මේක, පටන් ගත්තු මුල්ම කාලෙ අහස දිහා බලන් ඉඳලා, යද්දිත් අහස දිහාම බලන් යන්න වෙන, හැමදෙනාටම අසාමාන්‍ය ලෙස සාම්‍ය වූ ගමනක් !
ඔන්න ඔය ගමන අස්සේ,
වෙනස් වෙනස් අවස්ථා වලදි, වෙනස් වෙනස් වර්ගයේ, වෙනස් වෙනස් පාට කොල වල, වෙනස් වෙනස් අකුරින් ලියපු, වෙනස් වෙනස් සාන්ද්‍රණයේ නමුත්, එකම හරය සහිත ප්‍රශ්න පත්‍රයක් හැමෝටම ලැබෙනවා.
ඉතිං, ඔන්න ඔය ප්‍රස්න පත්තරේට උත්තර සොයමින්, ලියමින් යාමට තමයි මිනිස්සු “ජීවත් වෙනවා” කියල කියා ගන්නේ…
ඒත්, ප්‍රශ්න පත්‍රයත්, ප්‍රශ්නත් ඉතිරි වෙලා තියෙද්දිම කවදහරි දවසක, අසම්පූර්ණ පිළිතුරු පත්‍රයක් මේසේ උඩ තියලා හිටි අඩියේම අපිට යන්න වෙනවා. ඉන් පස්සේ, බොහෝවිට ඒ අපේ අසම්පූර්ණ පිළිතුරු පත්‍රය තවත් මනුෂ්‍යයෙකුට එයාගෙ ප්‍රශ්න පත්‍රයටම ඈඳාගෙන ලියන් යන්න වෙනවා. කලත්‍රයා මියගිය කලත්‍රයෙකුට, සේවකයා මිය ගිය සේව්‍යයෙකුට, මෙකී නොකී සෑම සබඳතාවයක් ඇත්තෙකුටම, අර අත් හැරුණු ප්‍රශ්න පත්‍රය මගාරින්න බෑ… අඩුම තරමේ, ඒ ප්‍රශ්න පත්‍රයෙන් “දුක” කියන කොටස හරි ජීවත් වන කෙනාට තමන් එක්ක ඉදිරියට අරන් යන්න වෙනවා.
ඒ වගේම, මේක, ජීවතුන් අතර හිඳින, අපි හා එක්ව ගමන් යන්නන්ගේ ප්‍රශ්නපත්‍ර වලටත් විසඳුම් සොයමින්, පිළිතුරු දෙමින් යන ගමනක්! අපිට අපේ කලත්‍රයාගෙ, දරුවාගෙ, මිත්‍රයාගෙ, ඥාතියාගෙ, වෘත්තියේ, පවුලේ, ආර්ථිකයේ, සංස්කෘතියේ, සදාචාරයේ, සාරධර්මයේ, නීතියේ, ගමේ, රටේ, ලෝකයේ, විශ්වයේ, ප්‍රශ්න මගහරින්න බෑ. ඒ අනුව බලද්දී, අපි අපේ ප්‍රශ්න පත්‍රයට අමතරව තවත් බොහෝ අයගෙ ප්‍රශ්න පත්‍ර මිටියක්ම කර තියාන යන මිනිස්සු.
ඉතිං, මෙහෙම යන ගමන් අපි කියනවා, “ජීවිතේ හරි බරයි” කියලා…
එහෙම කියාපු අපිම, අසම්පූර්ණ පිළිතුරු පත්‍රය මේසෙ උඩින් තියලා, දවසක නොකියාම යන්න යනවා… අන්තිමට, අපි අපේ ජීවිත කාලෙ පුරාම කළේ උත්තර හොයපු එක සහ උත්තර ලියපු එක වුණත්, ඒ ලියවිල්ල ඉවරයක් වෙලාවත්, ඉවරයක් කරලවත් ගිහින් නෑ.
ඒත්, එහෙම මිනිස්සු හිටියා. අදටත්, මේ ලෝකයේ අතරින් පතර ඒ වගේ බොහෝම සුළු පිරිසක් ඇති. එයාලා හරි වෙනස් මිනිස්සු. පොදු ප්‍රශ්න පත්‍රය ඉරලා, ගුලි කරලා, වීසි කරල දාන්න තරම් එඩිතර වූ මිනිස්සු. කොන්දක් තිබුණු මිනිස්සු. ලෝක රටාවට පයින් ගහපු මිනිස්සු. ලෝකය කැරකෙන සීමාවට එහායින්, යෝධයෝ වගේ හිටගත්තු පුංචි මිනිස්සු. අන්න ඒකයි නියම ගමන!
ඈත ඉඳන් බලා ඉද්දි, රටාවට යන එක හරි ලස්සනයි තමයි. නැටුම් සංදර්ශනේක ඒකාකාරී පිය තැබීම් කොහොමත් සුන්දරයි. අන්තිමට හැමෝම පේළියට යනවා…
ඒත්, මෝඩයි.
රටාව ඉතිරියි.
සංසාරය ශේෂයි.