Breaking News

සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල රු50ක් අඩුකිරීමෙන් ඇති ප්‍රයෝජනයක් තිබේද?

සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම නිසා ගැහැණු දරුවන් ඔසප් සමයේදී පාසල් පැමිණීමේ අඩුවක් පවතින බව පසුගියදා වාර්තා විය. විශ්ව විද්‍යාල සිසුන්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවිකාවන් පවා මෙම තත්ත්වයට මුහුණ දෙන බව වාර්තා වී තිබුණි.

දැන් ආණ්ඩුව පවසන්නේ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

තවද ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර ඇති බව පැවසේ.

ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක- 60ක මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් – රුපියල් 270ක් වේ. තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිතය.

ඒ අනුව, රේගු ආනයනය මත 15%ක රේගු ආනයන බද්ද, 10% – 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) අමුද්‍රව්‍ය 05ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර ඇත. දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ලබා දී ඇත. නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වේ.

නමුත් මේ පවසන ආකාරය අනුවනම් සනීපාරක්ෂක ද්‍රවයවල මිල අඩු කිරීමට නියමිතව ඇත්තේ ඉතා සුළු මුදලකිනි. දැනටමත් සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල පවතින්නේ 290ත් 310ත් අතර මිලකටයි. ඒ අනුව ඒ කියන ආකාරයෙන් විශාල මුදලක් අඩු නොවන බව පැහැදිලිය. බොහෝ රටවල් මෙවැනි ද්‍රව්‍ය ලබාදීම සිදුකරන්නේ නොමිලේ වන අතර යම් මුදලක් අයකරන්නේ නම් එය සිදුකරනේද ඉතා සුළු වශයෙනි.නමුත් අපේ රටේ මෙම අඩුකිරීමට නියමිත බදු ගැන තොරතුරු හරහා අත්‍යවශ්‍ය ද්‍රවයක් වන සනීපාරක්ෂක තුවා සඳහා කොතරම් බදු ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවාද යන්න පැහැදිලිවේ.

ආණ්ඩුව අධික ලෙස මිල වැඩිවූ සියලු භාණ්ඩවලට කරන ආකාරයට ජනතාව රැවටීමේ අදහසකින් විශාල මිල වැඩිවීමට සාපේක්ෂව ඉතා සුළු මුදලක් පමණක් අඩුකර අපේ රටේ ජනතාවට උත්සාහ කරනු ඇති යන සැකය ඇතිවේ.

leave a reply