ටී වී එකේ තණමල්විල කොල්ලෙක් කියලා ටෙලිනාට්‍යක් යනවා යැයි කිව්වාම ඇතැම් අය “ආ ඇත්තද?” කියා අසා නූවමනාවෙන් අහක බලාගත් අවස්ථා ඇත. ඔවුන්ට ම එය රොෂාන් රවීන්ද්‍රගේ අධ්‍යක්ෂණයක් යැයි පැවසූ විට “කීයටද යන්නේ?”, “මොන චැනල් එකේ ද යන්නේ?” ආදී වශයෙන් විපරම් කරමින් විමසූ අවස්ථා ද ඇත්තේය. ගමක නමට, පුද්ගලයෙකුගේ නමට මිනිසාගේ චිත්තාභ්‍යන්තරය සෙලවිය හැකි බව මා ඉන් අවබෝධකරගතිමි. කුල ක්‍රමය, වර්ගවාදය මේ බිමෙන් අතුගා දැමුවා යැයි පැවසූවද එය එසේ නොවන බව තේරුම්ගැනීමට සාක්ෂි ඕනෑතරම් තිබේ. මන්ද නවීන පන්නයේ විවිධ බෙදීමේ සූත්‍ර භාවිතා කරමින් මිනිස්වර්ගයා බෙදෙමින් එසේත් නැත්නම් වර්ගීකරණයට ලක්වෙමින් පවතී. අපි අපේ වර්ගය බොහෝම වටිනා එකක් යැයි පැවසීමට කැමති ය. අපි උසස් යැයි පැවසීමට නම් අනෙකා පහත් විය යුතුය. අනෙකා පහත් යැයි කියා පැවසීම උදෙසා ඔහුගේ පිටේ ඇලවීමට කුමන හෝ ලේබලයක් සොයා ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.
මිනිසා විසින් ම නිර්මාණය කරන ලද ලේබල බොහෝ ප්‍රමාණයක් මෙබිම මත ඇත. ඒ අතරින් තණමල්විල ලේබලය ද ඉතා බලවත් ය. රොෂාන් රවීන්ද්‍ර තම දර්ශනය වැපිරීමට යොදාගන්නේ තණමල්විල ලේබලයයි. ඔහු කාගේවත් පිටේ ලේබල ඇලවීමට යන්නේ නැත. මන්ද චිරාත් කාලයක සිට දරන ලද පරිශ්‍රමයේ ප්‍රථිපලයක් ලෙස දැනටමත් විවිධ සාමාජීය කාරකයන් විසින් ප්‍රාදේශීය බෙදීම මූලිකකොටගනිමින් මිනිසාගේ පිටේ තණමල්විල ලේබලය අලවා අවසන් වී ඇති බැවිනි. එය පොදු ලේබලයකි. එබැවින් මැදවච්චියේ ලේබලය ද මෙය ම ය. තණමල්විල කොල්ලාගේ ද මැදවච්චි කොල්ලාගේ ද වෙනසක් නොමැත. මා විශ්වවිද්‍යාලයේ නවක නම්‍යකරණ සමයේ ලැබූ අත්දැකීමකි. ජ්‍යේෂ්ට සිසුන් තෙල් බැම්මේ සිට “උඹ කොහේද?” යනුවෙන් විමසයි. එවිට ඇඹිලිපිටිය, තණමල්විල හෝ සූරියවැව වැනි ප්‍රදේශයක සිට සරසවියට ආවා යැයි පැවසූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය වෙනස් ගණයේ එකක් විය. ගම කොළඹ යැයි පැවසුවහොත් ලැබෙන ප්‍රතිචාරය හාත්පසින්ම වෙනස් එකක් විය. එය කාගේවත් වරදක් හෝ සැලසුම්සහගතව සිදුකරන අවිනීත ක්‍රියාවක් නොව, මිනිසාගේ චිත්තාභ්‍යන්තරයෙන් පැන නගින හැඟීමක් බව පෙනී ගියේ මා ද නවක නම්‍යකරණ වැඩසටහනට සහයෝගය දීම උදෙසා ඊළඟ වර්ශයේ තෙල් බැම්ම මතට ගොඩවූ පසුවය. සමාජය තුළ නිර්මාණය කොට ඇති තුච්ච ගණයේ බෙදීම් මේ මොහොත වනවිට අපගේ හදවත්, ඉහ – මොළ ආක්‍රමණය කොට අවසාන ය.
තණමල්විල මධ්‍ය මහා විද්‍යාලයට සහ කොළඹ ප්‍රධානපෙලේ විද්‍යාලයකට පාසල් අධ්‍යාපනය සඳහා සහභාගී වූ එකම උපාධිය ලැබූ උපාධිධාරීන් දෙදෙනෙකු රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගී වූ කල ප්‍රමුඛත්වය ලැබුණේ තණමල්විල විද්‍යාලයේ කොල්ලාට නොව, කොළඹ පාසලට ගිය කොල්ලාට ය. බෙදීම් සහ විශමතා හැමතැනම ය. අපි තවමත් ගෝත්‍රිකත්වයෙන් මිදී නොමැති බව ඔබට තවමත් නොසිතෙන්නේද?
මෙවන් අසමතුලිත සමාජ ක්‍රමයක් තුළ “තණමල්විල කොල්ලෙක්” ටෙලිනාට්‍ය දිගහැරෙයි. සමාජීය හුරුව නිසාම එහි චරිත ඉතාමත් ළඟින් අපේ හදවත් වලට දැනෙයි. පවත්නා සමාජීය අසමතුලිත භාවය මදක් හෝ අඩුකරන්නට රොෂාන් රවීන්ද්‍ර මෙම ටෙලිනාට්‍ය තුළින් සිදුකරන්නේ අනගිභවනීය සේවයකි. සමාජය විසින් දකින්නට කැමති බේබදු තාත්තා වෙනුවට ටෙලිනාට්‍ය තුළ ජීවත්වනුයේ බෞද්ධ සංකල්පය මත පදනම්ව තම දිවිපෙවෙත හැඩගස්වාගත් සිතුවම් අඳින තාත්තා කෙනෙකි. අම්මා යනු අතොරක් නැතිව නාට්‍යවලට සවන්දීම උදෙසා ගුවන්විදුලි යන්ත්‍රයට සවන්දෙන අම්මා කෙනෙකු නොවන අතර තම ලොකු පුතා හමුදා සේවයේ බැවින් උතුරේ එවකට පැවති යුද්ධයේ තතු විමසා බැලීම සඳහා හිතේ ගින්දරෙන් ප්‍රවෘත්ති අසන අම්මා කෙනෙකි. සහෝදරයින් යනු ඉඩම් ආරවුල් මත භේධ බින්න වී ඇණකොටාගන්නාවුන් පිරිසක් නොවන අතර අපරිමිත ස්නේහයේ බැම්මෙන් බැඳී ඇතිවුන් ය. ලොකු අයියා පොඩි මල්ලීගේ වරදක් දැක කිපී ඔහුට තදින් කෑගැසූවද ඉක්මණින් නිවෙයි. අක්කා මල්ලීගේ යෙහෙලියක් මෙන් ලං වී ඔහු ගැන සොයා බලයි. යහලුවන් යනු හොඳට කන බොන ක්‍රියාකාරී සමාජ කණ්ඩායමකි. පංසලේ පිංකම සංවිධානය කරන්නේ යහළුවන් ය. අසරණයෙකුට ගෙයක් අලුත්වැඩියා කරදීමට ඉදිරිපත් වන්නේ යහලුවන් ය. මරණයක්, මගුලක්, දානයක් ඇති තැන මුල් වී බර කරට ගෙන ක්‍රියා කරන්නේ යහලුවන් ය. ඔවුන් ධනවතුන් ව කොල්ල කා අසරණයන් ට වස්තුව බෙදා දුන් සූර වීර සරදියෙල් ලා පිරිසක් නොවේ. ගත වෙහෙසා මහන්සි වී වැඩකොට මුදල් හදල් උපයා සපයා දන් දුන් පිරිසකි. ගමේ පන්සල යනු කුමනාකාරයේ තැනක්ද? සමාජය විසින් පහත් කුලයේ තැනැත්තා යයි නම් කළ පුද්ගලයාට ද ශාසනසේ දොර විවර කර දුන් තැනකි. භික්ෂුව යනු පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් දේශපාලන සභිකයින් පස්සේ නොයා කවිබණ පටියක් නිකුත්කර සමාජයේ මිනිසුන්ගේ සිත් සතන් නිවා සනහා මුදලක් ද හරි හම්බකොට ලොකු හාමුදුරුවන්ගේ ඇස් දෙක සුවපත් කරන්නට වෙහෙසෙන හිමි නමකි. උන් උසස් අධ්‍යාපනයක් නොලදමුත් එකිනෙකා වෙත තමා වෙතින් ඉටුවිය යුතු වගකීම් කොටස පිළිබඳව සමාජය ආශ්‍රයෙන් ම අවබෝධ කරගත් ශක්තිමත් දැක්මක් සහිත ජන කොට්ඨාසයක් විය.
රොෂාන් රවීන්ද්‍ර විසින් “තණමල්විල කොල්ලා” ස්ථානගත කරන්නේ කොතැන ද? ඔහු ගංජා සුරුට්ටු කොටයක් කණේ ගසාගෙන නිකරුණේ උඩ පාත ඇවිදින්නෙක් නොවේ. ඔහු පොත් කියවන කොල්ලෙකි. තම පියාගේ අඩි පාරේ යමින් චිත්‍ර අඳින කොල්ලෙකි. ඔහු ප්‍රේමවන්තයෙකි. හැකි පමණින් අනෙකාට උදව් කරන මනා වූ සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ ආදරය එක් කෙල්ලක වෙත පමණක් යොමුවූවක් නොවේ. ඔහු අවට වූ සියලු දෙනා කෙරෙහි යොමුවූවකි. අධ්‍යක්ෂක රොෂාන් රවීන්ද්‍ර දෙබස් මගින් පමණක් මෙම ටෙලිනාට්‍යට පණ පෙවීමට උත්සාහ ගත් බවක් පෙනෙන්නට නොතිබේ. බොහෝ දෙබස් ප්‍රභල ය. ප්‍රේක්ෂකයාගේ සිත්සතන් හි හැඟීම් ඇවිලවීමට සමත් ය. නමුත් දෙබස් හි ප්‍රභලත්වය යටපත් කරමින් ඉතාමත් සංවේදී කතාන්දරයක් කියාපාන කුමක්දෝ නිශ්ශබ්ධතාවයක් එහි දෙබස්වලට යටින් ශක්තිමත් ලෙස ස්ථාපිතව පවතී. රංගන ශිල්පීන්ගේ මුහුණේ හැඟීම්, ඉරියව්, කතා බහ කරන විලාසය ආදිය තුළින් අර්ථගැන්වෙන්නේ දෙබස් ඛණ්ඩ තුළින් නොපවසන ඒ නිහඬතාවයේ කතාවයි. එය අවශෝෂණය කරගනු ලබන ඉන්ද්‍රීය ප්‍රේක්ෂකයාගේ කණ නොව හදවත යි.
තණමල්විල ආදී ප්‍රදේශ ආශ්‍රිතව බිහි වූ බොහෝ නිර්මාණ තුළින් පිළිබිඹු වූයේ ප්‍රචණ්ඩත්වය යි. ජනාදරයට පත් “බඹර වලල්ල” වැනි චිත්‍රපටයකින් පවා වහනය වූයේ අතීතයේ මෙවැනි පෙදෙස් හි පැවති පාතාල කටයුතු වල දුර්ගන්ධය යි. “තණමල්විල කොල්ලෙක්” තුළින් වහනය වනුයේ ඈත දුෂ්කර පලාත් යැයි නම්කෙරූ පෙදෙස් හි පවා පිපෙන මිනිස් මල් වලින් වහනය වන සැබෑ සුවඳයි.
මෙම ටෙලි නාට්‍ය තුළින් තණමල්විල අහසේ පැවති අඳුරු වලා පටල එකින් එක ඉවත්කරමින් පවතී. මිනිසුන් පිළිබඳව අතිශය සුන්දර මානුෂවාදී දැක්මක් නිර්මාණය වෙමින් පවතී. ඒ මගින් හිත නිවන මධුනාගලත් අතිශය කාර්යයබහුල කොළඹ නෙළුම් කුළුනත් එකම පාලමකින් සම්බන්ධ කරනු ඇත. “සහෝදරයා” ටෙලිනාට්‍ය තුළින් අජන්ත විසින් රජීව් ට අභියෝග කොට පෙන්වා දුන් පරිධියේ සමාජීය අරගලය “තණමල්විල කොල්ලෙක්” ටෙලිනාට්‍යයේ “දීප්ත” ලවා සිදුකරවන්නට අධ්‍යක්ෂක රොෂාන් රවීන්ද්‍ර විසින් අරඅදිනවාදැයි කියා මෙම ටෙලිනාට්‍ය නැරඹීමේදී හැඟී යයි. ඇත්තටම කියනවානම් එම ඈත ඉසව්වේ එළිය දකින හැම පුද්ගලයෙකුම පාහේ හෙට දිනය වෙනුවෙන් සටන්කරන අරගලකරුවෙකි. ටෙලිනාට්‍ය රසවිඳීමේදී යම් නොගැලපීමක් ඇතැයි හැඟීයාමට බලපෑ එකම කරුණ නම් රංගන ශිල්පීන් විසින් ඇතැම් අවස්ථාවන් හි පල කරන ඇතැම් දාර්ශනිකමය ප්‍රකාශයන් ය. ඇත්තටම තවමත් ග්‍රාමීය පරිසරයන් එවැනි සංවාදයක් ඇතිවීමට තරම් දියුණු වී ඇත් ද යන්න සැක සහිත ය. මිනිසුන් තුළ එවැනි ඉහළ ගණයේ අවබෝධයක් හා දැක්මක් ඇත්නම්, මේ රට මෙතරම් අර්බුධයකට ඇද වැටෙන්නේ නැත. නමුත් එවැනි සංවාදයන් ඇතුළත් කර තිබීම එක්වරම එම පරිසරයේ ජීවත්වූවෙකුට නොගැලපීමක් ලෙස දැනුනද විශාල දුර්වලතාවයක් ලෙස නොදකිමි. මන්ද නිර්මාණකරණය යනු එයයි.
“තණමල්විල කොල්ලෙක්” මිනිසුන් අතර පැවති විවිධ විභේදනයන් සුනුවිසුනු කරදමමින් සාර්ථකව විකාශණය වෙයි. කොටස් 29 ක් පමණ නරඹා අවසන් කළ අවස්ථාක මෙම සටහන තබමි. ඉදිරිය කෙසේ වේදැයි නොදනිමි. නමුත් ආ මග හොඳ ය, සුන්දර ය. තාරුණ්‍යයේ අප්‍රකාෂිත පරිච්ඡේදය යනු මිනිස් ජීවිතයේ සැබෑ ම අරගල සමය බව දැන් අපහට සක්සුදක් සේ පැහැදිලි ය.