නිර්ධන පංතියේ අම්මා

Date:

මට තේරෙන අවදියේ පටන් මම අම්මා ගැන සොයන්න පටන් ගත්තා. මේ මා ඈ ගැන සොයාගත් දේ.

ඈ කුඩා කළ පියාගෙ රැකවරණය නොළද තැනැත්තියක්.මේ ලෝකෙට උපදිද්දිම ඈ පියා අහිමි දරුවෙක්. කූර ධනපති පංතිය විසින් ඈට මේ තත්ත්වය හරි අපූරුවට උරුම කරලා දීලා තිබුනා.

ඈ වින්ද අනේක දුක් ගැහැට නිසාම ඉගනීම අහිමිව ගිහින් .එදා වේලට කීයක් හරි හොයාගෙන පන නළ ගැට ගහනව ඇරෙන්න වෙනත් බලාපොරොත්තුවක් තියෙන්න නැතුව ඇති.යාන්තමට සොළොස් විය සම්පුර්ණ වෙද්දීම මවගෙන් වෙන්ව නන්නාදුනන පිරිමියෙක්ගේ බිරිදක් වෙන්නට සිදුවෙනවා

එතැන් පටන්වත් ඈ සිනාසෙන්නට උත්සහ ගන්න ඇති.ඒත් ඒ හිනාවත් ඇගෙන් බොහෝ දුරක තියෙන්න ඇති. සමහර ව්ට ඒ හිනාව ලැබෙන්න ඇත්තේ මා ඇගේ කුස පිළිසිඳ ගත් දා වෙන්නත් ඇති.

දරුවෙක්ට වැඩෙන්න කුසයේ ඉඩ හදලා දුන්නට ඈට පෝෂණය වෙන්න ආහාර ලැබිලා නෑ ඒ උනත් කුස මෝරන්න ඕන හින්දාම වටපිටාවෙන් ලැබෙන කොළ, මල්, ගෙඩ්, විෂ නොවෙන්න ආහාර විදියට ගත්තු බව මා සමග ඈ පැවසුවා මතකයි. විටමින්, කිරි, බිත්තර, මස්, මාළු නැති උනත් ඇගේ ආදරය ලේ එක්ක එකතු කරලා මට ලබා දෙන්න ඇති අම්මලා එහෙමයි.

මා ඉපදුනාට පස්සෙ අම්මෙක් විදියට ඈ අපමණ දුක් විදින බව තාත්තා ගේ උදව් අඩුවෙන් ලැබෙද්දි මට තේරුම් ගියා.

බැංකුවටත් ඈ ඉතුරුම්කරණය උගන්වන්නීය. ඒ තරම්ම පිරිමහන්න පුරුදු වෙන්න ඇත්තේ මා වෙනුවෙන් ඉතුරු කරන්න. ලැබෙන හැම රුපියලක් ම අර්ථවත් දේකට යොමු කළා. උයන්න ගන්න හාල් හුණ්ඩු භාගෙනුත් මිටක් අයින් කළා.

මිටෙන් මිට “මිට් හාල්” එකතු කළා.

එකම තේ කෝප්පය හදලා ඒකෙන් උගුරක් බීලා මට දෙන්න ඈ පුරුදු උනා.මිරිස් කරලක්වත් ගෙදර නැති දවසට කොච්චි කරලක් දෙකක් තලලා දාලා හොද්ද රසවත් කළා. කඩෙන් ගේන එළවළු , පළා වෙනුවට වත්ත පහළින් හොයාගන්න දෙල් ,පොලොස්,හෙරලියා, කොහිල, පැෂන් දලු, අඹ, ලාවලු, රසට උයලා පිහලා දෙන්න ඈ හරිම දක්ශයි.
පරිප්පු ඇට කිහිපයක් දාලා හොදි ටිකක් වැඩිපුර හදන්න ඈ මට ඉගැන්නුවා.

අපි කෑවද? කෑවේ මොනවද? බලන්න අපේ බඩ කපන්න කවුරුත් එන්නෑ පුතේ ඒ හින්දා තියන දෙයක්.කාලා හිනාවෙලා ඉන්න කියලා මට ඉගැන්නුවෙත් ඇයම තමයි.

කාලකළමනාකරණය හොදින්ම දන්නා ඈ….

උදෙන්ම නැගිටින්න හිරුටත් කලියෙන් වැඩ පටන් ගන්න ඇය හරිම කැමතියි.උදේ ඉර එළිය වැටෙද්දී හොද්දක් බතක් ඉදවලා ගෙවල්,මිදුල් අතුගාලා රෙදි වැල් පිරෙන්න රෙදි සෝදලා වැඩටත් යනවා. එකම ගමනින් වැඩ කිහිපයක් කරන්න කියල දුන්නෙත් ඇයමයි.

බහුතරයක් දෙනා ඇයට ගරහනවා, ඔරවනවා, බනිනවා පුංචි කෙල්ලෙක් ගෙදර තනියම දාලා තේ ෆැක්ට්‍රියේ දලු අඹරන්න යනව කියලා. ඈ ඒවට ඇහුම් කන් දුන්නෙම නෑ.හමන සුළඟ, වහින වැස්ස, පායන අව්වට දොස් නගන්නේ නැතිව එදිනෙදා වැඩකරගන්න පුරුදු උනා. ගෙදර ඔක්කෝම වැඩ කරලා පයින්ම සැතපුම් ගනනක් යද්දී ෆැක්ටේරියේ ආරම්භක නළාවේ සද්දේ උඹ පරක්කුයි කියලා දොස් නගන්නා වාගෙයිලු ඈට ඇහුනෙ. දවසේ ආරම්භය වෙහෙසකාරී වෙන්නෙම නිර්ධන පංතියේ උන්ට බව ඈ දන්නවා.ලොකු ලොක්කන්ගේ ගිජු ඇස් මඟහරිම්න් තාඩන පීඩන මැද්දේ තමන්ගේ වැඩ කොටස නිමා කරනවා.

ඉර බැහැගෙන යන ගොම්මනේ ගෙදර බලා එද්දී මදුවිත පානය කරපු පිරිමි ඈට උසුළු විසුළු කරද්දිත් ඈ නෑසූ කන්, නොපෙනෙන ඇස් ඇත්තියක් මෙන් තමාගේ ආරක්ෂකයා තමාවම බව පසක් කරගනිමින් නිවසට ගොඩවදිනවා..බඩගින්නට දත් විළිස්සගෙන අම්මාට ඔරවද්දිත් ඈ මාව තුරුල් කරගන්නවා. වැඩ ඇරී වැඩට ආ අම්මා ආයෙත් වැඩ පටන් ගන්නවා.ඇයට සැනසෙන්න වචන , නැළවෙන්න ස්වර, ඔළුව තියන්න උරහිසක් අපේ තාත්තා අහිමි කරලා.බේබදුකම නිසාම ගෙදර රණ්ඩු දබර කෙළවරක් නෑ. ඒ හැමදේම ඉවසගෙන මට හිනාවෙන්න හේතු හොයලා දුන්නා.මාව හිනැස්සුවා කුස පිරෙව්වා, හිස අතගෑවා, හිත පිරෙව්වා ඒ තමයි අම්මා…….

නින්දට ගියත් පොරෝනයක් නැතිව සීතලේ පුළුන් අඩු කොට්ටයක ඇරෙන්න ඈට විදින්න දෙයක් නෑ.අඩිය ගෙවිච්චි සෙරෙප්පු දේකින් ඔච්චම් කළ ගල්කැට, වැලිකැට නිසාම දෙපා හුගාක් රිදෙන්න ඇති.
ඇගේ උණුහුම සුව යහනක් හින්දාම මම සැපට නිදන්න ඇති.

ඇගේ ශක්තිය ධනපතීන් උදුරාගෙන තලා පෙළා යුෂ ගන්නේ හරියට උක්දණ්ඩකින් යුෂ ගන්නා වාගේ. ධනපති සපත්තුවට පෑගිලා හිල්වෙලා, නිල්වෙලා ජීවිතය ගැටගහ ගන්න නරා දුක් වින්ද කම්කරු ගැහැණියක් ඇය.

ඉතිං මොකටද එයාලා වෙනුවෙන් එක් දිනයක්. මේ අද දවසෙත් බත් කටක් කන්න නැතිව, වතුර උගුරක් බොන්න නැතිව, අදින්න හරි හමන් ඇදුමක් නැතිව, ලෙඩට දුකට බෙහෙත් නැතුව

කොච්චර නම් අම්මලා ඇද්ද?

අම්මා කියන්නෙම සසරක්
දරුවන් තනනා මහ ඔසුවක්
දන් දීලම උන් කවඳත්
අනුනට පතයි බුදුබව පමණක්………

පියවරුන්ට පමණක් දී මතු
බුදුවන්න……
ඒකයි හැමදාමත් අම්මාවරු සසරේ
ඉන්න…….
අම්මාවරු හෙළූ දහඩිය කදුලැලි
එක්වීලයි ඔන්න…..
මහ නිල් සයුරේ දිය කඳ ලුණු රස
වෙන්නේ…….

මේ විශ්වයේ උපන් නූපන් දහසක් අම්මාවරුන්ට උපහාරයක්ම වේවා!!

 

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...