳුන්වලා අත්අඩංගුවට ගන්න පුළුවන් බව හැඟෙන්න පුළුවන්.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවුම් නියොග තියෙනවා. දැන් පවතින රැඳවුම් නියෝග සරල බසින් කිවොත් ජනාධිපතිට උදේ නැගිට්ටාම හිතෙනවා අහවලා ත්‍රස්තයෙක් කියලා. ඒ කෙනාව හිර කරන්න පුළුවන්.

    ආණ්ඩුවට විරුද්ධව කතා කරන අය රඳවා තබන්න පුළුවන්.

    අලුත් පනතේදී ජනාධිපතිගේ රැඳවුම් නියෝග ගහන්න බලය ඩීඅයිජජීලාට ලැබෙනවා.

    ඒකේ ප්‍රශ්නය තමයි එමගින් අධිකරණයේ බලය විධායකයට ලබා දෙනවා. රැඳවුම් නියෝගයක් ගැහුවාම මහේස්ත්‍රාත්ට බෑ කෙනෙක්ව නිදහස් කරන්න. අලුත් පනත් කෙටුම්පතත් ඒ අධිකරණ බලය විධායකයට ලබා දෙනවා.

    එපමණක් නෙවෙයි, මෙමගින් සන්නද්ධ හමුදාවටත් අත්අඩංගුවට ගැනීමේ බලය ලබා දෙනවා. ඇත්තටම ඒකෙන් සිද්ධවෙන්නේ සිවිල් අවකාශය ස්ථීරවම මිලිටරිකරණය කිරීමක්.

    තවත් දෙයක් තමයි. අත්අඩංගුවට ගත් කෙනෙක්ට නඩු නොදමා නිදහස් කරන්න නීතිපතිට දෙන ඉඩකඩ. ඒ කියන්නේ කොන්දේසි මත ඔයාගේ කේස් එකට නඩු නොදමා ඉන්න නීතිපතිට පුළුවන්. නැවත නඩු දමන්නේ ඔබ වරදක් කළායැයි නීතිපති හැඟුණොත්. බැලූ බැල්මට ඒක හරි හොඳයි.

    ඒත් දැන් සිද්ධ වෙන්න නියමිත දේ තමයි රජයට කෙනෙක්ව රිමාන්ඩ් කරන්න පුළුවන්. ඔවුන්ට සාක්ෂි නැතිව, ඔබව බියට පත් කරන්න පුළුවන්. ඉන් පසු නඩු නොදමා, නීතිපති කුමන හෝ මොහොතක නඩු දමනු ඇතැයි බියගන්වන්න පුළුවන්.

    මේක අතීතයේත් පැවතුණා, අනීතික විදියට. දැන් ත්‍රස්ත විරෝධී පනතෙන් කරන්නේ, ආණ්ඩුව මෙතෙක් කල් අනීතිකව කරපු දේවල් නිත්‍යානුකූල කිරීම. කලින් නීතිවිරෝධීව කරපු දේවල් දැන් රටේ නීතිය බවට පත් වෙනවා.

    මෙම ත්‍රස්තවාදය කියන එකේ දෘෂ්ඨිවාදය ගැන කතා කරන්නම්. සමහරු කියනවා මේ පනත් කෙටුම්පත වඩා යහපත් කරන්න පුළුවන් බව.

    ත්‍රස්තවාදය පිළිබඳ දෘෂ්ඨිවාදය තමයි, ආණ්ඩුව අපට විශ්වාස කරවනවා ත්‍රස්තාවදය කියන්නේ අනෙකුත් අපරාධවලට එහා ගිය මට්ටමක තියෙන යම් භයානක අපරාධයක් විදියට. ත්‍රස්ත කියන වචනය පාවිච්චි කරන්නේම අප තුළ යම් බියක් ඇති කරන්න.

    හැබැයි ත්‍රස්තවාදය කියන්න රාජ්‍යයට එරෙහි අපරාධයක්. එවැනි අපරාධවලට අදාලව විශේෂ පනත් අවශ්‍ය නෑ.

    රජයට එරෙහිව හිංසනය යොදාගැනීම ගැන දැනටමත් දණ්ඩ නීති සංග්‍රහයේත්, අයිසීසීපීආර්, මහජන ආරක්ෂක ආඥා පනත වගේ නීතිවල රාජ්‍යයට එරෙහි හිංසනකාරී අපරාධවලට එරෙහි නීති තියෙනවා.

    එහෙනම් දිගින් දිගටම ත්‍රස්තවාදය කියන දෘෂ්ඨිවාදය පතුරුවන්නේ ඇයි? ඔවුන් දන්නවා අපි අපේ අයිතිවාසිකම් සියල්ල පාවාදෙන්න ලෑස්තියි මේ ත්‍රස්තවාදය කියන සංකල්පයට තියෙන බිය නිසා. අපි අපේ සියලු අයිතීන් පැත්තකින් තියන්නම්, ත්‍රස්තවාදයෙන් අපවම ආරක්ෂා කියන හැඟීම ජනතාවට දෙනවා.

    ඒ නිසා තමයි අප දිගමට කියන්නේ, සැබෑ ප්‍රශ්නය මේ පනත්වලින් වඩා හොඳ මොකක්ද කියන එක නොවන බව. ඕනෑ ත්‍රස්ත විරෝධී පනතක් ජනතා අයිතින් නැති කරනවා.

    ඒ නිසා අපි වඩා හොඳ පනත මොකක්ද කියන විවාදසයට යන්නේ නෑ. සම්පූර්ණයෙන් මේ ත්‍රස්ත නීති අහෝසි කරන්න ඕනෑ.

    රාජ්‍යයට එරෙහිව සිදු කරන අපරාධවලට දැනටමත් නීති තියෙනවා.

    ආණ්ඩුව කියනවා නම් නවීන තත්වයන්ට ගැලපෙන නීති අවශ්‍යයි කියලා, අපට පුළුවන් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරලා ත්‍රස්තවාදය පිළිබඳ වරද ගැන අලුත් වගන්ති ඇතුළත් කරන්න.